[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අව අටවක 2019.03.28

අකාලයේ වැනසෙන්නේ ඇයි?

බෞද්ධයාගේ ඒකායන අරමුණ නිවන ය. කෙලෙස් ගිනි නිවා උතුම් නිර්වාණාවබෝධය සාක්ෂාත් කොට සංසාර සාගරයෙන් එතෙර වීමේ ආරම්භක පියවර අතර පංචශීලය ප්‍රධාන වේ. සම්බුදු දහමතුළ උගන්වා ඇති, ගිහියෙකු විසින් අනුගමනය කළ යුතු නිත්‍ය ශීලය වන පන්සිල් පෞද්ගලිකව තමන්ගේ සුබ සිද්ධිය පමණක් ළඟා කර දෙන්නේ නොවේ. ප්‍රාණඝාතයෙන්, සොරකමින්, කාමය වරදවා හැසිරීමෙන්, බොරුවෙන්, සුරාවෙන් වැළකීම හා අනුන් වළක්වාලීම තුළ සමස්ත සමාජයෙහි ම සුරක්ෂිත බව තහවුරු වන්නේ ය. එහිදී යම් කිසි ජාතියකට හෝ වේවා, යම් ආගමික පිරිසකට හෝ වේවා, යම් රටකට හෝ වේවා කිසිදු භේදයකින් තොරව අනුගමනය කළ හැකි ආචාර ධර්මයන් ලෙස ද පන්සිල්වල ඇති සමාජය සුරක්ෂිත කිරීමේ ඇති වෙසෙස් ශක්‍යතාව අවිවාදිත ය.

අද සමාජය විවිධ ව්‍යසනකාරී තත්ත්වයන්ට මුහුණ පා සිටී. අසන දකින බොහෝ සිදුවීම් මානව වර්ගයාගේ ක්‍රියාකාරකම්හි නොමිනිස් බවට, පරිහානිකර බවට නිදසුන් සපයයි. මේ ව්‍යසනයන් බොහොමයකට මුල මිනිසා පස්පවෙහි ගිලීම ය. වැඩි පිරිසක් පව් කරන්නේ ආදීනව දැන දැනම ය. කනගාටුව නම් පවෙහි ගැලෙන්නා පමණක් නොව ඔහු නිසා අන්‍ය පිරිස්වලට ද ඒවායෙහි අහිතකර ඵල භුක්ති විඳින්නට සිදුවීම ය.

පංචශීලය තුළ එන අවසන් ශික්ෂා පදය, සුරාවෙන් වැළකීමේ වැදගත්කම වෙසෙසින් වත්මන් සමාජයෙහි නිරන්තරයෙන් අවධාරණය කෙරේ. තමන් මතට ගොදුරු වී නැතැයි කෙනෙකුට අභිමානයක් ඇතිවිය හැකි ය. එහෙත් ඒ පුද්ගලයා වෙසෙන පරිසරයේ ජීවත්වන අන්‍ය පුද්ගලයෙක් මතට ගොදුරුවී නම් තමන් ගැන අභිමානයක් ඇති කර ගත්තාට ප්‍රයෝජනයක් නැත. මන්ද මතට ගොදුරු වූවන්ගෙන් අන්‍යයන් ද බොහෝ ගැහැට විඳින නිසා ය. මේ නිසා තමන් සේ ම අන්‍යයන්ද මත් උවදුරෙන් ගලවා ගන්නට ඇප කැප වීම අත්‍යවශ්‍ය ය.

මත් ද්‍රව්‍යයන්හි ආදීනව පිළිබඳ ආගමෙන් දහමෙන් මතු නොව රටේ ආරක්ෂක අංශවලින්, විවිධ ආයතන ඔස්සේ සමාජය දැනුම්වත් කළ ද එහි ගොදුරුවන්නන්ගේ අඩුවක් නොපෙනේ. අද සමහර පියවරු දරුවන් ඉදිරියේ පවා බීමත්කමට ලජ්ජා නොවෙති. බීමත්ව රියපැදවීම සම්පූර්ණයෙන් ම තහනම් ය. එහෙත් අපේ සමාජයේ සමහර රියදුරන් ඒ නීතිය කඩ කරන්නට තරම් නිර්ලජ්ජිත වන්නේ මහ මඟ ගමන් ගන්නා අයගේ ද ජීවිතාරක්ෂාව මායිම් නොකරමිනි. මාධ්‍ය වාර්තාවන්හි පළ වූ අන්දමට බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 293 දෙනෙකු ඇතුළු වෙනත් වැරැදි සිදුකළ රියදුන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ දින ගණනාවක මෙහෙයුමකින් නොවේ. එක් දිනක රාත්‍රී දහයේ සිට පසුදා අලුයම දක්වා කළ මෙහෙයුමකිනි. මේ තරම් සුළු කාලවේලාවක් තුළ බීමත් රියදුරන් මෙපමණ පිරිසක් අත් අඩංගුවට පත්වීම ම අතිශය ශෝචනීය ය.

බීමත් වූ කල කටයුතු කරනුයේ විකල් වූ සිහියෙනි. විකල් වූ සිහි ඇත්තාට තමන් ඉන්නේ කොතැන ද, කරන්නේ කුමක් ද යන්න ගැන නිවැරැදි වැටහීමක් නොවිය හැකි ය. එසේ වූ කල මහ මඟ ගමන් ගන්නා පිරිස් ඔහු පදවන රථයට යටවීමට ඇති ප්‍රවනතාව ඉහළ ය. එසේත් නැතිනම් පාරේ යන තවත් වාහනයක, ගහක කොළක, ලයිට් කණුවක ගැටීමට ඉඩ ඇත. අවසානය නිවැරැදි පුද්ගලයෙක් ජීවිතයෙන් වන්දිගෙවීම විය හැකි ය. බීමත් රියදුරන් නිසා රටට අහිමි වූ වටිනා මිනිස් ජීවිත ප්‍රමාණය කළ නොහැකි ය. දිනෙන් දින වාර්තාවන රිය අනතුරු බොහොමයකට මුල බීමත් රියදුරන් ය.

මිනිසා යනු සිතා බලා කටයුතු කළ හැකි බුද්ධිමත් සත්ත්වයෙකි. එහෙත් අද බොහෝ දෙනෙක් සිතා බලා කටයුතු කරන්නට දන්නේ නැත. ඉවසීම, හික්මීම ඇත්තේ ම නැත. ජාති, ආගම් භේදයකින් තොරව මෙවැනි විෂමාචාර පිටු නොදකිනතාක්, වැරැදි කරුවන් නිවැරැදි නොකරතාක් සමාජ ඛේදවාචකයන්ගේ අඩුවක් නොවනු ඇත.

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 27 වනදා බදාදා අපරභාග 08.55 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා අපරභාග 10.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]