UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතුටින් සිටිය හැකිද?

සතුටින් සිටිය හැකිද?

පී‍්‍රතිය සහ සතුට කියන්නේ අපට නිරන්තරයෙන් ඇසෙන්නට ලැබෙන වචන දෙකක්. ලෝකයේ ජීවත් වන සැමගේ බලාපොරොත්තුවත් සතුටින්, සැපෙන් ජීවත්වීමයි.

ලෝකවාසී සත්ත්වයා සැපයට කැමැතියි. දුකට අකැමැතියි. (සුඛකාමා දුක්ඛ පටික්කූලා) බොහෝ දෙනා සතුටට කැමැති වුණාට, පී‍්‍රතියෙන් සිටින්නට කැමැති වුණාට සැබැවින් ම එය ලබාගන්නේ කෙසේදැයි දන්නේ නැහැ.

පී‍්‍රතිය යන වචනය අට්ඨකථාචාරීන් වහන්සේලා අර්ථ ගන්වා ඇත්තේ අරමුණු තුළින් සිතෙහි ඇතිවන පිනා යන ස්වභාවය ලෙසිනු යි. අරමුණෙන් සතුටු වන ස්වභාවය පී‍්‍රතිය වශයෙන් හැඳින්වීමට පුළුවන්. ධර්මයෙහි පී‍්‍රති වර්ග පහක් ගැන සඳහන් වෙනවා. පස්වණක් පී‍්‍රතිය කියන්නේ ඒ පී‍්‍රති වර්ග පහට යි.

1. ඛණික පීති – එක් වරකින් නො නැවතී මොහොතින් මොහොත ක්ෂණිකව හට ගන්නා පී‍්‍රතිය යි

2. ඔක්කන්තික පීති – චිත්ත වේගයන් යටපත් කොට නැවත නැවත මතුව එන පී‍්‍රතිය යි. මෙය ශරීරය පිනවමින් ඉතිරී පැතිරී ගොස් නැති වී යනවා.

3. උබ්බේන පීති – ශරීරය අහසට නැංවීමට තරම් බලවත් ව නැගෙන පී‍්‍රතිය යි. මෙය කෙනෙකුට අධ්‍යාත්මිකව උසස් මට්ටමකට පැමිණීමට තරම් උපකාරි වන්නා වූ පී‍්‍රතියකි.

4. ඛුද්දක පීති – ශරීරයේ ලොමු දැහැ ගන්වන අයුරින් ඇතිවන්නා වූ ,හිරිගඩු පිපෙන ආකාරයේ සියුම් හා කුඩා පී‍්‍රතිය යි.

5. ඵරණ පීති – ශරීරය පුරා පැතිර පවත්නා පී‍්‍රතිය යි

පී‍්‍රතිය තුළ සිත සහ කය යන දෙක ම ප්‍රමෝදයට පත්කිරීමේ ස්වභාවයක් තිබෙනවා. මේ පස්වණක් පී‍්‍රතිය ලෝකෝත්තර සිත් තුළ ඇති වන්නක් ලෙසයි ධර්මයෙහි සඳහන් වන්නේ. ධර්මයෙහි පී‍්‍රතිය සාමිස පීති සහ නිරාමිස පීති වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වා තිබෙනවා. සාමිස පී‍්‍රතිය කෙලෙස් සහිත එකක්. තෘෂ්ණාව මුල් කරගත් එකක්. නමුත් නිරාමිස පී‍්‍රතිය නිකෙලෙස් සිතිවිල්ලක්. ඒ නිරාමිස පී‍්‍රතිය තමයි පස්වණක් පී‍්‍රතිය තුළත් තිබෙන්නේ. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් වන සප්ත බොජ්ඣංග ධර්මවල ද පී‍්‍රතිය ගැන සඳහන් වෙනවා. එහිදී පී‍්‍රතිය බොජ්ඣංග ධර්මයක් සඳහා වැඩීමට උපකාර වෙන ධර්මතා එකොළහක් ගැන සඳහන් වෙනවා.

කෙනෙකුගේ සිතෙහි ඇති වන සතුට ස්ථාවර කරනවා. ඒ අනුව නියම සතුට ලබන්නේ අවබෝධයට පත් තැනැත්තා යි. අවබෝධයට පත් තැනැත්තා වර්තමානය තුළ ජීවත්වෙන කෙනෙක්. වර්තමානයේ ජීවත් වෙන තැනැත්තාගේ සිත තුළ කළකිරීමක් නැහැ. ඒ නිසයි ඔහුට නිරන්තරයෙන් ම සතුටින් සිටිය හැකි වන්නේ.

සතුට සහ සැපත කියන කාරණා දෙක පුද්ගල බද්ධ යි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන දෙයක්. කෙනෙක් සතුටු වන්නේ ලෝභ, ද්වේෂ හා මෝහ යන කෙලෙස් සමඟ මුසු වෙලයි. ඒ සතුට සාමිස සතුටක්. තවත් කෙනෙක් සතුටු වන්නේ නිකෙලෙස් සිතිනු යි. ඒ සතුට නිරාමිස යි. ඒ සතුටයි නිවනට උපකාරි වන්නේ. අප සිදු කරනු ලබන කායික, වාචසික හා මානසික විවිධ ක්‍රියාකාරකම් තුළින් අපගේ සිතෙහි සතුටක් ඇති වන්නේ නැතිනම්, අපට ඒ ක්‍රියාව තවදුරටත් සිදු කරගෙන යාමට සිත් පහළ වන්නේ නැහැ. එය අතරමඟ අතැර දමන්නට සිතෙනවා. එය සාමාන්‍ය චිත්ත ස්වභාවයක්. ජීවන මගෙහි ගමන් කරන විට අප නිවන පිණිස කරනු ලබන ක්‍රියාකාරකම් ගැන අපට සතුටක් තිබිය යුතු වෙනවා. ඒ සඳහා සිත තුළ නිරාමිස පී‍්‍රතිය දිගින් දිගටම රැක ගත යුතු වෙනවා. ඒ පී‍්‍රතිය තිබෙනවා නම් පමණයි අපට නිවන් මඟෙහි ඉදිරියට ගමන් කිරීමට සිත් පහළ වන්නේ. ඒ අනුව පී‍්‍රතිය නිවන් දකින්නට බෙහෙවින් බලපාන කාරණාවක්.

බුදුදහමින් අපට උගන්වන්නේ දුක හඳුනාගෙන සැපත, සතුට උදා කර ගැනීම යි. නිවන කියන්නේ දුකින් නිදහස් වීමයි. දුකින් නිදහස් වන්නට නම් දුක කියන්නේ කුමක්දැයි හඳුනා ගත යුතු වෙනවා. දුක සහ සැප හඳුනන කෙනා තමයි දුකින් නිදහස් වන්නට උත්සාහවත් වන්නේ. සැපත සොයා යන්නේ. දුකින් නිදහස්ව ලබන සැපත නිවන යි. ඒ පරම සැපත වන නිවන සාක්ෂාත් කර ගැනීමට නම් දුක ගැනත්, දුක ඇතිවීමේ හේතුව ගැනත්, දුකට හේතුව වන තණ්හාව නැති කරන මාර්ගය හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැනත් මනා ලෙස වටහා ගත යුතු වෙනවා.

සත්‍ය ගවේෂණයේ දී කය ලෙඩවීමට වඩා භයානක සේ සලකන්නේ සිත ලෙඩ වීම යි. නමුත් කය ද ලෙඩ නො වී පවත්වා ගැනීමට හැමවිට ම උත්සාහවත් විය යුතු යි. සිත කය ඇසුරු කරගෙන පවතින නිසා කායික රෝගී බව මානසික පීඩාවට ද හේතු වෙනවා. ශරීරය ලෙඩ වන විවිධ හේතු තිබෙනවා. ඒ අතර ශරීරාගත ලේ ධාතුව අපිරිසුදුවීම ප්‍රධාන කාරණාවක්. ලේ ධාතුව අපිරිසුදුවීමට ප්‍රධානම හේතුව වන්නේ සිත අපිරිසුදුවීම යි. ඉන්ද්‍රියන්ට ගෝචර වන අරමුණු නිසා සිත කිළිටි කර ගතහොත් ගත ද ලෙඩ වෙනවා. ගත අමතක කර කිසි දා සිත දියුණු කරන්නට බැහැ. ඒ නිසා කය ද නිසි ලෙසින් පවත්වා ගෙන යා යුතු යි. කය පවත්වා ගෙන යනවා කියන්නේ විවිධ ක්‍රමවලින් කය ලස්සන කරගැනීම නොවේ. නැතහොත් ශරීරයට ඇලීම හෝ බැඳීම නොවේ. කය නිරෝගී ව පවත්වා ගෙන යාම යි. සිතෙහි නීරෝගී බව නැති තැන සිතෙන් සතුට ද පලා යනවා. සතුටක් සිතේ නැති තැන සිත ලෙඩ වෙනවා. සිත ලෙඩ වෙන විට ගත ද ලෙඩ වෙනවා. මිනිසා ලෙඩ වන්නේ ම තම තමාගේ චිත්ත ආවේග මතම යි.

සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම මිනිසා නො පැමිණි අනාගතය ගැන බිය වෙනවා. ඉකුත් ව ගිය අතීතය ගැන පසු තැවෙනවා. සිතට නැඟෙන විවිධ ප්‍රශ්න ගැටලු ගැන සිතමින් කාලය ගත වෙනවාට වඩා අවබෝධයෙන් ඒවා කළමනාකරණය කරන තැනැත්තාට සිතේ සැහැල්ලුව ඇති කර ගත හැකි වෙනවා. ඒ අනුව සතුට යනු ගත සිත දෙක ම සුවපත් කරන මහෞෂධයක් සේ සැලකිය යුතු වෙනවා.

"ධම්මං සරණං ගච්ඡාමි" යනුවෙන් දහම් සරණ ගිය අපි සැබැවින් ම බුදුපියාණන් වහන්සේ වදාළ ධර්මය නිසි ලෙසින් හඳුනා ගෙන ඇද්ද? ධර්මයේ මූලික ඉගැන්වීමක් වන හේතුඵල දහම වටහා ගෙන ඇද්ද? අප අපට මුහුණ දීමට වෙන ගැටලු හේතුඵල දහමට අනුව විසඳා ගැනීමට උත්සාහවත් වෙනවා ද? හේතුඵල දහමට අනුව නම් හේතුවක් නිසා යමක් හට ගන්නවාද? හට ගැනීමට හේතු වූ කාරණාව නැති වන විට ඵලය ද නැතිව යනවා. මේ ධර්මතා සෑම දෙයකට ම යොමු කොට, සාර්ථක විසඳුම් ලබා ගැනීමට අප උත්සුක වන්නේ ද? නැතහොත් හැඟීම්, ආවේග ආදියට යට වී අපගේ වටිනාකම නැතිකර ගන්නේදැයි අප අපගෙන් ම විමසිය යුතු වෙනවා. හඬා වැටීමක් නැති, කඩා වැටීමක් නැති ජීවිතයක් ගත කරන්නට අප නිරන්තරයෙන් ම උත්සාහවත් විය යුතු වෙනවා.

ජීවිතය සුඛෝපභෝගී වූ පමණින් සැනසිලිදායක නො වන බවත්, ඒ සඳහා සතුට ද නිරන්තරයෙන් ම රැඳී පැවැතිය යුතු බවත්, අප වටහා ගත යුතු වෙනවා. එසේ ම සතුට නැති තැන හට ගන්නේ දුක බවත්, දුක උපදින්නේ ඇලීම තිබෙන තැන බවත්, ඇලීම් අතරින් ලොකු ම ඇලීම පඤ්චස්කන්ධය උපාදානය කිරීම බවත්, ඒ උපාදානය නිසා ම විඳිය හැකි ලොකු ම සාංසාරික දුක හෙවත් පඤ්චස්කන්ධ දුක විඳින්නට සිදුවන බවත්, අප දැනගත යුතුයි. එනිසා කිසිදු දෙයක් උපාදානය නො කර සිටීම පරම සැපත, පරම සුවය, පරම සතුට ලැබිය හැකි මඟ බව අප සිහියෙන්, නුවණින් වටහා ගෙන කටයුතු කිරීම දෙලොව යහපත පිණිස උපකාරි වෙනවා.

 

නවම් අව අටවක පෝය


නවම් අව අටවක පෝය පෙබරවාරි 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.46 ට ලබයි. 27 වන දා බදාදා පූර්වභාග 05.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වන දා අඟහරුවාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]