සමුදය සත්‍ය - පඤ්ඤා චක්කය: පරලොවෙන්
සසරට
අම්බලන්ගොඩ,
කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනා මාලාවේ ගැඹුරු ම කොටසක් ලෙස සතිපට්ඨාන සූත්‍රය
හැඳින්විය හැකි යි. සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සඳහන් කරුණු සියලුම ලොවුතුරා
බුදුරජාණන් වහන්සේලා දේශනා කරන කරුණු රාශියක් වෙයි.
සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් ලැබෙන ප්‍රධාන අනුසස් හතක් නිබඳව ම අසනවා, කියවන්න
පුළුවන්කම තියෙනවා. භික්ෂු , භික්ෂුණී , උපාසක , උපාසිකා යන කොයි කාගෙත් , දේව,
බ්‍රහ්මයන්ගේත් සිත සුව පිණිස සහ තමන්ගේ සන්ථානය පිරිසුදු බවට පත් කර ගැනීමට පළමු
ආනිසංසය ලෙස සඳහන් කරන්නේ. මේ භාවනා ක්‍රමය දියුණු කරද්දී කුමන විපතක දී වුවද අඬා,
දොඩා, වැළපෙන බව අඩුකර ගන්න පුළුවන්. සතිපට්ඨානයෙන් තොර, ධර්මයෙන් තොර වූවන් ශෝක ,
පරිදේව , දුක් හමුවේ වුව ද අඬන , වැළපෙන ස්වභාවය වැඩි යි. ඒ නිසා දුක් දොම්නස්
පැමිණෙන අරමුණු හමුවේ ඉවසා දරා කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. එය විශේෂ
ආනිසංසයක්.
කායික මානසික දුක
එපමණක් නොව, කායික දුක, මානසික දුක බොහෝ දෙනාට ඉවසා දරන්නට අපහසු යි. කායික, මානසික
දුක බොහෝ සෙයින් ඉවසා දරන්නට පුළුවන්කම ඇත්තේ සතිපට්ඨාන භාවනා ක්‍රමය දියුණු කර
ගැනීමෙනි. එසේ ම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ආදී නිවන් මඟට විශේෂයෙන් බැස ගන්න
පුළුවන්. එසේ ම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙළින් නිවන
අවබෝධ කරන්න පුළුවන්. මෙම ආනිසංස වාරය බුදුරජාණන් වහන්සේ මුලත්, අගත් හොඳින්
පැහැදිලි කර තිබෙනවා. එසේනම්, සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සඳහන් කරුණු විශේෂත්වය අතර
සමුදය කොටස් හය බැගින් දහයක් තිබෙයි. එක කොටසකට කරුණු හයක් වෙයි.ඉන් දහයක් තිබෙන
අතර ප්‍රහාණය කළ යුතු කරුණු හැටක් වෙයි. අද සඳහන් කරන්නේ පඤ්ඤා චක්කය යි.
පඤ්ඤාව යනු හැඳින ගැනීම යි. යම් දෙයක් දැන හැඳින ගැනීමට කියන්නේ පඤ්ඤා චක්කය
යනුවෙනි. රූප සංඥා , ශබ්ද සංඥා , ගන්ධ සංඥා, රස සංඥා, පොට්ඨබ්භ සංඥා , ධම්ම සංඥා
යනුවෙන් දැන හැඳින ගැනීමේ ක්‍රම හයක් තිබෙනවා. ඇස, කන, නාසය, දිව, සිරුර, සිතට ගෝචර
වූ දෙයක් වන්නේ මෙම සංඥා හය යි. මේ සංඥා හය හොඳින් ක්‍රියාත්මක වීමෙන් ඒ අරමුණු
පිළිබඳව හොඳට අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා කොයි කවුරු වුණත්, භාවනාවට නැඹුරුව මේ
වැදගත් කරුණු හයත්, පෙර භාවනා පාඩම සේ ම සිතෙන් මෙනෙහි කළ යුතු යි. මුලින් ම ඒ
පිළිබඳ අවබෝධයක් ඇති කරගත යුතු යි.
රූප සංඥා යනු රූපය දැන හැඳින ගැනීම යි. ශබ්ද සංඥා යනු ශබ්දය දැන හැඳින ගැනීම යි.
සුවඳ දැන හැඳින ගැනීම ගන්ධ සංඥාව යි. දිවට දැනෙන රස දැන හැඳින ගැනීම රස සංඥාව යි.
තමන්ට දැනෙන ස්පර්ශය කුමක් දැ’ යි දුක හෝ සැප හෝ තේරුම් කර ගැනීම, දැන ගැනීම
පොට්ඨබ්බ සංඥාව යි. අනෙක් සියලු ම දේ දැන හැඳින ගැනීම සිදු වන්නේ මනසින්. එය ධම්ම
සංඥාව යි. එසේනම්, මෙම සංඥා හය පෙර සේ ම හොඳට දැන කියාගෙන, අවබෝධයෙන් , තේරුම
හොඳින් වටහාගෙන භාවනාවට නැඟිය යුතු යි.
රූප සංඥාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා රූප සංඥාව අනිත්‍ය
යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර සිතෙන් මෙනෙහි කළ යුතු යි. ශබ්ද සංඥාව
මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ශබ්ද සංඥාව අනිත්‍ය යි, දුක්ඛ
යි, අනාත්ම යි. ගන්ධ සංඥාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා
ගන්ධ සංඥාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රස සංඥාව මම නො වෙයි, මගේ නො වෙයි,
මගේ ආත්මය නො වෙයි, එමනිසා රස සංඥාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ස්පර්ශ එනම්
පොට්ටබ්භ සංඥාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා පොට්ඨබ්භ සංඥාව
අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ධම්ම සංඥාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය
නො වෙයි, එමනිසා ධම්ම සංඥාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර
පෙර සේ ම මෙනෙහි කළ යුතු යි. සංඥා චක්කය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො
වෙයි, එමනිසා සංඥා චක්කය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් අවසානයේ සිය
දහස්වර මෙනෙහි කළ යුතු යි. එය තම සිතට විශාල ශක්තියක්.භාවනාවෙන් කෙරෙන නීවරණයන්ගේ
සංසිඳීම ඉතා පහසුවෙන් යට කරගන්න පුළුවන්කම තියෙනවා. එසේම තම සිත දියුණු තියුණුවෙන්
පාරමී ශක්තිය දියුණුවෙන් මාර්ග ඵල අවස්ථාවට පවා සමීප වීමට පුළුවන්කම තියෙනවා. තව ද
බෝධි පාක්ෂික ධර්මයන් චිත්ත වීතියක් ගානේ , භාවනාව මෙනෙහි කරන වරක් පාසා ම සිතේ
දියුණු වෙනවා. පහළ වෙනවා. සතිපට්ඨාන සතර, සම්‍යයක් ප්‍රධාන සතර, ඍද්ධිපාද සතර,
ඉන්ද්‍රියන් බල පහ, බොජ්ඣංග හත සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදී කරුණු තිස් හත එකක්
පාසා ම මෙනෙහි කිරීමේ දී සිතෙහි පහළ වෙද්දී කුසල ශක්තිය බල සම්පන්න වන අතර, කරගෙන
යන භාවනා පාඩම හොඳින් කළ හැකියි.
ත්‍රිලක්ෂණය
ඒ නිසා කොයි කවුරු වුණත් භාවනා පාඩම හොඳින් තේරුම් ගෙන , ගැඹුරු බව නො සිතා තේරෙන
සේ මෙනෙහි කළ යුතු යි.එකක් මෙනෙහි කළත් ප්‍රමාණවත්. හයම නැතත් රූප සංඥාව අනිත්‍ය යි
යනුවෙන් සිතුවත් ප්‍රමාණවත්.
අනිත්‍ය , දුක්ඛ, අනාත්ම ලක්ෂණත්‍රය බුදු කෙනෙකුගෙන් අසනවා මිස වෙන කාගෙන්වත්
අසන්නට බැහැ. බුදුන් වහන්සේ දේශනා කළ නිසා තමයි, භික්ෂූන් වහන්සේලා ද ඒ අනුසාරයෙන්
දේශනාව පවත්වන්නේ බුදු දහමට අනුකූලව.
ඕනෑම දෙයක අවසානය වන්නේ නැති වී යාම යි. ඉපදෙනවා, පවතිනවා, විනාශ වෙනවා . මෙය යි,
අනිත්‍ය ලක්ෂණයේ උගන්වන්නේ. යමක් ඇතිවී නැතිවෙලා යනවා නම්, කොයි කාටත් දුක යි. එය
යි දුක්ඛ ලක්ෂණය. මගේ යනුවෙන් කුමන දෙයක්වත් තියා ගන්න බැරි නිසා අනාත්ම වශයෙන්
හඳුන්වනවා. මෙය බොහොම ගැඹුරු කාරණාවක්. යම්කිසිවෙකුට මේ වදන් තුන තේරෙනවා නම්, හොඳ
නුවණක් තමන්ට ඇති බව පැහැදිලි ව තේරුම් ගත යුතු යි. එයම යි, චතුරාර්ය සත්‍ය අවබෝධ
සඳහා හේතු වන්නේ.
තමන්ට වාඩිවෙලා මේ භාවනාව කරන්න අපහසුනම්, රැකියාවට යන එන විට දී, කඩපිළට යන මොහොතේ
දී, වාහනයක අසුන්ගෙන යන අවස්ථාවක දී මේ කරුණු ටික එකක් පාසා ම මෙනෙහි කළ යුතු යි.
වැඩි යමක් අපහසුනම්, තණ්හාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළත්
ඇති. එය ද සමුදය සත්‍ය ප්‍රහාණයට, දුක අවබෝධ කර ගැනීම පිණිස හේතු වෙයි.
සිහිනුවණ
මේ කරුණු හොඳින් දැන ගැනීමෙන් ඔබ අප හැම දෙනාටම මේ ධර්මය පිළිබඳ ව හොඳින් වටහා ගත
හැකි යි. සතිපට්ඨාන සූත්‍ර දේශනාව යම් පිරිසකට අයත් දෙයක් නො වන අතර, එය සැමට ම
අයත් දෙයක්. සති යනු සිහි කල්පනාව යි. පට්ඨාන යනු එළැඹීම යි. සිහි නුවණින් වැඩ
කටයුතු කිරීම සතිපට්ඨාන නම් වෙයි.
බුදුරජාණන් වහන්සේ සෑම ඉරියව්වක් ම සිහියෙන් පවත්වන්නැ’යි මෙම දේශනාව පවත්වා
තිබෙනවා. එවිට බුදුරජාණන් වහන්සේ පවත්වා වදාළ භාවනා ක්‍රමය නියමානුකූලව ගෙන යන්නට
නුවණ අවශ්‍ය වන්නේ. සිහි නුවණින් යුක්තව කරගෙන යන භාවනා කටයුතු සාර්ථකව නොපිරිහෙලා
ඉෂ්ට සිද්ධ කරගෙන යන්න පුළුවන්කම තිබෙනවා.
රාහුල ස්වාමීන් වහන්සේ භාවනා කර්මස්ථාන හතක් දියුණු කර තිබෙනවා. මෛත්‍රිය භාවනාව,
කරුණා භාවනාව, මුදිතා භාවනාව, උපේක්ෂා භාවනාව , කායගතාසති භාවනාව, ආනාපාන සති
භාවනාව සහ අනිත්‍ය, දුක්ඛ , අනාත්ම යන ත්‍රිලක්ෂණ භාවනාව යි. එවැනි භාවනා හතක්
දියුණුවෙන් උන්වහන්සේ රහත් බව ලැබුවා. ඒ අනුව භාවනා ක්‍රම ඉගෙන මෙනෙහි කළ යුතු යි.
පුරුදු පුහුණු ගතිය වැඩිකළ යුතු යි.
සතිපට්ඨාන සූත්‍රයේ භාවනා ක්‍රම විසි එක යි. එය වැඩි බව නොසිතා ම හොඳට දැන ඉගෙන ගෙන
දියුණු කළ යුතු යි. එය තමන්ගේ ම වාසනාව, තමන්ගේ ම දියුණුව පිණිස පවතින්නේ. එසේනම්,
තමන්ගේ භාවනා දැනුමෙන් සිදු වන්නේ සංයෝජනයන්ගේ ප්‍රහාණය වීමක්. සිතේ බල පවත්වන
සංයෝජන දහයක්. මේවා තුරන් කරගන්න, පුළුවන්කම තියෙනවා. තමන්ගේ සිත්වල පහළ වන්නා වූ
තමන්ගේ ශරීරයේ තිබෙන්නා වූ සැක සාංකාව දුරු කර ගන්න. මමත්වය දුරු කරගන්න පුළුවන්කම
තියෙනවා. වැරැදි මත, දෘෂ්ඨි දුරු කරගන්න පුළුවන්. එසේ ම කාමරාග, ව්‍යාපාද දෙක
සංසිඳුවා ගන්න පුළුවන්. රූප රාග, අරූප රාග , මාන්නය, උද්දච්ච, අවිද්‍යා, සංයෝජන
පහත්, යටකරගන්න පුළුවන්.
තමන්ට ශක්තියක්
එවිට මේ සංයෝජනයන්ගේ ප්‍රහාණය වීම භාවනාවෙන් සිදු කරගන්නේ. එසේම අනුසය හතක් ද
තිබෙයි. එනම්, සැඟවී ඇති පව් හතක් තිබෙනවා. මේ පව් ගැළවී, ඉවත් වී සේදී යන්නේ භාවනා
ක්‍රමයෙන් පමණ යි. ඒ නිසා කවුරුත් භාවනාවට මුල් තැන දී දවසට විනාඩි පහ දහයක් වුවත්
, ඒ භාවනා ක්‍රමය දියුණු කරගත්තොත්, තමන්ට විශාල ශක්තියක් ගොඩ නංවා ගන්න පුළුවන්.
සංසාරයේ කොතැනකවත් සැප යැ’යි බුදුරජාණන් වහන්සේ දේශනා කර නැහැ. මනු ලොව, දෙව් ලොව,
බඹ ලොව සැවොම මිය යනවා. සතර අපායේ නම් සෑම තැනම ඇත්තේ දුක ම යි. මේ ගැන හොඳින්
වටහාගෙන කොයි කවුරුත් බණ, භාවනා ක්‍රම වැඩි කරගත යුතු යි. සීල ආදී ප්‍රතිපත්ති ටික
වැඩි කරගත යුතු යි. විශේෂයෙන් ඉවසීම , කරුණාව, මෛත්‍රිය , දයාව , අනුකම්පාව ,
අවංකකම, නිහතමානී බව , නුවණ , උත්සාහය ආදී කරුණු ටික අනිවාර්යෙන් ම කවුරුත් දියුණු
කරගත යුතු යි. එවිට තමන්ට විශාල ශක්තියක් බලයක් ගොඩනංවා ගන්නට පුළුවන්. බුදු දහමෙන්
ලබාගත යුතු ඒ සියලුම කරුණු ටික ලබා ගැනීම තම තමා සතු පරම යුතුකමක්. මේවා වැඩිදියුණු
කරගැනීම තමන් සතු යුතුකමක්. ඒ ධර්මය කෙතරම් දියුණු කළත්, අපතේ නො යයි. මෙලොවෙන්
පරලොවට, පරලොවෙන් සංසාරයට යයි. සංසාර ගමන කෙටි කරනවා, ආර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට
පත් කරනවා. ඒ තරම්ම වටිනා දහමක් තිබෙන්නේ. ඒවා පුළුවන්තරම් දියුණු තියුණුවෙන්
චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් පසක් කරගන්නට පඤ්ඤා චක්ක භාවනාවත් හේතු වාසනා වේවා!
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |