UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය විවෘත කිරීම 3වනදා

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය විවෘත කිරීම 3වනදා

ශී‍්‍ර ලංකා ජනරජයේ ප්‍රතිපාදනයන්ද සහිතව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාව මගින් සුවිසාල පිරිවැයක් දරා කොළඹ 05 නාරාහේන්පිට බේස්ලයින් පාරේ අංක 566 දරණ ස්ථානයේදී ඉදි කොට ඇති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය මෙම මස 03 වෙනි දින (2017.02.03) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ සුරතින් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් සඟසතු කොට විවෘත කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වසර 154 කට පෙර අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි මාහිමි, අතිපූජ්‍ය පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද මාහිමි, අතිපූජ්‍ය වරාපිටියේ සිරිසුමිත්ත මාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ විජයානන්ද පිරිවෙන මධ්‍යස්ථානය කර ගෙන ගිං ගඟ උදකුක්ඛේප සීමාමාලකයේදී 1863 ජූලි මස 13 වෙනි දින සිදු කරන ලද ප්‍රථම උපසම්පදා මහා විනය කර්මයෙන් පසු ආරම්භ කරන ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වංශ කතාව අද දක්වා දිව එයි.

ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ සිදු වූ මෙම කීර්තිමත් අධි සීල උපසම්පදා විනය කර්මයේ සිට අද දක්වා සසුන් දිවියේ ආශ්වාදය ලැබු සංඝ සාමාජික සංඛ්‍යාව අති විශාලය. ධර්මධර, විනයධර ප්‍රතිපත්ති ගරුක මහ සඟ රුවනක් මේවන විටත් සංඝ සභා කොට්ඨාශ 47 කට බෙදී ශාසනික සේවාවෙහි නිරතව සිටින්නේ මෙකී සියවසකට අධික කාලයක් තුළ මෙම නිකායේ නේතෘත්වය දැරූ මහ තෙරවරුන් නිසා මය.

මෙම මහා භික්ෂු වංශයේ පරිපාලන කටයුතු හා එම භික්ෂු වංශය විසින් දේශ දේශාන්තරයන්හි පවත්වන ධර්මදූත සේවා කටයුතු කාර්යක්ෂමව මැනවින් මෙහෙය වීමට සංඝ මූලස්ථානයක අවශ්‍යතාවය දැනගත් නිකායේ පරිපාලන අංශ හා නිකායට සම්බන්ධ දායකවරු මේ සඳහා මූලස්ථාන ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මහත් වෙහෙසක් ගත්හ.

එම අවධානයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක දේශබන්ධු කරු ජයසූරිය මැතිතුමන්ගේ සභාපතිත්වයෙන්, එස්.වී. ඩී. කේසරලාල් ගුණසේකර මහතාගේ ලේඛකත්වයෙන් හා ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතාගේ භාණ්ඩාගාරිකත්වයෙන් යුතුව බෞද්ධ ප්‍රභූවරුන්ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන නිකායරක්ෂක සභාව මෙම කටයුත්ත සඳහා ප්‍රෝත්සාහී වූහ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මගින් පිරිනමන ලද භූමි භාගයක ඉදි කොට ඇත.


ධර්මාලෝකය පතුරන ධර්ම ප්‍රදීපස්ථම්භයක් වේවා

රාජ්‍ය වර්ෂ 1863 ජූලි 13 දින ගාල්ලේ මහමෝදර ගිං ගඟේ උදකුක්ඛේප සීමා මාලකයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කිරීමෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භ විය. අතිපූජ්‍ය අඹගහවත්තේ ශාසනවංස කවිධජ සිරි සද්ධම්මාචරිය යති සංඝපති ඉන්දාසභවරඤාණසාමි මහානායක මාහිමියන් වහන්සේ අප නිකායේ ආදී කර්තෘවරයාණෝ වෙති.

අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේලා 13 නමකගේ නායකත්වය යටතේ ගත වූ අවුරුදු 154 ක කාලය තුළ මෙරට රුහුණු, පිහිටි, මායා යන ත්‍රිසිංහලේ පමණක් නොව දේශ දේශාන්තරවල පවා ව්‍යාප්ත වූ අත්‍යුදාර ලෝක ශාසනික සේවාවක් සිදුකළ සිදු කරන පෘථුල භික්ෂු සංස්ථාවක් බවට අද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පත්ව පවතී. විහාරස්ථාන 1750 ක් ඇතුළුව ආරණ්‍ය සේනාසන හා යෝගාශ්‍රම 236 ක් කේන්ද්‍ර කර ගෙන අනූපමේය සේවාවක් සිදු කරන අප නිකායික භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා හා දායක දායිකාවන් සම්බන්ධ කටයුතු ඉටු කර දීම සඳහා නිකායික මූලස්ථානයක අවශ්‍යතාව කලක සිටම පැවතුණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායාරක්ෂක සභාවේ හා නිකායේ පූජ්‍යතර මහා ලෝඛකාධිකාරීන් වහන්සේගේත්, මූලස්ථානය ගොඩ නැගීමේ කමිටුවේ මහා ස්ථවිරයන් වහන්සේලාගේත් දෘඪතර ව්‍යායාමයෙන් හා රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික මූලස්ථානය ඉදිකර විවෘත කිරීම අපගේ අපේක්ෂාවන් ඉටු වීමකි. අප නිකායේ නව මූලස්ථානය ලොවටම ධර්මාලෝකය පතුරන ධර්ම ප්‍රදීපස්ථම්භයක් වේවායි ප්‍රාර්ථනා කරමි.


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාරම්භය

ශ්‍රී ලංකාවේ වර්තමාන ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් සමූහයක් සනිටුහන් කරන යුගයක් ලෙස, 18,19 සියවස් හඳුන්වා දිය හැකිය. ඒ කාල පරිච්ඡේදය ශාසනික වශයෙන් සිදුවූ ඓතිහාසික සිද්ධි නිසා පමණක් නොව රටේ ජාතික ඉතිහාසයේ අනුස්මරණීය සිදුවීම් මාලාවක්ද සිදුවී ඇති බැවින් ඉතිහාස ප්‍රවෘත්ති සමාලෝචනය කළ විද්වතුන්ගේ සැළකිල්ලට මෙම යුග පාත්‍ර වී ඇත. සිදුවීම් වාර්තා කළ උගතුන් ඒවායේ යථා තත්ත්වය ඒ ආකාරයෙන්ම සනිටුහන් කර ඇත්තේද යනු විශේෂයෙන් ම සැළකිල්ලට ලක් කළ යුතු කරුණුය. එසේ වීමට හේතුව බටහිර අධ්‍යාපන ක්‍රමය හා සංස්කෘතිය වැළදගත් අය විසින් තමාට අභිමත ලෙස ඉතිහාසය විකෘති කොට වාර්තා කළ බැවිනි.එසේ නොවේනම් එම වාර්තාවන්හි අවශ්‍යයෙන්ම ඇතුළත් විය යුතු කරුණු එම වාර්තාවල සටහන් නොවූ බව දක්නට ලැබේ.

විශේෂයෙන් ආගමික අංශයේ සිදුවු පුනර්ජීවන වැඩසටහන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු රිසියෙමි. එයිනුත් ශ්‍යාමොපාලි මහා නිකාය බිහිවීමත් වැලිවිට අසරණ සරණ සංඝරාජයාණන් වහන්සේගේ උද්‍යෝගිමත් වැඩසටහන් කොළඹ යුගයේ ආරම්භය දක්වාම ක්‍රියාත්මක වීමත්, ඒ අතරතුර අමරපුර මහා නිකාය බිහිවීමත් විශේෂයෙන්ම සැළකිය යුතු සිදුවීම් ය. රට පුරා ව්‍යාප්ත වු මෙවැනි නිකායයන් දෙකක් මහත් ශාසනික ව්‍යාපාරයක් ආරම්භ කොට තිබියදී 19 වෙනි සියවසේ මධ්‍ය භාගයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නමින් තවත් අභිනව භික්ෂු වංශයක් ආරම්භ වීම කාගේත් අවධානයට යොමු කළ යුතු කරුණකි.

1863 ජූලි දහතුන්වෙනි දින ගාල්ලේ ගිං ගඟ ඉදිකරන ලද ඤෙය්‍යධම්ම මුනිවර සංඝරාජ මංගල සීමාව නම් උදකුක්ඛේප සීමාවේදී සිව් නමක් උපසම්පදා කිරීමෙන් මෙම භික්ෂු වංශය ආරම්භ වූ බව පැහැදිලි වේ. තමන් සමඟ බුරුම රටට වැඩම කොට එහිදී උපසම්පත්තියට පත්වු තෙරවරුන් පිරිසක් සමඟ අඹගහවත්තේ ඉන්දාසභවරඤාණසාමී නාහිමියන්ද, එලෙසම වනවාසීව වැඩසිට, පිරිසුදු මහණ උපසම්පදාව අපේක්ෂාවෙන් බුරුම රටට වැඩම කොට තමන් සමඟ බුරුම රටේදී උපසම්පදාව ලැබු පිරිස් එකතු කරගත් පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද නාහිමි ද සහභාගි කරවාගෙන, ඊටත් කලින් උපසම්පත්තිය ලබා මෙහි වැඩම කොට සිටි වරාපිටියේ සුමිත්ත ස්වාමින්ද්‍රයන් වහන්සේ උපාධ්‍යායත්වයෙහි තබාගෙන උඩුගල්මොටේ ගුණතිස්ස, තෙලිකඩ නන්දසාර, ගාල්ලේ ජනානන්ද, තලහේනේපොළ සීලරතන යන සමුණුද්දේශයන් හතර නම ප්‍රථම වරට මෙම උපසම්පදා වාරයේදී අධිසීල තත්ත්වයට පත්කිරීමෙන් ප්‍රථම උපසම්පදාව සිදු කරන ලද බව වාර්තාගතය. මෙම උපසම්පදාව සිදුවන විට අඹගහවත්තේ නාහිමියන් ජන්මයෙන් වයස අවුරුදු තිස් එකක් තරම් වූ භික්ෂුවරයෙකි. උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ ආරම්භය පිළිබඳවද කරුණු මඳක් සලකා බැලීම අවශ්‍යයය.

ගාල්ලේ සම්භාවිත වැදගත් පරපුරක් වූ මදනායක පරපුරේ පවුලේ දෙවෙනියා ලෙස 1832 දී උපත ලැබූ මදනායක කුමරු කොරනේරිස් මදනායක නමින් හැඳින්විය. ගාල්ලේ තුවක්කුගල වත්තේ පුරාණ විහාරාධිපතිව වැඩවිසු අක්මීමන සෝභිත හිමියන් වෙත පැවිදි වු කොරනේරිස් කුමරුවා අඹගහවත්තේ සරණංකර නමින් හැඳින්විණි. උපතින්ම ශාසන මාමක ධෛර්යය සම්පන්න අඹගහවත්තේ සරණංකර සාමණේර නම සසරින් ගෙනා උරුමයක්ද තිබුණා විය හැකිය. ඒ නිසාම අවශ්‍ය බණ දහම් ඉගෙනීමට මනා පෞරුෂයෙන් හෙබි ගුණවත් සිල්වත් මහතෙරවරුන් රැසක්ම ආශ්‍රය කිරීමට බෙන්තර වනවාසයෙහි ඉගෙනුම ලබමින් සිටි යුගයෙහි උන්වහන්සේට අවස්ථාව ලැබුණි. ඒ අතර වැලිගම සුමංගල, යාත්‍රාමුල්ලේ ධම්මාරාම, පොතුවිල ඉන්ද්‍රජෝති වැනි මහතෙරුවරුන් ඇසුරු කළ නිසා 1856 දී මල්වතු මහා විහාරයේ උපසදම්පදාව ලැබීමට හැකිවිය. එසේ වුවත් සීමාවාද, දළ්හීකර්ම වාද, පාරුපණ වාද වැනි විවාදයන් නිසා භික්ෂූන් අතර පැවති අසමගියත්, අන්‍යාගමිකයන්ගෙන් එල්ල වන ගැහැටත් ගැන අඹගහවත්තේ හිමි එතරම් සතුටු නොවීය. මේ කරුණු පිළිබඳව හික්කඩුවේ සිරිසුමංගල නාහිමියන් සමඟද සාකච්ඡා කළ බව ඉන්දාසහ චරිතයෙහි සටහන් වේ. මේ අතර අඹගහවත්තේ හිමි සියම් නිකායෙන් ඉවත්ව බුලත්ගම ධම්මාලංකාර හිමියන්ගේ ඇසුරින් අමරපුර නිකායට ඇතුළත් වූහ. සමීපව ආශ්‍රය කළ බොහෝ දෙනා අතර ඇතිවු සාකච්ඡාවලදි නැවතත් පිරිසුදු උපසම්පත්තියට බුරුමයේදී ලබාගැනීමේ අදහස තමා ඇසුරු කළ බොහෝ දෙනා සමඟ සාකච්ඡා කොට තිබූ බැවින් උපසම්පත්තිය ලබා ගැනීමට 1860 දී උන්වහන්සේ බුරුමයට ගමන් කරන දිනයේ උන්වහන්සේගේ අරමුණට සුබ පැතීමට සියම් අමරපුර දෙනිකායේ භික්ෂූන් ද වරායට පැමිණි බව එම වාර්තාවන්හි ඇතුළත් වේ. අඹගහවත්තේ නාහිමියන් බුරුමයෙන් උපසම්පත්තිය ලබා 1862 මෙහි ආපසු වඩින විටත් ප්‍රමුඛ පෙළේ භික්ෂූන්ගේ හා දායකවරුන්ගේ පිළිගැනීමක් තිබුණු බැවින් නව උපසම්පදාවක් පිහිටුවීම පිළිබඳව පොදු අදහසක් සමාජයේ සාකච්ඡා වෙමින් පැවති බව පැහැදිළි වේ.


ශාසන චිරස්ථිතිය පිණිස උපකාරී වේවා

භික්ෂූන් වහන්සේගේ පරිපාලනය සඳහා මහා සංඝ මූලස්ථානයක් ඉදිවීම කාලෝචිත කාර්යයක් මෙන්ම ශාසන සංග්‍රහයක් ලෙස සැළකිය හැකිය. එම කාලීන අවශ්‍යතාවය ඉටු කිරීම පිළිබඳ අප අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන නිකායේ පාලක සංඝ සභාවටත්, දායක සභාවක් හැටියට එම නිකායේ කටයුතු මැනවින් සංවිධානය කරන, භෞතික සංවර්ධනය වෙනුවෙන් අතහිත දෙන, රාමඤ්ඤ මහා නිකායාරක්ෂක සභාවටත් පරිත්‍යාගශීලී පින්වතුන්ටත් ගෞරවය පිරිනැමිය යුතු ය. ස්තුතිය පළ කළ යුතු ය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මේ රටේ ශාසනික පුනර්ජීවනයටත්, ජාතික ආගමික සංහිඳියාවටත්, අධ්‍යාපනයටත්, සිදුකොට ඇත්තේ සුවිශාල මෙහෙවරකි. 1863 වර්ෂයේ ආරම්භ කළ එම නිකාය මහජනයාගේ ප්‍රසාදය දිනාගත්, ප්‍රතිපත්තිගරුක භික්ෂු නිකායක් ලෙස, අනෙකුත් නිකායික භික්ෂූන් වහන්සේ සමඟ ජාතික, ආගමික ගැටලුවලදී සමඟි සම්පන්නව, ඒකාශ්‍රව කටයුතු කිරීම සතුටට කරුණකි. මහානායක ස්වාමීන් වහන්සේලා දහතුන්නමක් යටතේ ක්‍රමයෙන් සංවර්ධනය වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය, විධිමත් කතිකාවතක් යටතේ පාලනය වන බවත්, එම පාලන කාර්යයන් තවදුරටත් පහසුවනු පිණිස සංඝ මූලස්ථානයක් ඉදිකොට ඇති බවත් පෙනේ.

විනය ගරුක, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුත් භික්ෂූන් වහන්සේ පිරිසක් රටට දායාද කරන්නටත්, වර්තමාන සමාජයේ පවතින අසංවර භාවය පාලනය පිණිස ධර්මානුගත ආදර්ශයන් සැපයීමටත්, අභිනව සංඝ මූලස්ථානය මඟින් වැඩපිළිවෙල යෙදීමට හැකිවෙතැයි අපේක්ෂා කරමි. එසේම මෙම අභිනව සංඝ මූලස්ථානය අනාගත ශාසන චිරස්ථිතිය පිණිස උපකාරී වේවා’යි පතමින් සුභාශිංසන පුද කරමි.


ශක්තිමත් පදනමක් වනු ඇත

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය වසර 150 ක් ඉක්මවූ යුග මෙහෙවර තුළ සම්බුදු සසුනට ආලෝකයක් වූ සුපේශල ශික්ෂාකාමි සඟ පරපුරක් දැයට තිළිණ කරමින්, දේශයෙහි අභිවෘද්ධිය උදෙසා නිරතුරුවම කැපවෙමින් ඉටුකළේ උදාර ශාසනික මෙහෙවරකි.

දිවයින පුරා විසිර සිටින රාමඤ්ඤ මහානිකායික භික්ෂූන් වහන්සේලා වෙහෙර විහාර, ආරාම දියුණු කරමින්, සැදැහැවත් ජනතාවගේ ආගමික අධ්‍යාත්මික, සමාජයීය අවශ්‍යතා ඉටු කරමින් ධර්මානුකූල යහපත් සමාජයක් ගොඩනැංවීම වෙනුවෙන් ගෙනයන්නා වූ සේවාව මාගේ ගෞරවණීය ප්‍රසාදයට හේතු වේ. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සඳහා අවැසි පසුබිම සැකසීම, අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය ආරම්භ කිරීම, පාතකඩ භික්ෂු පුහුණු ආයතනය ගොඩනැංවීම ආදී වශයෙන් භික්ෂු අධ්‍යාපනයේ උන්නතිය උදෙසා රාමඤ්ඤ මහා නිකායෙන් විශිෂ්ට සේවාවක් සිදු වූ අතර එය අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි, සමස්ත සමාජයෙහි අභිවෘද්ධීයට ලබාදුන් දායකත්වය ද අතිශයින් අගය කටයුතු ය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට මෙතෙක් කලක් අඩුවක්ව පැවැති මූලස්ථාන ගොඩනැගිල්ලක් ඉදිකර ශාසනික, සමාජ මෙහෙවර සඳහා විවෘත කරන්නට හැකිවීම මහත් සතුටට කරුණකි. පෙර සඟ සිරිත අනුව භික්ෂු සමාජය හරි මඟ ගෙනයමින් තවදුරටත් සුවිශේෂ අධ්‍යාපනික, ආගමික, ශාසනික, සමාජ මෙහෙවරක් ඉටු කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නව මූලස්ථානය ශක්තිමත් පදනමක් වනු ඇතැයි අපේක්ෂා කරමි.

නව මූලස්ථාන ගොඩනැගිල්ල සඟ සතු වන ඓතිහාසික අවස්ථාවට මෙත් සිත් පෙරදැරිව මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.


ප්‍රෞඩ ඉතිහාසයක් ඇත

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය සඳහා නව මූලස්ථානය ඉදිකිරීම ඓතිහාසික කරුණක් වන අතර එය විවෘත කිරීම් උළෙල නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙමි.

සම්බුද්ධ ශාසනයේ උද්දීප්තිය සඳහා විශිෂ්ට මෙහෙවරක් ඉටු කිරීමේ නිරත ශ්‍රී ලංකාවේ රාමඤ්ඤ මහා නිකායට සියවස් එකහමාරක ප්‍රෞඩ ඉතිහාසයක් ඇත. ඓතිහාසික සිදුවීම් කිහිපයකට මූලස්ථානය වූ ගාල්ලේ විජයානන්ද විහාරස්ථානයෙන් නික්ම පිරිසුදු මහණ උපසම්පදාව අපේක්ෂාවෙන් ගාලු නැව් තොටෙන් බුරුමයේ රැන්ගුන් බලා 1863 දී වැඩම කළ අඹගහවත්තේ සරණංකර නාහිමියන් රාමඤ්ඤ දේශයේදී ධර්ම විනය මැනවින් හදාරා උපසම්පදාව ලැබ ‘ශාසනවංශ කවිධජ සිරි සද්ධම්මචාරීය යති සංඝපති” ඉන්ද්‍රසභවරඤාණ සාමි වැනි ගෞරව නාමද ලැබ පෙරලා සිය රට වැඩම කොට පිරිසුදු මහණ උපසම්පදාව පිහිටුවීමේ ව්‍යාවෘත වීම මෙරට නව නිකායක් බිහිවීමෙහි හේතු වීය. පූජ්‍යපාද පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද ,පූජ්‍යපාද වරාපිටියේ සුමිත්ත වැනි මහා යතිවරයාණන් වහන්සේලාගේ මූලිකත්වයෙන් උපසම්පදා කටයුතු සිදු කිරීමෙන් ආරම්භ වු නව ප්‍රවාහයට වනගතව ශීල භාවනා වැඩූ ආරණ්‍යවාසි හිමිවරුද එක්වූහ. “අඹගහවත්තේ සමාගම නමින් හැදින්වුණු නව භික්ෂු කණ්ඩායමේ කීර්ති රාවය රට පුරා පැතිර යමින් අතු ඉති ලියලා වැඩෙන වෘක්ෂ රාජයෙකු සේ වැඩි රාමඤ්ඤ නිකාය නමින් විධිමත් සංවිධානයක් වූ නව නිකාය බිහි වූ බව අපි දනිමු.

1863 දී ගාල්ල මහමෝදර උදකුක්ඛේප සීමා මාලකයේදී ප්‍රථම උපසම්පදාව පැවැත්වූ නව නිකාය පසුගිය වසරෙහි පානදුර දී එහි හැත්තෑවන උළෙල පැවැත්වීමට සමත්විය. සියම් මහා නිකාය ආරම්භයේදී සිංහල රජවරුන් ගේ අනුග්‍රහය ලැබුවද අභිනව නිකාය බිහිවූයේ අප ඉංගී‍්‍රසින්ගේ යටත් විජිතයක්ව සිටි සමයේ වූ හෙයින් නව සංඝ සංස්ථාව දායක දායිකා අනුගහය මත රැඳීමට හේතු විය. කෙසේ වෙතත් නව සංඝ සමූහයේ ධර්මධර, විනයධර සංඝ සෝභන ගුණය බෙහෙවින් මහජන ප්‍රසාදය හා අනුග්‍රහය ලැබීමට හේතු වූ බැව් නොරහසකි. දේපල හා ලෞකික වස්තු පරිභෝජනය පි‍්‍රය නොකළ නව සංඝ සමාජය නිකායරක්ෂක සභාවක් පිහිටුවා මූල්‍ය හා කැපකරු කාර්යභාර නිකායාරක්ෂක සභාවක් පිහිටුවීමෙන් නව සංවිධානයට සිය ශාසනික සේවයෙහි යෙදීමට අවැසි වූ ප්‍රමාණවත් නිදහස් විශිෂ්ට ගණයේ පඬිවරුන් රැසක් අප රටට දායාද කිරීමේ මහඟු ඉඩකඩක් සැපයිණ.

නිකායාරක්ෂක සභාවෙහි සභාපතිවරයා ලෙස රටෙහි රාජ්‍ය නායකයා හෝ ඒ සමාන වු ජන ප්‍රධානියෙකු පත් කර ගැනීම විශේෂ සංසිද්ධියක් වීය. කලක් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමන් මෙම වගකීම් භාරය දැරූ අතර, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා තමා වෙනුවෙන් ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා නම් කළේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය, ලක්ෂ්මන් ජයකොඩි අමාත්‍යතුමන් වෙත එය පැවරුවාය.

අතිපූජ්‍ය අඹගහවත්තේ මා හිමියන්ගෙන් ආරම්භ වන මහානායක පදවියට මෙතෙක් මහානාහිමිවරු දහතුන්නමක් පත්වී ඇති අතර දැනට අතිපූජ්‍ය නාපාන පේමසිරි මා හිමිපාණන් වහන්සේ 2013 සිට ඒ සඳහා පත්වී සිටිති. නිකායේ අභිවෘද්ධිය සඳහා මෙම සියලු මහානායක ස්වාමින් වහන්සේලාගෙන් මෙන්ම කාරක සංඝ සභාවන්හි සාමාජික හිමි වරුන්ගෙන් සැලසුනු සේවය ප්‍රශංසනීය වේ.

 

නවම් මස පුර අටවක

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 03 වන දා අපර භාග 10.49 ට ලබයි. 04 වන දා සෙනසුරාදා අපර භාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]