UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ආර්ථික දර්ශනය – 18 : සරල ජීවන රටාවෙන් දිගුකාලීන සතුටක්

බෞද්ධ ආර්ථික දර්ශනය – 18 :

සරල ජීවන රටාවෙන් දිගුකාලීන සතුටක්

"අවශ්‍යතා ඉක්මවා ගිය අනවශ්‍ය භාණ්ඩ රැසක් ගොඩ ගසා ගන්නා පුද්ගලයන්ට එම භාණ්ඩ ආරක්ෂා කිරීමටත් ඒවා නඩත්තු කිරීමටත් කාලය ගතකිරීමට සිදු වේ. ආදායමට සරිලන භාණ්ඩ මිලදී ගැනීම මෙන්ම පරිහරණය කිරීමත් ආර්ථික අර්බුද ජය ගැනීමට හේතුවේ."

බෞද්ධ පරිභෝජන දර්ශනයෙහි අප්පිච්ඡතා, සුභරතා, සල්ලේඛතා, පවිවේකතා, සන්තුට්ඨිතා යන පරියාය පද නිතර භාවිත වේ. මෙම වදන් මගින් ඉදිරිපත් කෙරෙන සංකල්පීය අර්ථ මගින් බෞද්ධ ජීවන ප්‍රතිපදාවේ සැකැස්ම කෙසේ විය යුතුද යන්න ගම්‍ය වේ. එයින් පළමු වචනය යටතේ කුමක් අදහස් කෙරෙන්නේද? එය බෞද්ධ ජීවන ප්‍රතිපදාවට කෙසේ ආදේශ කරගත යුතුද? යන්න සාකච්ඡා කිරීම වැදගත් වේ. එබැවින් මෙම ලිපියෙන් අල්පේච්ඡතාව හෙවත් ලද දෙයින් සතුටුවීම ආර්ථික සමෘද්ධිය කෙරෙහි බලපාන්නේ කෙසේද? යන්න සාකච්ඡා කෙරේ.

ඇතැමෙක් වර්තමාන ආර්ථික දියුණුව මනින එක් මිණුම් දණ්ඩකි පරිභෝජනය. කිසියම් පුද්ගලයෙක් කොපමණ ප්‍රමාණයකින් ධනවත් වේද යන්න සළකා බලන්නේ එම පුද්ගලයා පරිභෝජනය කරනු ලබන භාණ්ඩ ප්‍රමාණය අනුවය. එම පිළිගැනීම අනුව කෙනෙක් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් හෝ සම්පත් ප්‍රමාණයක් පරිහරණය කරන්නේ නම් ඒ තැනැත්තා ධනවත් අයෙකු ලෙසත් එසේ අඩු ප්‍රමාණයක් පරිහරණය කරන්නා දුප්පතෙකු ලෙසත් නම් කරනු ලැබේ. අනෙක් අතට මෙම පිළිගැනීමෙන් පුද්ගලයා අසාමාන්‍ය ලෙස සම්පත් පරිභෝජනය කෙරෙහි පොළඹවනු ලැබේ. මෙය වර්තමාන ලෝකය තුළ ඇතැම් අර්බුද නිර්මාණය කර ඇති බව තිරසාර සංවර්ධනය පිළිබඳ කෙරෙන සාකච්ඡාවලින් පැහැදිලි වේ. කෙනෙකු වැඩි සම්පත් ප්‍රමාණයක් පරිභෝජනය කිරීම හේතුවෙන් අනාගත මිනිසාගේ පැවැත්ම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

අසීමිත තෘෂ්ණාව

අසාමාන්‍ය පරිභෝජනය හේතුවෙන් ඇතැම් පාරිසරික සම්පත් ක්ෂය වෙමින් පවතී. මිනිසා තුළ පවතින අසීමිත වූ තෘෂ්ණාව විසින් මෙහෙයවන ලද බහුභාණ්ඩික ජීවන රටාව තම සහෝදර ප්‍රජාවට පමණක් නොව මිහිතලයේ පැවැත්ම පිණිස ඉවහල්වන ස්වාභාවික සම්පත් කෙරෙහිද දැඩි බලපෑම් සිදුකොට තිබේ. මෙම පසුබිම තුළ බුදුසමය මහිච්ඡතාව හෙවත් අසීමිත ආශාවන්ගෙන් යුක්තව ගතකරන බහුභාණ්ඩික ජීවන ප්‍රතිපදාව අනුමත නොකරයි. බුදුසමයේ දැක්වෙන අප්පිච්ඡතා හෙවත් ලද දෙයින් සතුටු විම වැරදි ලෙස අර්ථකථනය කරනු දක්නට ලැබේ. එම ඉගැන්වීම පුද්ගලයාගේ පරිභෝජනයට බාධාවක් බවත් තරගකාරී වෙළෙඳ පොළ තුළ එය පුද්ගලයා අක්‍රිය කරන දිළිදු බව යුක්ති සහගත කරන ඉගැන්වීමක් ලෙසත් ඇතැම් අය කල්පනා කරති. මිනිසාගේ සහජ ස්වභාවය නම් කොතෙක් දෑ ලැබුණත් සෑහීමකට පත් නොවීමයි. කහවනු වැස්සක් ලැබුණත් මිනිසා තෘප්තිමත් නොවේ මෙම සහජ තත්ත්වය උත්තේජනය කරන වෙළෙඳ ලෝකය විසින් මිනිසා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් පරිභෝජනය කිරීමට පොළඹවනු ලැබේ. එනිසා තමා අත්පත්කර නොගත් බහුවිධ භාණ්ඩ හා ද්‍රව්‍ය පිළිබඳ සිහින මවමින් ඒ සියල්ල අත්පත්කර ගැනීමෙහිලා අසාමාන්‍ය තරඟයක නිරතව සිටී. මෙම සිහින සැබෑකරගැනීම පිණිස ණය පහසුකම් සැපයීම සඳහා විවිධ ආයතන ඉදිරිපත් වී ඇත. මෙමගින් මිනිසාගේ මහිච්ඡතාව තවදුරටත් පෝෂණය කරනු ලැබේ. විචාර බුද්ධියෙන් තොරව කටයුතු කරන බොහෝ දෙනෙක් අසීමිත සිහින සැබෑ කරගැනීමට ගොස් භෞතික භාණ්ඩ ගොඩකට මැදිවී ණය බරින් දුකට හා වේදනාවට පත්ව සිටිති. නූතන වෙළෙඳ පොළ විසින් බහුභාණ්ඩික ජීවිතයකට කරනු ලබන පෙළඹවීම යුක්ති සහගත එකක් නොවන බව මේ අනුව කල්පනා කළ හැකිය. මෙම පසුබිම තුළ බුදුසමයේ දැක්වෙන අල්පේච්ඡතාව හෙවත් ලද දෙයින් සතුටු වීමේ ගුණය වර්තමාන අධිපරිභෝජනය හා සම්බන්ධ ගැටලු නිරාකරණය කරගැනීමෙහිලා ආදේශ කළ හැකි ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබේ. සම්පත් පරිභෝජනය පිළිබඳ බෞද්ධ පිළිවෙත අප්පිච්ඡතා ගුණයෙන් ප්‍රකට වේ. බුදුරදුන්ගේ ඉගැන්වීම තුළ අල්පේච්ඡතාව විශේෂ සාධු ගුණයක් ලෙස පිළිගැනේ.

බහු භාණ්ඩිකවීම

සිව්පසය යනුවෙන් හැඳීන්වෙන මූලික අවශ්‍යතා ගිහි පැවිදි දෙපක්ෂයටම පොදු අවශ්‍යතාවේ. විමුක්තිය කඩිනම් අරමුණ කරගත් නිෂ්පාදන ක්‍රියාවලියට දායක නොවන පැවිදි සමාජයේ අවශ්‍යතා සම්පූර්ණ වන්නේ ගිහි සමාජයේ පරිත්‍යාග මතය. එබැවින් පැවිද්දාගේ ජීවිතය පරපටිබද්ධය. එසේම සමාජයට බරක් නොවන අයුරින් පවත්වාගත යුතුවේ. උන්වහන්සේගේ සිව්පස පරිහරණය අවම මට්ටමේ පවතින්නකි. නිදසුනක් ලෙස උන්වහන්සේගේ සිවුරු පරිහරණය සීතල, උණුසුම හා මැසිමදුරු ආදීන් නිසා වන උවදුරු වළක්වා ගැනීමත් හිරිඔතප් ආරක්ෂාකරගැනීමත් අරමුණුකොට පවතී. ඉන් එහා ගිය කාමභෝගී අරමුණක් උන්වහන්සේගේ සිවුරු පරිහරණය තුළ අන්තර්ගත නොවන්නේ විරාගික පදනමක පිහිටා කටයුතු කරන හෙයිනි. එබැවින් උන්වහන්සේ කයවසා ගැනීමට යෝග්‍ය චීවරයකින් සෑහිමකට පත් වේ. ගිහියාගේ වස්ත්‍රපරිහරණයේ මූලික අරමුණ එය වුවද අතිරේක වශයෙන් වෙනත් අරමුණුද එහි දක්නට ලැබේ. මෙය වටහාගත් ගිහියාට මූලික අරමුණෙන් බැහැර අතිරේක අරමුණු ප්‍රධාන අරමුණ බවට පත්වීමට තිබෙන ඉඩ ප්‍රස්තා වළක්වාගත හැකිවේ. එවැන්නෙකුට ලද දෙයින් සෑහීමකට පත්විය හැකිය. ප්‍රධාන අරමුණ වෙනුවට අතිරේක අරමුණු ඉස්මතු වූ විට පරිභෝජන තරඟය මෙන්ම බහුභාණ්ඩික වීමද වර්ධනය වේ. ලද දෙයින් සෑහීමට පත්වීම යනු සම්පත් පරිභෝජනයේ මූලික අරමුණ මැනවින් වටහා ගනිමින් අවම අවශ්‍යතා මගින් සෑහීමකට පත් වීමයි. තමාට පහසුවෙන් ලබාගත හැකි සම්පත් පරිභෝජනයෙන් මූලික අවශ්‍යතා ඉටුකරගන්නා අතර අනවශ්‍ය ලෙස සම්පත් ගොඩගසා ගනිමින් බහුභාණ්ඩික ජීවිතයක් ගත කිරීමෙන් වැළකීම එහි එක් අරමුණක් වේ.

අවශ්‍යතා ඉක්මවා ගිය අනවශ්‍ය භාණ්ඩ රැසක් ගොඩ ගසා ගන්නා පුද්ගලයන්ට එම භාණ්ඩ ආරක්ෂා කිරීමටත් ඒවා නඩත්තු කිරීමටත් කාලය ගතකිරීමට සිදු වේ. ආදායමට සරිලන භාණ්ඩ මිලදී ගැනීම මෙන්ම පරිහරණය කිරීමත් ආර්ථික අර්බුද ජය ගැනීමට හේතුවේ. දිනපතා සැරසීමත් මහා ධනපතියෙකු සේ නිතර අධික ලෙස ධනය වියදම් කරමින් විනෝද ජනක ජීවිතයක් ගතකිරීමත් පරිහානියට හේතුවකි. අභ්‍යන්තර වටිනාකම්වලින් මිනිසා දුප්පත්වන තරමටම භෞතික වශයෙන් බහුභාණ්ඩික ජීවිතයකට සමීප වෙයි. අධ්‍යාත්මික වටිනාකම්වලින් මිනිසා පොහොසත්වන තරමට භෞතික වශයෙන් සරල ජීවිතයකට හැඩ ගැසෙයි. වෙළෙඳපොළේ දක්නට ලැබෙන විවිධ අරුමෝසම් භාණ්ඩ විචාරයකින් තොරව එක්රැස් කරන්නාගේ ජීවිතය මතුපිටින් සුන්දර යැයි පෙනුණද එය නුවණැතියන්ගේ ඇගයීමට ලක් නොවේ. පෙරදිග චින්තනයේ විශේෂත්වය වන්නේ අඩු සම්පත් ප්‍රමාණයක් පරිභෝජනය කිරීමෙන් දීර්ඝ කාලීන සතුටක් භුක්ති විදීමයි. බුදුරදුන් මෙන්ම උන්වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ද මෙම පෙරදිග චින්තනය ආදර්ශයට ගත් අයුරු උන්වහන්සේලාගේ අපදානයන්ගෙන් හෙළි වේ. වර්තමානයේ වුවද අල්පේච්ඡතාව ඉන්දියානු යෝගීන්ගේ පරමාදර්ශය බවට පත්ව තිබේ.

අත්‍යවශ්‍ය නොවීම

සෑම භාණ්ඩයකම කිසියම් ප්‍රයෝජනයක් තිබේ. එහෙත් ඒ සියලුම භාණ්ඩ එක් පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය නොවේ. එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන්නේ ඉතා සීමිත සම්පත් ප්‍රමාණයකි. මෙකී සම්පත් බොහෝමයක් සපයාගන්නේ ස්වාභාවික පරිසරයෙන්ය. අප පරිහරණය කරන ආහාර ඇඳුම් ඖෂධ හා වෙනත් බොහෝමයක් දෑ නිපදවෙන්නේ ස්වාභාවික සම්පත් ආශ්‍රයෙන්ය. කෙනෙකු අල්පේච්ඡ ජීවිතයකට හුරු වීම යනු එම පාරිසරික සම්පත් තවදුරටත් ආරක්ෂා කිරීමට වක්‍රාකාරයෙන් සහාය දැක්වීමක් වේ. එසේම මානසික නිරෝගී බව සියල්ලට වඩා වැදගත් වේ. බහුභාණ්ඩික ජීවිතය හා මහිච්ඡතාව මානසික වශයෙන් පමණක් නොව කායික වශයෙන් ද පුද්ගලයා රෝගියෙකු බවට පත් කරයි. අධ්‍යාත්මික ධනයෙන් පොහොසත් මිනිසා සරල ජීවන රටාවකට හිමිකම් කියන අතර දීර්ඝ කාලීන සතුටක් භුක්ති වි¼දියි. එම සතුට ඔහු සතු පරම ධනය වේ. ගිහි වුවද පැවිදි වුවද ලද දෙයින් සෑහීමට පත් වීම සමාජයට මෙන්ම පරිසරයටත් සිදු කරන විශාල යහපතක් වේ. තවත් විශාල පිරිසකගේ පරිභෝජනය සඳහා යමක් ඉතිරිකර තබමින් තම අවශ්‍යතා සපුරා ගැනීම අල්පේච්ඡතාවෙන් අපේක්ෂා කරන බෞද්ධ පරමාදර්ශය වේ.

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 28 වන දා බදාදා පූර්ව භාග 10.36 ට ලබයි. 29 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]