UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

අමුණුපුර පියරතන නාහිමි

මහනුවර අස්ගිරි මහා විහාරයීය සංඝ සභාවේ මහෝපාධ්‍යය ශාස්ත්‍රවේදී පණ්ඩිත අමුණුපුර පියරතන නා හිමියන් විසින් අඩ සියවසකට ආසන්න කාලයක් අස්ගිරිය මහාවිහාරය කේන්ද්‍රස්ථානය කරගෙන සිදුකරන ලද ධර්ම ශාස්ත්‍රීය, ආගමික ශාසනික සේවයට අමතරව විශේෂයෙන් දහම් පාසල් අධ්‍යාපන සේවය උසස් ලෙස සලකන පණ්ඩිත පියරතන නා හිමි වෙත අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ධම්ම සිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහා නා හිමි ප්‍රධාන අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාව විසින් ත්‍රිපිටකාචාර්ය විනය කීර්ති ශ්‍රී සුමංගල යන ගෞරව නාමය ප්‍රධානය කර ඇත.

අස්ගිරිය විජයසුන්දරාරාම පුරාණ රජමහාවිහාරයේ ශ්‍රී සද්ධම්ම වර්ධන දහම් පාසලේ දශක හතරකට අධික කාලයක් ප්‍රධානාචාර්ය වශයෙන් සිය ධර්ම ඥානය ප්‍රදේශයේ දූදරුවන් වෙනුවෙන් ලබාදී සදාචාර සම්පන්න අනාගත පුරවැසියන් පිරිසක් බිහිකිරීමට කැපවී ක්‍රියාකරන පියරතන නා හිමියෝ පසුගිය දශක තුන තුළ ධර්මාචාර්යවරයෙකු වශයෙන් පිරිවෙන් රැසක සේවය කර ඇත. අස්ගිරිය මහා විහාර උපසම්පදා විනය කටයුතු ප්‍රධාන ශාසනික සේවාවෙහි නිරතව උපාධ්‍යායන් වහන්සේ නමක් වශයෙන් සිදුකරන මහත් සේවාවන් අගයමින් ධර්ම සේවා සංවිධාන රැසකින්ම උන්වහන්සේට එම සේවාවන් තවතවත් අගයමින් ගෞරව සම්මාන පිරිනමා ඇත. “ශාසන කීර්ති” සමාජ සේවා ශිරෝමණීයන ගෞරව නාමය එම සම්මාන අතර වෙති. මහනුවර ගඟවට කෝරළයේ ශාසනාරක්ෂක මණ්ඩලයේ පවත්වන ලද දහම් පාසල් සේවය අගයමින් මේ වැඩසටහන් යටතේ අවස්ථා රැසකදී ද සම්මාන ලබා ඇති පියරතන නා හිමියෝ, 2016 දී මාධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය විසින් දහම් පාසල් සේවය අගයමින් රාජ්‍ය සම්මානය ද පිරිනමා ඇත. පියරතන නා හිමි විසින් සිදුකරන ලද ධර්ම ශාස්ත්‍රීය සේවයේ ග්‍රන්ථ කරණය යටතේ ප්‍රථම උදානය ගිරිමානන්ද සූත්‍රය හා දෙලෝසාන්තිය, අස්ගිරිය විජයසුන්දරාරාමය ‘ධර්ම දේශනා’ තෙරුවන් වන්දනාවේ ආනිශංස මහින්දාගමනයේ අසිරිමත් භාවය, ප්‍රාතිමෝක්ෂ සංවරසීලය හා නිර්වාණගාමී ප්‍රතිපදාව යන ග්‍රන්ථ රැසක් ලියා ධම්දානය ලෙස පිරිනමා ඇත. මෙයට අතිරේකව ශාසනික තොරතුරු ඇතුළත් පැරැණි සිද්ධස්ථාන හා ආගමික මංගල්‍ය කටයුතුවල පවතින චාරිත්‍රවල පෞරාණිකත්වය විස්තර කරන සාරගර්භ ශාස්ත්‍රීය ලිපි පුවත්පත්වලට සැපයීමත්, ධර්ම දේශනා ඉදිරිපත්කිරීමෙන් පියරතන නාහිමිගේ ධර්ම ශාස්ත්‍රීය සේවාව ව්‍යාප්ත වී ඇත.


ඕමාරේ කස්සප අනු නා හිමි

ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ධූරයත්, මහා ලේඛකාධිකාරී තනතුරත් දරන ඕමාරේ කස්සප අනු නා හිමියෝ කඹුරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ රජමහා විහාරාධිපති ලෙසත් සපුගොඩ විද්‍යා නිකේත පිරිවෙනෙහි අධ්‍යක්ෂ ධූරයත් හොබවන අතර රට දැය සමයේ උන්නතිය වෙනුවෙන් කරනුයේ අම්ල මෙහෙවරකි.

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ හිටපු සිංහල අංශයේ මහාචාර්ය ගතාරේ ධම්මපාල, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් පරීක්ෂක, ගතාරේ සුගතපාල, ත්‍රිපිටක විශාරද ගැටමාන්නේ සෝභිත, කර්මාචාර්ය කුඩාගොඩ චන්දරතන යන නාහිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1968 ඔක්තෝබර් 30 දා පැවිදි බිමට පත් වූයේ ඕමාරේ කස්සප යන නමිනි. 1974 ජූනි 05 දා මහනුවර මල්වතුමහා විහාර උපෝසථාගාරයේ දී උපසම්පදා සීලයට පත්විය. බෙල්ලන්විල රජමහා විහාරයේ නේවාසිකව වැඩසිටිමින් පැපිළියානේ සුනේත්‍රාදේවි මහ පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සමත්වීමෙන් පසු ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්තේ ය. අනතුරුව කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවද රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරුපුහුණු පාඨමාලාවද හැදෑරීය.

කඹුරුපිටිය සපුගොඩ විද්‍යා නිකේත මහ පිරිවෙනෙහි 25 වසරක් සේවය කළ අතර ඉන් 24 වසරක්ම එහි පරිවෙනාධිපති ධූරය ඉසිලීය. කොළඹ කිරුළපන පූර්වාරාම ශ්‍රී පඤ්ඤාලෝක පිරිවෙනෙහි ද කලක් සේවය කළ කස්සප නා හිමියෝ කෝට්ටේ නාග විහාරාධිපති, මාදුළුවාවේ සෝභිත හිමි සමඟ එක්ව සමස්ත ලංකා පිරිවෙන් ගුරු සංගමය පිහිටුවා පිරිවෙන් ගුරු සේවය නගා සිටුවීමට ක්‍රියා කළහ. අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක වශයෙන්ද සේවය කළ නාහිමියෝ කඹුරුපිටිය හා මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලවල ලේඛකාධිකාරී ලෙසද දිගු කලක් සේවය කළහ. අනතුරුව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උප සභාපති ධූරයට ද පත්විය. ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අධිකරණ සංඝනායක ධූරයත්, ලේඛකාධිකාරී ධූරයත් හොබවා අනතුරුව අනුනායක ධූරයටද පත් විය. කඹුරුපිටිය සපුගොඩ විද්‍යා නිකේත මහ පිරිවෙන රටේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් බවට පත්කළ අතර නොදියුණු ඕනෑම විහාරස්ථානයක් නඟා සිටුවීමට අතහිත දීම උන්වහන්සේගේ මහඟු උදාර ලක්ෂණයකි. ඕමාරේ කස්සප අනු නා හිමියන්ගේ හැට දෙවෙනි ජන්ම දිනය ජනවාරි මස 11 දිනට යෙදී තිබූ අතර ඒ නිමිති කරගෙන සපුගොඩ ඉලංගම්ගොඩ රජමහා විහාරය හම්බන්තොට සිංහගිරි විහාරය ඇතුලු විහාරස්ථාන රැසක පින්කම් රැසක් සිදු කෙරිණි.


කොහොවල ධම්මකිත්ති නා හිමි

සාරසිය පත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට අඹතැන්න ශ්‍රී සුධර්මෝදය විහාරාධිපති ශ්‍රී සද්ධර්ම විනයාචාර්ය කීර්ති ශ්‍රී දේශකීර්ති සාම විනිසුරු කොහොවල ධම්මකිත්ති හිමි, අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහා නා හිමිපාණන් ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව විසින් පත් කර ඇත.

සාරසිය පත්තුව උප ප්‍රධන සංඝ නායක,අඹතැන්න සුධර්මෝදය විහාරධිපතිව වැඩ සිට අපවත්වී වදාළ දොළොස්බාගේ ශී‍්‍ර ධම්මපාල සහ හිද්දවුල්ලේ ධම්මානන්ද යන නා හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත්ව මහනුවර ශී‍්‍ර සංඝාරාජ පිරිවෙනින් මූලික ධර්මශාස්ත්‍රය ලබා විද්‍යෝදය පිරිවෙනින් උසස් ශාස්ත්‍රය ප්‍රගුණ කරගත් ධම්මකිත්ති නා හිමියෝ පූජාපිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි, සභාපති වශයෙන්ද දීර්ඝ කාලයක් ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති වශයෙන්ද පූජාපිටියේ ප්‍රාදේශීය ශාසනෝදය භික්ෂු සංගමයේ ලේඛකාධිකාරි වශයෙන්ද සාම ගී‍්‍ර භික්ෂු මණ්ඩලයේ සභාපති වශයෙන්ද විහාරස්ථ ශ්‍රී ධම්මපාල දහම් පාසලේ ප්‍රධානාචාර්ය වශයෙන් විසි පස් වසරක් අඛණ්ඩව කටයුතු කරමින් පසුගිය දශක තුන තුළ ඇතුළත් සිදුකර ඇති ධර්ම ශාස්ත්‍රීය සංස්කෘතික සමාජ,ආගමික සේවය ඉතා වැදගත්.

1990 සිට වත්මන් යුග දක්වා පාසල් ශිෂ්‍යයින් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම හා අධ්‍යාපනික වැඩ සටහන්ද විශේෂ තැනක් ගනී. විහාරස්ථ අංග සම්පූර්ණ ධර්ම ශාලා මන්දිරය නව සංඝාවාසය, ඝණ්ඨාර කුළුන සීමා මාලකයේ ප්‍රති නිර්මාණය, දහම් පාසල් ගොඩනැගිලි සංකීර්ණ නිර්මාණ වැනි ධම්මකීත්ති නා හිමි විසින් සිය විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් සිදුකරන ලද සේවාවන් රැසකි.


බොල්ලතාවේ සිරිරතන හිමි

බොල්ලනාවේ සිරිරතන හිමියෝ ජනවාරි 22 දිනට පණස්පස් විය සපුරති.

බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල කොට්ඨාසයේ කැලණි ගං මිටියාවතේ පිහිටි බොල්ලතාව නම් ගම්මානය උන්වහන්සේ උපන් බිමයි. 1962 ජනවාරි 22 දා හඳරාගම කංකානමලාගේ සිරිසේන මහත්මා සහ පැල්පිට කංකානමලාගේ රේජින් නෝනා මහත්මිය වන දෙමව්පියන්ට උපන් සුපින්වත් බාලම දරුවාට නම් තබා ඇත්තේ සිසිර කුමාර යනුවෙනි.

මේ කුමරුවා, බොල්ලතාවේ කණිෂ්ඨ විද්‍යාලයෙන් හා කනම්පැල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.දෙමව්පිය ආශිර්වාදයෙන් 1976 වෙසක් මස 06 වෙනි දින අග්ගමහා පණ්ඩිත තුඩාවේ අරියවංශ නා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන්, කැකණදුරේ ධම්මසිරි හා දන්දෙනියේ උපරතන යන නා හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන්, තලගල ශි‍්‍ර ධර්මවර්ධනාරමායේදී බොල්ලතාවේ සිරිරතන යන නාමයෙන් පැවිදි භූමියට ඇතුළත් විය. පසුව උන්වහන්සේ හොරණ විද්‍යාරත්නය, නුගේගොඩ සුභද්‍රාරාමය, මාතර ශ්‍රී සුදර්ශි හා දෙල්ගොඩ කල්‍යාණි ප්‍රදීප පිරිවෙන් ආදියෙන්ද අධ්‍යාපනය ලැබූහ.

1985 ජූලි මස 27 වෙනිදා වැලිතර මහා කප්පින වලව්ව අසල මාදු නදියේ “ස්වේජින්” නම් උදකුක්ඛේප සීමා මාලකයේදී , රාජකීය පණ්ඩිත බලපිටියේ විශුද්ධාලෝක නා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාවට පත්විය.

දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙනෙන් උසස් පෙළ හදාරා 1986 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමෙන් පසු ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් උන්වහන්සේ, 2002 බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය සමත් වූහ. පොදු සමාජ සේවාවන් කෙරෙහි සද්භාවයෙන් ක්‍රියාකළ උන්වහන්සේගේ සාමකාමී පිළිවෙතට උපහාරයක් වශයෙන්, 2006 මුළු දිවයිනටම බලපාන අයුරින් සාම විනිසුරු පදවිය ලැබුණි.

1984 පටන් පාළුගම ශී‍්‍ර පි‍්‍රයදර්ශනාරාමයේ වැඩ සිටින අපේ හාමුදුරුවෝ, ශාසනයේ හා පොදුජන සමාජයේ යහපැවැත්ම උදෙසා ඇප කැපවී කටයුතු කරති. තවද ගන්ගොඩ ශ්‍රී සාරානන්ද පිරිවනෙහි පරිවේණාධිපති වශයෙන් විසිපස් වසරක් පමණ සහ පාළුගම ශ්‍රී පි‍්‍රයදර්ශනාරාමස්ථ දහම්පාසලේ තිස් වසරකට නොඅඩු කාලයක් ස්වය කර ඇති සිරිරතන හිමියෝ, ප්‍රදේශ වාසින්ගේ ශුභ සාධනය හා අවමංගල්‍යාධාර සමිති සංවිධාන ආදියෙහිද ගරු අනුශාසකත්වය දරති.

බොල්ලතාවේ සිරිරතන ස්වාමින් වහන්සේගේ 55 වෙනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද පිණිස, ගිහි පැවිදි දායකකාරකාදීන්ගේ සහභාගිත්වයෙන් කෘතවේදීවූ පින්කම් මාලාවක් දොම්පේ, පාළුගම, ශ්‍රී පි‍්‍රයදර්ශනාරමායේදී පැවැත්වීමට නියමිතය.

 

නවම් මස පුර අටවක

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 03 වන දා අපර භාග 10.49 ට ලබයි. 04 වන දා සෙනසුරාදා අපර භාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]