[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඩවත පුවක්වැටිය ශ්‍රී සුනෙත්‍රාරාම මූල මහා විහාරයේ කඩවත මැදින් මහා පෙරහර 29 වනදා

කඩවත පුවක්වැටිය ශ්‍රී සුනෙත්‍රාරාම මූල මහා විහාරයේ කඩවත මැදින් මහා පෙරහර 29 වනදා

කඩවත ශී‍්‍ර සුනෙත්‍රාරාම මූල මහා විහාරයේ කඩවත මැදින් මහා පෙරහර මාර්තු 29 වන වන දා රාත්‍රී 8.30 වීදි සංචාරය කිරීම ආරම්භ කෙරේ. විහාරාධිපති මීවලදෙණියේ අමරවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි ශාස්ත්‍රපති කඩවත රතනවංස හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම 29 වනදා පස්වරු 6 ට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ අනුනායක පෑලියගොඩ ගංගාරාමාධිපති ආචාර්ය වල්පොල විමලඤාණ නාහිමියන්ගේ මූලිකත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සව සභාව පැවැත්වේ.

****

සියනෑවේ කලා මංගල්‍යය කඩවත මැදින් මහා පෙරහර

සියනෑවේ මහා මංගල්‍යය ලෙස ගෞරවය දිනා සිටින ශ්‍රී සුනෙත්‍රාරාමයේ කඩවත මැදින් මහා පෙරහර මෙම මස 29 වන දා වීථී සංචාරය කිරීමට නියමිත ය. කඩවත නගරයට විචිත්‍රත්වය මුසු කරන ශ්‍රී සුනෙත්‍රාරාම කඩවත මැදින් මහා පෙරහර ජාතික සංස්කෘතික මංගල්‍යයක් ලෙස හැඳින්විය හැකිය. 40 වන වරටත් සංවිධානය වන කඩවත මැදින් මහා පෙරහරට ඇත්තේ දිගු ඉතිහාසයකි.

ශ්‍රී සුනෙත්‍රාරාමය මූලික කරගෙන අතීතයේ දී දේවාල පෙරහරක් පැවැත්වී ඇත. එවකට විහාරාධිපති පුවක්වැටියේ සුගුණවංස නාහිමියන්ගේ අදහසකට අනුව විෂ්ණු මහා දේවාලය භාරකරු රණවක ආරච්චි කපු මහතාගේ මූලිකත්වයෙන් එම පෙරහර 1979 දී ආරම්භ වී ඇත. දේවාභරණ වැඩම වීම පමණක් සිදු කරමින් ආරම්භ වූ මැදින් මහා පෙරහර විවිධ අපහසුතා මධ්‍යයේ වුව ද වර්ෂයක් පාසා නොකඩවා සිදු කරගෙන ආහ.

මැදින් මහා පෙරහරට නව අරුතක් ගෙනෙමින් සුනෙත්‍රාරාමයේ විහාරාධිකාරීව එවක වැඩ සිටි දැදිගම තිලකවංස හිමියන් බුද්ධ, ධම්ම, සංඝ තෙරුවන් උදෙසා පවත්වනු ලබන පුද පූජා ලෙසින් ආරම්භ කරන්නට අදහස් කරන ලදී. ඒ අනුව 2002 සධාතුක කරඬුව සමඟින් උඩරට, පහතරට ,සබරගමු , සංස්කෘතිකාංග හා අලි ඇතුන් සමගින් අලංකාර පෙරහර සංවිධානය විය. වසර ගණනාවක් උන්වහන්සේගේ මූලිකත්වයෙන් පෙරහර ප්‍රදේශ වාසීන්ගේ දායකත්වයෙන් සිදුකරන්නට විය.

පුවක්වැටියේ සුගුණවංස නාහිමියන් සහ දැදිගම තිලකවංස නාහිමිවරුන්ගේ අපවත්වීමෙන් පසු විහාරාධිපති ධුරයට පත්වීමෙන් පසු 2018 වසරේ මාගේ අනුශාසනා පරිදි මාගේ ප්‍රධාන ශිෂ්‍ය ශාස්ත්‍රපති කඩවත රතනවංස ස්ථවිරයන්ගේ ප්‍රධානත්වයෙන් අත්‍යාලංකාර පෙරහරක් සංවිධානය කිරීමට හැකි විය. උන්වහන්සේ ප්‍රථම වාරයේ දී ම අලි ඇතුන් 25 ක් හා නර්තන කණ්ඩායම් විශාල ප්‍රමාණයක් පෙරහරට එක් කිරීමෙන් පෙනෙනුයේ පෙරහර සංවිධානය කිරීමේ හැකියාව හා දක්ෂතාවය යි. මෙම වසරේදී ඒ හා සමානව පෙරහර පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. දේවාලය, දහම්පාසල ,දායක සභාව, කුළඟන සමිතිය. තරුණ බෞද්ධ සංගමය අනෙකුත් ස්වේච්ඡා සංවිධාන ඒකරාශි කරමින් මෙම වර්ෂයේ ද සිදුකරන කඩවත මැදින් මහා පෙරහරට ආශිර්වාදය පළකරමි.

****

හෙළ සංස්කෘතියේ පූර්ව පැතිකඩක්

පෙරහර පූජාව දුරාතීතයක් ඇති අපේ හෙළ සංස්කෘතියේ අපූර්ව පැතිකඩක් විදහාපාන සංස්කෘතික කලා මංගල්‍යයකි. ලොව්තුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිදීම පෙරහර පැවැත්වීමේ ප්‍රධානතම අරමුණකි. හෙළ කලාකරුවා බුදුන් වහන්සේ පිදීමට සිය කලා කුසලතාව තෝතැන්නක් කරගත්තේය. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ලංකාට වැඩම කරවීමේ දී දඹකොළ පටුනේ සිට අනුරාධපුර මහා මෙව්නාව දක්වා දින හතක් මහ පෙරහර සිදුකළ බව අපේ වංස කතාවල සඳහන් වේ. හේමමාලා හා දන්ත කුමරුන් දළදා වහන්සේ වැඩම කරවීමෙන් පසු අපේ රාජ රාජ මහා මාත්‍යවරුන් මහත් වූ අභිමානයෙන් පෙරහර පවත්වා ඇත. ලක්දෙරණේ සතර දිග වෙහෙර විහාරස්ථානවල පෙරහර පැවැත්වීම බුදුරජාණන් වහන්සේට කෙරෙන මහත් ගෞරවයකි. අප නිකායික විහාර පරම්පරාවේ ආරම්භක මූලස්ථානයක් වන්නේ කඩවත පුවක්වැටිය ශ්‍රී සුනෙත්‍රාරාම මූල මහා විහාරය යි. එම රමණීය පුද බිම 1818 දී කණුගල ගුණතිස්ස නාහිමියන් විසින් ආරම්භ කරන්නට යෙදුණි. සඟ පරම්පරා කිහිපයක් ඉක්ම ගිය තැන විහාරාධිපති ධුරයට පැමිණ අප නිකාය පාර්ශ්වයේ අනුනායක පදවිය දරා අපවත් වී වදාළ පුවක්වැටියේ සුගුණවංස නාහිමියන් 1979 දී දේවාල පෙරහරක් ලෙසින් ආරම්භ කරන ලදී. වසරින් වසර දියුණු වෙමින් පවත්වාගෙන ආ පෙරහර මංගල්‍යය වඩාත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූයේ පසුගිය වර්ෂයේ ය. ඒ වර්තමාන විහාරාධිකාරි අප පාර්ශ්වයේ සම ලේඛකාධිකාරි ශාස්ත්‍රපති කඩවත රතනවංස ස්ථවිරයන්ගේ මනා කැපවීමෙනි.

මෙම වර්ෂයේ ද ඒ හා සමාන පෙරහරක් සිදු කිරීමට උන්වහන්සේ ක්‍රියා කරනු ලබති. උන්වහන්සේ ක්‍රියාශීලිය හ. නිර්මාණශීලි ය හ. තරුණ ජවය මනාකොට පෙරහරට එකතු කරමින් තරුණ,බාල, මහළු කාගේත් සහයෝගය ලබා ගැනීමට සමත් වූ දක්ෂ හිමි නමකි. එනිසා කඩවත නගරයට පෙරටත් වඩා බුද්ධාලම්භන පී‍්‍රතිය උදාවීමට උපකාරි වේ.අප නිකාය පාර්ශ්වයටත් නිකායික සඟ පරපුරටත්, කණුගල සංඝ පරම්පරාවටත් මහත් ආඩම්බරයක් ඇතිවන අයුරින් කඩවත මැදින් මහා පෙරහර සංවිධානය වී ඇත. එය අපගේ පැසසුමට හේතුවකි. චිරාත් කාලයක් පෙරහර මංගල්‍යය අති උසස් අන්දමින් සිදු කරගෙන යන්නට ප්‍රධාන අනුශාසක ශාස්ත්‍රපති කඩවත රතනවංස ස්ථවිරයන් ඇතුළු සංවිධායක මණ්ඩලයට හැකිවේවා.

****

සැමට ආශිර්වාදය

කඩවත පුවක්වැටිය ශ්‍රී සුනෙත්‍රාරාම මූල මහා විහාරයේ එවක විහාරාධිපතිව වැඩ විසූ අපගේ ආචාර්ය පුවක්වැටියේ සුගුණවංස නා හිමියන්ගේ සංකල්පනාවකට අනුව 1979 දී දේවාල පෙරහරක් වශයෙන් මෙම පෙරහර ආරම්භ වී ඇත. විෂ්ණු මහා දෙවියන් උදෙසා පුද පූජා සිදු කරමින් ලක්වැසි සැමට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් විවිධ බාධා හමුවේ පෙරහර මංගල්‍යය වසරක් පාසාම සිදුකරගෙන පැමිණ ඇත. අනතුරුව විහාරාධිකාරිව වැඩ විසු දැදිගම තිලකවංස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් තුනුරුවන්ට මූලිකත්වය දෙමින් කඩවත මැදින් මහා පෙරහර නමින් 2002 දී පෙරහර සංවිධානය කරන ලදී. ඒ අනුව අලි ඇතුන් කිහිප දෙනෙකු සහභාගි කරගනිමින් සංස්කෘතික අංග එක් කරමින් පෙරහර පවත්වා ගෙන එනලදී. උන්වහන්සේලා දෙනමගේ ම අපවත් වීමෙන් පසු මීවලදෙණියේ අමරවංස නාහිමියන් විහාරාධිපති ධුරයට පත්වූහ. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයා ලෙස 2018 වසරේ සිට මැදින් මහා පෙරහරට නායකත්වය දීමට අවස්ථාව මා වෙත උදාවිය.

පසුගිය වර්ෂයේ විහාරස්ථ මැදින් මහා පෙරහර ඉතිහාසයට එක්වූ වර්ෂයක් විය. ඒ මහ පෙරහර සතු සියලු අංග එකතු කරවමින් පෙරහර පැවැත්වීමට ලැබීම යි. ඒ අනුව ප්‍රථම වරට පෙරමුණේ රාළ හා ගජනායක නිලමේ පෙරහරට එක්වූයේ පසුගිය වර්ෂයේ ය. තවද සර්වඥ ධාතුන් වහන්සේ භාරව ප්‍රධාන බස්නායක නිලමේතුමන් මෙම පෙරහරේ ගමන් ගන්නේ ද පසුගිය වර්ෂයේ සිට ය . දෑල ඇතුන් සමගින් අලිඇතුන් 25 දෙනෙකු සහ උඩරට, පහතරට, සබරගමු , නර්තනාංග කණ්ඩායම් 60 ක් පමණ සහභාගි කරවමින් අත්‍යලංකාර පෙරහරක් සංවිධානය කරගැනීමට මට හැකිවිය.අප පෙරහර ඉතිහාසයේ ප්‍රථමවරට විෂ්ණු දෙවියන්ගේ දේවාභරණ වැඩමවීම සඳහා ඇත් රාජයකු සම්බන්ධ විය. මහනුවර දළදා මාලිගාවේ තායිරාජා ඒ සඳහා යොදා ගැණිනි.

මෙවර පෙරහර මාර්තු මස 29 දින රාත්‍රි 08.02 යෙදෙන සුබ මුහුර්තියෙන් දකුණු දිශාභි මුඛව පෙරහර පිටත්වීමට නියමිත ය. ඒ සඳහා මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඇතුන් පෙරටු කොට හස්ථි රාජයින් 30 දෙනෙකු පමණ පෙරහරට එක් කෙරේ.

කලාවේ උල්පත පෙරහරයි. උඩරට, පහතරට , සබරගමු සම්ප්‍රදායානුගත නර්තන කණ්ඩායම් 70 ක් පමණ මෙවර පෙරහරට ඒකරාශි කිරීමට අවස්ථාව උදාවී ඇත. මැදින් මහා පෙරහර කමිටුවත්, විෂ්ණු දේවාල භාරකරු රණවක ආරච්චි කපුමහතාගේ සහයෝගයත් ලබමින් තරුණ සංවිධාන, කාන්තා සංවිධානය, ශ්‍රී ශාසනවංස දහම්පාසල හා ප්‍රදේශයේ විහාරස්ථාන මෙන්ම දහම් පාසල් දැරු දැරියන් 3000 කට අධික පිරිසක් මෙවර පෙරහරට එක් වීමට සූදානමින් සිටිති.

පක්ෂ විපක්ෂ දේශපාලන අධිකාරියේ සහයෝගය ලබමින් මැති ඇමැතිතුමන්ලාගේ සහභාගිත්වයෙන් පෙරහර උත්සවය 29 දින පස්වරු 6.00 ට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංස සද්ධමම් යුක්තික පාර්ශ්වයේ අනුනායක වල්පොල විමලඤාණතිස්සාභිධාන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිත ය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සුරතින් සධාතුක කරඬුව මංගල හස්ති රජයා මත තැන්පත් කෙරේ. අලි ඇතුන් 30 දෙනෙකු මෙවර පෙරහරට සම්බන්ධ වේ. උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායට අයත් නන්දෙසින් පැමිණෙන නර්තන කණ්ඩායම් 50 කින් පෙරහර අලංකාර වේ. මෙවර පෙරහර කරඬුව භාර නිලමේතුමන් ලෙස බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් කුමාර මහතා පුරාණ චාරිත්‍රානුකූලව සිරිත් විරිත් ඉටුකරමින් පෙරහරට එක්වනු ඇත.

කඩවත නගරයේ වෙළෙඳ සංගමයේ වෙළෙඳ ප්‍රජාවගේ පූර්ණ දායකත්වයෙන්, සම්පත් දායකයින්, ප්‍රදේශවාසි පරිත්‍යාගශීලින්, දේශපාලන අධිකාරියේත් සහයෝගය මත මෙම වර්ෂයේ පෙරහර මංගල්‍යය සාර්ථකව සිදු කරගන්නට හැකිව ඇත. සංස්කෘතික අංගයන්ගෙන් පරිපූර්ණ වූ සියලු ජාතීන්, සියලු ආගමිකයින්, එකට එක්ව නරඹන සියනෑවේ සංස්කෘතික මංගල්‍යය කඩවත මැදින් මහා පෙරහර සාර්ථකව සිදුකර ගන්නට ලැබේවා.

****

මා හැඟි කටයුත්තක්

කඩවත පුවක්වැටිය ශ්‍රී සුනෙත්‍රාරාම මූල මහා විහාරස්ථානයේ 40 වන වරටත් පැවැත්වෙන කඩවත මැදින් මහා පෙරහරට සුබාශිංසන පළකරන්නේ අතිශයින් ම සතුටු සිතිනි. විහාරාධිපති නා හිමියන්ගේ අනුශාසනා පරිදි ශාස්ත්‍රපති කඩවත රතනවංස හිමියන්ගේ මෙහෙයවීමෙන් ශ්‍රී සුනෙත්‍රාරාම මූල මහා විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙන කඩවත මැදින් මහා පෙරහර මංගල්‍යය ශ්‍රී ලාංකීය කලා කෙත අස්වද්දන්නට දරණ උත්සාහයේ ප්‍රතිඵලයකි. ආදී මුතුන් මිත්තන් ගොඩනැගූ පෙරහර කලාව හා සංස්කෘතිය වර්තමානයට දායාද වූයේ ඔවුන් දිවි පරදුවට තබා කළ ආරක්ෂාවෙනි. එය වර්තමානයේත් අනාගතයට සම්පේ‍්‍රෂණය කළ හැකි වන්නේ අප සුරක්ෂිත කළහොත් පමණි. එසේ නොවුනහොත් අපේ ලාංකේය පෙරහර කලාව හා සංස්කෘතිය පණ ඇදී මිය යන්නට පුළුවන. මෙම කරුණ මැනවින් වටහාගත් කඩවත රතනවංස නාහිමියන් කඩවත මැදින් මහා පෙරහර සංවිධායක මණ්ඩලයේත් මෙහෙයවීමෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ජනතාවගේ යහපත සාධනය මුලික අරමුණු කොට සාම්ප්‍රදායික උඩරට පහතරට සබරගමු කළා නර්තන අංග රැසක් ඇතුළුව අනාගත අභිමතාර්ථ සාධනයෙහි ලා සිදු කෙරෙන මෙම පෙරහර ඉතා මාහැඟි කටයුත්තක් සේ මම දකිමි. ශ්‍රී සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා නොනිමි මෙහෙවරක් සිදුකරන ශාස්ත්‍රපති කඩවත රතනවංස නාහිමියන්ටත්, මැදින් මහා පෙරහර සංවිධායක මණ්ඩලයටත් මහනුවර ශ්‍රී දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයත් විෂ්ණු දෙවියන් ප්‍රධාන දේව මණ්ඩලයේ ආශිර්වාදයත් මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.

සැමට දළදා සමිඳු පිහිටයි

****

මතු පරපුරට දායාද කරමු

කඩවත මැදින් මහා පෙරහරට දිගු ඉතිහාසයක් ඇත. එය මෙවර පවත්වන්නේ 40 වන වරටය. එවක අප විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ පුවක්වැටියේ සුගුණවංස අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී විෂ්ණු දේවාලභාරකාර රණවක ආරච්චි කපුමහතාගේ මූලිකත්වයෙන් විෂ්ණු දේවාල පෙරහරක් ලෙස 1979 දී ආරම්භ කර ඇත. මැදින් මහා පෙරහර නමින් එවක විහාරාධිකාරිව වැඩ විසූ දැදිගම තිලකවංස හිමියන්ගේ සංකල්පනාවකට අනුව අලි ඇතුන් සමගින් පෙරහර ආරම්භ විය. එම පෙරහර කමිටුවේ ප්‍රධාන සභාපති ලෙස කටයුතු කිරීමට මා හට හැකි විය. එවක් පටන් වසර 10 කටත් වඩා වැඩි කාලයක් පෙරහර කමිටුවේ සභාපති ධුරය හොබවමින් මැදින් මහා පෙරහර සාර්ථකව සිදු කරගෙන එන්නට හැකිවිය.

2018 දී අප විහාරස්ථානයේ විහාරාධිකාරි ධුරයට පත් ශාස්ත්‍රපති කඩවත රතනවංස හිමියන්ගේ නායකත්වයෙන් මැදින් මහා පෙරහර ඉතිහාසයේ වඩාත් සාර්ථකව පෙරහර සිදුකරන්නට හැකිවිය. ඊට දායක වූ මා හටද ඇත්තේ නිහතමානී සතුටකි. අලි ඇතුන් සමගින් පෙරහර කරඬුව වැඩම වීම හා අලි ඇතුන් 25 දෙනෙකු නර්තන කණ්ඩායම් 50 කට අධික සහභාගි වූ එම පෙරහර අත්‍යලංකාර වූවකි.

කඩවත මැදින් මහා පෙරහර සඳහා කඩවත වෙළෙඳ සංගමයේ සභාපති සුමේධ මහලේකම්ගේ මහතා ප්‍රධාන වෙළෙඳ ප්‍රජාව සිහිකළ යුතුමය. ප්‍රදේශවාසි, ගම්වාසි ජනතාව මහත් උනන්දුවෙන් පෙරහර සඳහා ආධාර කරති .බොහෝ විට සැම වර්ෂයකදීම දානපතීන් විසින් අලි ඇතුන්ගේ බරපැන ඉතා සතුටින් භාර ගැනෙති. විහාරස්ථ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකරු රණවක ආරච්චි කපුමහතා පෙරහර සඳහා විශාල අනුග්‍රහයක් ලබාදෙමින් කටයුතු කරනු ලැබේ.

පෙරහරේ අද දවස

2019 වර්ෂය අප පෙරහරේ සන්ධිස්ථානයකි. ඒ පෙරහර ආරම්භකර වසර 40 ක් සම්පූර්ණ වීම ය. මෙවර පෙරහර ඉතා උසස් අයුරින් සිදු කිරීට ශාස්ත්‍රපති කඩවත රතනවංස හිමියන් කටයුතු සංවිධානය කර තිබේ. අලි ඇතුන් 30 ක් හා නර්තන කණ්ඩායම් රාශියකින් මෙවර පෙරහර අලංකාර වේ. කඩවත නගරයට මහත් අභිමානයක් වගේම බුද්ධාලම්භන පී‍්‍රතිය ජනී ජනයාගේ සිත් තුළ ඇති කරවන මහා සංස්කෘතික මංගල්‍යය කි. අපේ පෙරහර සංස්කෘතිය මතු පරම්පරාවට දායාද කරන්නට අපගේ මැදින් මහා පෙරහරට හැකිවේවායි හදපිරි සතුටින් ප්‍රාර්ථනා කරමි.

****

ධර්මදානය පතා බුදුසරණ පිරිනැමේ

ධර්මදානය පතා බුදුසරණ පුවත්පතේ පිටපත් දහසක් කඩවත ඉහළ බියන්විල ලලිත් කුමාර හෙට්ටිආරච්චි මහතා විසින් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 27 වනදා බදාදා අපරභාග 08.55 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා අපරභාග 10.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]