UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සොඳුරු රුවක යථාව

සොඳුරු රුවක යථාව

ශරීරය පිළිබඳව ඇතිවන්නාවූ මනස්කාන්ත නිසරු හැඟීම් හා ශරීරයත් සමඟ ඇතිවන්නාවූ ඇලීම් නවතා දැමිය හැකිය. ඇලීම් සහ ගැටීම් යන දෙකම නවතා දැමිය හැකි වන්නේ ශරීරය පිළිබඳව මනා අවබෝධයක් ඇතිකරගත් විටයි.නිවනට බාධාවක් වන්නේ ද ඇලීම සහ ගැටීමයි.

අප ඉතාම අලංකාරවත්ව ඇඳුම්න් පැළදුමින් සැරසී අංගරචනය කර සියුම් ඡායාරූපයක් ගත හැකි කැමරාවක් ඉදිරියට ගොස් ගනු ලබන ඡායාරූපය විශාල කර රාමු කරමින් බිත්තියෙහි එල්වා තබයි. අපගේ ලස්සන සුන්දර හැඩරුව එතුළින් මැනවින් නිරූපණය වෙයි. මම අසවලා බවට පින්තූරයට පහළින් නමක්ද ගසනු ලබයි. අපට සහ අපගේ ලස්සන පිළිබඳව සෙසු පිරිසට දැකිය හැකියි. අප විසින් එය මමය . යනුවෙන් හඳුන්වා ගනු ලබයි.

එම ඡායාරූප ගත් මොහොතෙහිම එක්ස්රේ කැමරාවකින් පින්තූරයක් ලබාගනු ලැබුවත් එම එක්ස්රේ රූපයට සම වැටෙන්නේ නැත.සමට ඉහළින් තිබෙන්නාවූ කෙස්ද සටහන් නොවෙයි. සමට පරිබාහිර වශයෙන් ගල්වා ඇති ආලේපනද සමෙහි හැඩරුවද සටහන් නොවෙයි. සමට යටින් තිබෙන මස් සහ මස් සමඟ තිබෙන මාංශ පේෂීන්ද මස් අතර තිබෙන රුධිර නාලිකාද සටහන් නොවෙයි. කට නාසය, කන, ඇහිබැම නොවැටෙන අතර ඇස සමීපයෙහි විශාල සිදුරු දෙකක් සහිත හිස් කබලක් එක්ස්රේ ඡායාරූපයක සටහන් වෙයි. ලස්සනට දිස් වන තොල්පෙති නොවැටුණද, ලබු ඇට පෙළක් මෙන් පෙළට දිස්වෙන දත්පෙළ එක්ස්රේ තුළ සටහන් වෙයි. එම එක්ස්රේ ඡායාරූපයත් පෙර රාමු කර බිත්තියෙහි එල්වා ඇති ඡායාරූපය සමීපයෙහිම එල්ලනු ලැබු විට මගේ ඡායාරූපය වන්නේ කුමක්ද? ෙමි මම යැයි හඳුන්වා දිය හැක්කේ කවර ඡායාරූපයෙහිද? අප විසින් අපගේ සත්‍ය වසන්කරමින් අසත්‍ය ඉදිරියේ ස්වේච්ඡාවෙන් රැවටීමට කැමැති බව එතුළින් පැහැදිලි වෙයි. එම හිස්කබල මාය එය මගේය. එම හිස් කබලෙහි අයිතිකරු මා යැයි කීමට තරම් අප සූදානම් නැත. එම හිස්කබල අපට අපේ යැයි කීමට බැරි ඇයි? එය රූමත් නැත. එහෙත් ලස්සනට පෙන්නුම් කරන ඡායාරූපය අපේ් බව කිමට අප සැමවිමට සූදානම් වෙයි. එතුළින් පැහැදිලි ලෙසම පෙන්නුම් කරනු ලබනුයේ තමාගේ වුවත්, ලස්සන නැත්නම්. නොපෙන්වා සිටීමට ඇති කැමැත්තයි. පැහැදිලිව ප්‍රකාශ කරනවා නම්,බුදුපියාණන් වහන්සේ දේශනා කළ මෙම ශරීරය තිිස් දෙකක් කුණුපයන්ගෙන් සමන්විත වෙයි. එය ද්වතිංසාකාරය නමින් හඳුන්වනු ලබයි. ආකාර යනු ස්වභාවය හෙවත් අවයවයන් වෙයි. එම අවයවයන් තිස් දෙක බුදුපියාණන් වහන්සේ විසින් අපට හඳුන්වා දෙනු ලැබුවා පමණක් නොව එම ආකාරයන් තිස් දෙක තුළ පවතින යහපත් බව සහ අයහපත් බවද දේශනා කර ඇත. එම යහපත් බවත් අයහපත් බවත් විසින් අපගේ ජීවිතයේ සත්‍ය ඇති සැටියෙන් දැකීමට පැහැදිලි මඟක් පෙන්නුම් කර දෙනු ලබයි. මෙම ද්වතිංසාකාරයෙහි අන්තර්ගත වී ඇති අවයවයන් අතරින් කෙස් ලොම් නිය දත් මස් නහර මුත්‍ර සෙම සොටු ලේ ආදී වශයෙන් තිස් දෙකක් ඇතුළත් වෙයි. මෙම ශරීරය තුළ පවතින කිසිවක් ලස්සන හා සුවඳවත් නැහැ. පෙර දිනයක සටහන් කර ඇති පරිදි ශරීරය තුළ තිබුණාවූ කිසිවක් එලියට දමා ආපසු ගත නොහැකිය. ශරීරය තුළ පවතින ද්‍රව්‍ය බැහැරට දමනු ලබන ස්ථාන නවයක් තිබෙන අතර පිටත තිබෙන ද්‍රව්‍ය ඇතුළට දමාගැනීමට කට පමණක් ප්‍රයෝජනවත් වෙයි.

ශරීරය අභ්‍යන්තරයෙහි තිබෙන දේ ඇස තුළ සිට පිටතට දමනු ලබයි. නාසයෙන් සෙම් සොටුද, මුඛයෙන් කෙළ හා සෙමද ශරීරයෙන් මුත්‍රාද ඉවත දමයිි. ශරීිරයෙන් බැහැර කරනු ලබන කිසිවක් නැවත ඇතුළට දමාගැනීමට අප සූදානම් නැත. ශරීරයෙන් පිටකරන සියල්ල අපවිත්‍ර බව එයින් හැඟෙයි. මුත්‍ර මාර්ගයෙන් ෙවිවා, අසූචි වශයෙන් ෙවිවා අපිරිසුදු දේ වශයෙන් ශරීරයෙන් පිටවන ද්‍රව්‍ය කිසිම දවසක සුවඳවත් වන්නේ නැත. මුවාගේ සිරුර තුළ තිබෙන්නාවු. කස්තුරි නිසා මුවාට මරණය කැන්දවීමට හේතුවක් වෙයි. කස්තුරි නොමැති නම්, කස්තුරි මුවා ද මරණු ලබන්නේ නැත.

බුදුපියාණන් වහන්සේගේ මූර්තිය නිර්මාණය කර මැණික් හෝ රත්තරන් කරඬු තැන්පත් කළා වගේ විනාශ වෙයි. ශරීර අභ්‍යන්තරය තුළ තිබෙන්නාවූ දේ පැහැරගැනීමේ අරමුණින් කිසිම පුද්ගලයෙකු කිසිවෙකු මරණයට පත් නොකරයි. ඒ තරම් අප්‍රසන්න දේ මෙම ශරීර අභ්‍යන්තරයෙහි පවතී. සුවඳ හා ප්‍රසන්න ලස්සන කිසිවක් එහි නැත සත්තු මරා මස් ඇට පෙනෙන ආකාරයෙන් ද බඩවැල් පෙනෙන ආකාරයෙන්ද එල්වා තිබෙනවා දැකීමම ඉතාම ජුගුප්සාජනක ලෙස අප්‍රසන්න ආකාරයේ දර්ශනයක් වෙයි.එම ජුගුප්සාජනක බව අප්‍රසන්න බව මෙම ශරීරය ඇතුළත කපා බැලුවත් අපට දැකගත හැකියි. වෛද්‍ය ප්‍රදර්ශනයක් තුළ එවැනි අත්දැකීම් අපට ඕනෑ තරම් අද්දැකිය හැකියි. කිසිවක් එලියට දමා ආපසු ගැනීමට නොහැකි තරමට අප්‍රසන්න වූ මෙම ශරීරයෙහි අප ප්‍රසන්න යැයි දකින්නේ කුමක්ද?මිලිමීටරයකට වඩා කුඩා හම් තට්ටුවක් සහ හමෙන් ඉහළ තිබෙන කිසිවක් ලස්සන යැයි පෙනෙන්නේ නැහැ. හම ඉහළ පමණක් දක්නට ලැබෙයි. එන්ඩොස්කොපි යන්ත්‍රයකින් හෝ එක්ස්රේ යන්ත්‍රයකින් ස්කෑන් යන්ත්‍රයකින් හෝ ශරීර අභ්‍යන්තරය නිරීක්ෂණය කර බැලිය හැකියි. ශරීරය තුළ සිදුවන දේ පිළිබඳව කිසියම් ආකාරයක ඡායාරූපගත කරන යන්ත්‍රයක් තුළින් අපට අපගේ ශරීර අභ්‍යන්තරය බලාගත හැකියි.ස්කෑන් කරද්දි බඩ සහ පපුව ඇතුළ දැකිය හැකියි. එහි කිසිවක සුන්දර සහ ලස්සන අපට දැක ගත නොහැකී.ශරීර අභ්‍යන්තරය තුළ පවතින දේ ලස්සන නම් අපට එලියෙන් එල්වා ගත හැකී. වකුගඩු උණ්ඩුක පුච්චය වැනි අවයව සුන්දර නම් පිටතින් එල්වා ගත හැකීය.කිසිම වටිනාකමක් නැති ශරීරයෙහි ලස්සන බවක් දක්නට නැති බව බුදුපියාණන් වහන්සේ දේශනා කළා. එක්ස්රේ සහ ඡායාරූප අතර වෙනස එයයි.

ශරීර අභ්‍යන්තරයෙහි ස්වභාවය ඇත්ත ඇති සැටියෙන් දැකීමට බුදුපියාණන් වහන්සේ කුණුප භාවනාවන්ගෙන් අපේක්ෂා කළා. සැබවින්ම යමක් දෙස බලා ඉන්ද්‍රියන් විසින් එහි මනස්කාන්ත බව විඳගැනීමත්, එහි සත්‍ය ස්වභාවය දැකීමත් කාරණා දෙකක් වෙයි. කිසියම් ගෙයක බිත්ති ලස්සනට වර්ණ ආලේප කර ඇති විට එම බිත්තිවල පාට අප විසින් ලස්සන බවට අගය කරනු ලබයි.බිත්තිය ඇතුළත තිබෙන්නාවූ කපරාරුව කපරාරුවට යටින් තිබෙන්නාවූ ගඩොල අපට විනිවිද දැකිය නොහැකිය. නමුත් සත්‍ය එයයි.ශරීරයෙහි සත්‍ය ඒ අනුව දැකිය හැකි නම් ශරීරය පිළිබඳව ඇතිවන්නාවූ මනස්කාන්ත නිසරු හැඟීම් හා ශරීරයත් සමඟ ඇතිවන්නාවූ ඇලීම් නවතා දැමිය හැකිය. ඇලීම් සහ ගැටීම් යන දෙකම නවතා දැමිය හැකි වන්නේ ශරීරය පිළිබඳව මනා අවබෝධයක් ඇතිකරගත් විටයි.නිවනට බාධාවක් වන්නේ ද ඇලීම සහ ගැටීමයි.

ඇලීම නැති කිරීම සඳහා පිළිකුල් භාවනාව යොදාගත හැකිය. ගැටීම නැති කරීම සඳහා මෛත්‍රී භාවනාව යොදා ගත හැකී. ඇට ලේ මස් නහර සහිත ශරීරයක් පිළිබඳව සත්‍ය හැඟීම් ඇතිකර ගත් විට මෙම ඇලීම නැතිවෙනවා පමණක් නොව ශරීර ශරීර ගැටෙන වෛරය ඇතිකර ගන්නේ කුමකටද? යනුවෙන් සිතෙයි.

ශරීරයෙහි අභ්‍යන්තරික ස්වභාවය සත්‍ය ආකාරයෙන් දකිනවා නම්, රෝග කන්දරාවක් සහිතව දුර්ගන්ධය හමන රූමත් නොවන දුර්ගන්ධී සහ විරූපී ශරීරයක් සමඟ අපට කවර ආකාරයේ කුමන නැටුම් කෙළි කවට සිනා ද? යනුවෙන් නැවත සිතිය යුතුයි. ජීවිතය යනු මෙය ද සිතිය යුතු බව ඉතාම ගැඹුරින් කල්පනා කළ යුතු කාරණාවක් වෙයි. ඇත්ත ඇති සැටියෙන් සළකා බලන විට කිසිම වටිනාකමක් නොමැති ශරීරයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතර එක්ස්රේ මැෂිමෙන් අපට ලැබෙන පණිවුඩය ද එයම වෙයි.

 

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා පූර්ව භාග 9.16 ට ලබයි.
14 වන දා බදාදා පූර්වභාග 5.35 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා

 

මීළඟ පෝය දෙසැම්බර් 21 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]