[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝසත් දරුවන්ට: අපායේ දුක විඳීනු එපා

අපායේ දුක විඳීනු එපා

පින්වත් දරුවනේ අද අමාවක පෝ දිනය. පසුගිය ලිපි කිහිපය තුළ ම අප කතා කළේ මාතලී දිව්‍ය පුත්‍රයා විසින් නිමි මහරජතුමාට අපා ගත නිරිසතුන් විඳින අනේකවිධ දුක් පිළිබඳව පෙන්වනු ලැබූ ආකාරය පිළිබඳව යි. අද දවසේත් අප එවැනි අපායයන් දෙකක් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනවා.

ඉතින් දරුවනේ, මාතලී දිව්‍ය පුත්‍රයා තවත් අපායක් වෙත රථය පැදවූවා. එහි ඉතා දරුණු යම පල්ලන් සිටිනවා. ඔවුන් විසින් එහි නිරි සතුන්ගේ දිව ගිනියම් වූ දිලිසෙන කොකුවලින් අමුණනු ලබනවා. පසුව එම කොකුවලින් ඇදගෙන ගොස් ගිනියම් වූ “පොළොවට ඇද දමනවා. ගිනියම් කළ මහා යකඩ කොටවලින් මුළු ශරීරයම තලා දමනවා. ඊට පසුව හරියට සමකින් ඇද ඔසවනවා වගේ, ඔසවමින් බිම අත හරිනවා. ඒ වෙලාවට නිරි සතුන් හරියට ගොඩට දැමූ මත්ස්‍යයන් වගේ.

දුක ඉවසා ගන්නට නොහැකිව මහා හඬින් හඬමින්, කෙළ වගුරුවමින් කෑ ගසනවා. මේ දකින නිමි රජතුමා අපමණ බියට පත් වෙනවා.

“මාතලී, මේ තරම් දුක් විඳින්නේ මොනවගේ පව්කළ අය ද?” රජතුමා අසනවා.

“යෙ කෙචි සන්ථාන ගථා මනුස්සා
අග්ඝෙන අග්ඝං ඛයං හාපයන්ති
කූටේන කූටං ධන ලොභ හෙතු
ඡන්නං යථා යාරි චරං වධාය

නහී කූට කාරිස්ස භවන්ති ඨානා
තතෙහි කම්මෙහි පුරක්ඛ තත්ථ
තෙ ලුද්ද කම්මා පසවෙත්වා පාපං
තෙ මෙ ජනා වංක ඝස්ථා සයන්ති

මාතලී දිව්‍ය පුත්‍රයා පැහැදිලි කළා. දරුවනේ වෙළෙඳසැල්වල භාණ්ඩ මිල ගණන් සඳහන් කර තිබෙන අයුරු දැක තිබෙනවා නේද? එවැනි ස්ථානයක ඒ ඒ භාණ්ඩවල අගය නියම වශයෙන් නො කියා මිල ප්‍රමාණය වැඩි කොට එම භාණ්ඩය ගැනුම්කරු විසින් මිලදී ගන්නා බවටම තේරුම් ගියොත් අල්ලස් ගෙන ඒ වටිනා භාණ්ඩවල මිල පහත හෙළන කට්ට කෛරාටික අය උපදින්නේ මේ නිරයේ තමයි. ඇමක් ඇමිණූ බිලී කොක්කක් අරගෙන මාළු මරන්නට සැරසෙනවා වගේ හොර සිතින් කිර මැන, කූට උපක්‍රමවලින් ඇති වෙළෙන්දෝ උපදින්නේ මේ අපායේ තමයි.

දරුවනේ, නියම වටිනාකමින් යුතු භාණ්ඩ නියම මිලට දෙන්න පුරුදු වෙන්න ඕනෑ. වටිනාකමින් වැඩි භාණ්ඩ අල්ලස්ගෙන කපටි ලෙස අඩුමිලට දෙනවා නම් ඒ හැමෝටම යන්න වෙන්නේ නිම් රජු දුටු මේ අපායට ම තමයි. ඒනිසා පරෙස්සම් වෙන්න ඕනෑ.

මාතලී දිව්‍ය පුත්‍රයා නිම් මහ රජතුමා රැගෙන තවත් අපායක් වෙත රථය පැදවූවා. ඒ අපායත් හරිම භයානක යි. එහි කැබලිවලට කැපී ගිය ශරීර ඇති පිළිකුල් සහගත කාන්තාවන් හිස අත බදාගෙන කෑ ගසමින් හඬනවා. හරියට ගෙල සිඳින ලද ගවයන් වගේ. රුධිරය,සාරව සහිතව ගිනියම් වූ යම පොළොවේ ඉඟටිය දක්වාම එරිලා. සිටුවන ලද කණු වගේ. එක් එක් දිශාවලින් ගිනියම් වූ යකඩ පර්වත මහ හඬ නංවමින් ඔවුන්ගේ ශරීරවල හැපී සුණු විසුණුකර දමනවා. හරියට හෙණ හඬ වගේ. බලන්න දරුවනේ කර්මයක මහත. එහෙම සුණු විසුණු වුණත් කර්ම බලයෙන් මේ නිරි සතුන් පෙර සිටි ලෙසට නැවත නැවත පහළ වෙනවා. ගිනියම් වූ යකඩ පර්වත නැවත නැවත ඔවුන්ගේ ශරීර සුණු විසුණු කරනවා. සමහර වෙලාවට දරුවනේ, ගිනියම් කළ පර්වත දෙකක් දෙපැත්තෙන් ඇවිත් උක්ගස් අඹරනවා වගේ නිරි සතුන්ගේ සිරුරුවලින් රතුපාට රුධිරය වැගිරෙනවා. මේ දුටු නිම් රජතුමා තවත් බියපත් වෙනවා. පෙර සේම මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් මේ අපා දුකට හේතු විමසනවා.

කොලිනි යායො ඉධජීව ලොකෙ
අසුද්ධ කම්මා අසතං අචාරුං
තා දිට්ඨ රූපා පටි විප්පහාය
අඤ්ඤං අචරුං රට්කිද්ධ හොතු
තාජිව ලොකස්මිං රමාපයිත්වා
ඛන්ධා තිවට්ඨන්ති තජොති භූතා

සමහර ස්ත්‍රීහු සම්මත නො වූ ක්‍රියාකාරකම් හි නිරත වෙනවා. ශරීරය වැරැදි ලෙස පරිහරණය කරනවා. ආහාරපාන , වස්ත්‍රාභරණ මුදල් වෙනුවෙන් තමන් පෝෂණය කරන ස්වාමියා හැර එලෙස අසම්මත දේ කරනවා නම්, වෙනත් අය දෙස රාගික හැඟීමෙන් බලනවා නම්, සිත්පරිදි කම් සැප විඳිනවා නම්, වෙනත් පුද්ගලයන්ගේ සිත විකෘති වන ලෙස තම ශරීරය පරිහරනය කරනවා නම්, එලෙස හැසිරෙනවා නම් එවැනි පාපී ස්ත්‍රීන් උපත ලබන්නේ මේ අපායේ. මේ නිසා ජීවිතයේ කිසිදිනෙක වැරැදි නො කරන්්න මතක තබා ගන්න ඕනෑ.

දරුවනේ, සත්ව හිංසාව, සොරකම, තමන්ගේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියත් මේ පංච ඉන්ද්‍රියයන් වැරැදි විදිහට පරිහරණය කළොත් යන්නට වෙන්නේ මේ අපායට යි. පුංචි කාලයේ සිටම පිළිවෙලට අඳින්න පළඳින්න පුරුදුවෙන්න ඕනෑ. කතා බහ කිරීමේ දී අපට ගැලපෙන ලෙස කතා බහ කරන්නට, බෞද්ධ චාරිත්‍ර අනුව තමන්ගේ චර්යාව හැඩ ගස්වා ගන්නට පුරුදු වෙන්නට ඕනෑ. එයයි බෞද්ධ දරුවකුගේ ස්වභාවය.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]