UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විශ්වාසය රකිනු බැරි තරුණකම දුර්වලයි

විශ්වාසය රකිනු බැරි තරුණකම දුර්වලයි

අවිවාහක ගිහි ජීවිතය පෙරදිග රටවල වැදගත් කොට නො සලකයි. ගිහියෙකු නම් විවාහවිය යුතුය, නො එසේනම් පැවිදිවිය යුතුය යන්න පිළිගත් අදහසකි. බෞද්ධ සාහිත්‍යයේ තරුණ වියේ දී විවාහවීමත් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවීමත් සඳහා සැපයෙන උපදේශ රාශියක් වේ.

තරුණයෙකු හෝ තරුණියක විසින් කළයුතු වැදගත්ම කරුණ වන්නේ තමාට සුදුසු ප්‍රතිවිරුද්ධ ලිංගික සහකරුවා සොයා ගැනීමයි. සමසීල, සමසද්ධා, සමපඤ්ඤා යනාදි ගුණාංගවලින් හෙබි තැනැත්තා හෝ තැනැත්තිය තෝරා ගැනීමයි. එම ගැළපීම නැති කෙනෙකු තෝරා ගන්නා අයට විවාහ ජීවිතයේ අනේකවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. මහෞෂධ කුමරු අමරා දේවිය විවාහ කර ගැනීමට පෙර කරන ලද පරීක්ෂණය සිහිපත් කර ගැනීම ප්‍රයෝජනවත් ය. බුදුන් වහන්සේ වදාළේ දෙවියෙක් දෙවඟනක් සමඟ වසන්නාක් මෙන් විවාහ ජීවිතයට එළඹීමට නියමිත හෝ විවාහක ස්ත්‍රී පුරුෂ දෙදෙනා අතර සුසංයෝගය තිබිය යුතු බවයි. රූපය හෝ ධනය පමණක් සලකා විවාහ වීම සදාචාරමය ගැටලු රාශියක් ඇතිවීමට හේතුවේ. මොණරා කෙතරම් ලස්සන වුවත් හේ පිරිස් ඉදිරියේ රංගනයේ යෙදෙනුයේ අධෝමුඛය කාහටත් පෙනෙන පරිදි පිල් විදහා ගෙනය. සමහර පිරිස් බහුභාර්යා සේවනයට යොමු වන්නේත් ඉතා කෙටි කලකින් දික්කසාද වන්නේත් ආචාරමය ශික්ෂණයක් නොමැතිවීම නිසාය. බෞද්ධ ජාතක කථාවල මෙම උපදේශය අපට නිබඳ ලබාදෙයි.

විවාහ වූ තරුණයෙකුගේ කාර්යභාරය වන්නේ කුටුම්බ සංරක්ෂණයයි. මංගල සූත්‍රයෙහි විවාහ ප්‍රාප්ත පුද්ගලයෙකු විසින් අනුගමනය කළයුතු වැදගත්ම කරුණු කිහිපයක් දක්වයි.

1 මව්පියන්ට සැලකීම (මාතාපිතූ උපට්ඨානං) 2. අඹුදරුවන් පෝෂණය කිරීම 3. වැඩ කටයුතු අවුල් නො කරගැනීම (අනාකුලා ච කම්මන්තා) 4. දන්දීම (දානං) 5. දැහැමි ලෙස හැසිරීම (ධම්මචරියං) 6. ඥාතීන් විෂයෙහි වන යුතුකම් ඉටු කිරීම (ඤාතකානඤ්ච සංගහො) 7. නිවැරදි ක්‍රියා කිරීම (අනවජ්ජානි කම්මානි) 8. අකුශලයන්හි මනසින් නො ඇලීම හා වරදින් වෙන්වීම (ආරති විරති) 9. මත්ද්‍රව්‍ය භාවිත නො කිරීම (මජ්ජපානා ච සඤ්ඤමො) 10. නිතර සිහිකල්පනාවෙන් කටයුතු කිරීම (අප්පමාදො ච ධම්මෙසු) 11. ගරුකළ යුත්තන්ට ගරුකිරීම (ගාරවො) 12. යටහත් පහත් පැවැත්ම (නිවාතො) 12. ස්වකීය අඹුදරුවන්ගෙන් සහ ලද දෙයින් සතුටට පත්වීම (සන්තුට්ඨී) 13. වෙනත් අය විසින් කුදු මහත් වශයෙන් තමාට කළ අනුග්‍රහ පිළිබඳ කෘතඥවීම (කතඤ්ඤුතා) 14. ඉඩ ලද අවස්ථාවන්හි ධර්මය ඇසීම (කාලෙන ධම්මසවණං) 15. ඉවසීම (ඛන්තී) යන කරුණු ඒ අතර වේ. 2 මේවා පිළිබඳ අවබෝධයෙන් ක්‍රියාකිරීමේ දී තරුණ අඹු සැමි යුවළකට ගැටලු හා අභියෝග ජයගනිමින් සාර්ථක දරු පරම්පරාවක් බිහිකරමින් සුඛිත මුදිත ලෙස දිවි ගෙවිය හැකිය.

කායික ශක්තිය තරුණ වියේ සිටින පුද්ගලයෙකුට ලැබී ඇති ලාභයයි. එම ශක්තිය මෙහෙයවා හිතුවක්කාර ලෙස ක්‍රියාකිරීමට වෑයම් කිරීම කෙනෙකුගේ බුද්ධිහීනත්වය ප්‍රකට කරන්නකි. ස්වකීය ශ්‍රමය බාහු බලය කැපවීම මෙහෙයවා ඔවුන් විසින් ස්වකීය වර්ගයා විෂයෙහි දැවැන්ත මෙහෙවරක් කළ යුතුය. කිසි ලෙසකත් ස්වකීය ශක්තිය අනුන් පෙළීම සඳහා නොවිය යුතුය. තම අභිලාෂයන් කෙරෙහි අවදියෙන් සෙසු අයගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා දායකත්වය සැපයිය යුතුය. තරුණ විය යනු ජීවිතයේ ඉතා වැදගත්ම අවධිය වන්නේ ස්වභාව ධර්මය විසින් කෙනෙකුට ලැබිය යුතු සියල්ල ලබා දෙන අවධියයි. විවිධ තනතුරු ආදිය මගින් විවිධ ඇඳුම් අන්දවන, මිල මුදලින් අප සනසවන, කායික ශක්තිය අපට ලබාදෙන මෙම අවධිය අපට අපව අමතක කරවන කාලයයි. නැවත මෙම ඇඳුම් වියපත් අවධියේ දී එම ඇඳුම් ලබාදුන් අය විසින්ම ගලවනු ලැබේ. එබැවින් අප තුළ සිටින අවංක ආදරණීය හා සැබෑ මිනිසා සැමදාම ආරක්ෂා කර ගැනීමට වෑයම් කළ යුතුය. නිදසුනක් ලෙස පොලිස් නිලධාරියෙකු ලෙස සිතන්න. වෘත්තිය විසින් ඔහුට ලබා දෙනුයේ අසීමිත බලයකි. එහෙත් ඔහු විශ්‍රාම ගත් පසු එම ඇඳුම සහ බලය ආපසු බාරදිය යුතුය. නැවත පොදු මිනිසා අතරට යා යුතුය. එදිනට පොදු සමාජය ආදරය කරන්නේ ඔහු තුළ සිටි මිනිසාටය. ඔහු තුළ සිටියේ යකෙක් නම් පොදු සමාජය අප්‍රිය කරයි. මෙය සෑම සමාජ සත්වයෙකුටම හිමි සරල සත්‍යයකි. බිරිඳ සහ ස්වාමි පුරුෂයා යන භූමිකාවන් දෙක ද මෙයට යටත්ය. එබැවින් සැම විටම කවර වෘත්තියක හෝ සමාජ ස්තරයක පසු වුවද තමාගේ යහපත්කම් සහිත මනුෂ්‍යත්වය රැකගත යුතුය.

පවුල් ජීවිතයේ දී ආගම ධර්මය කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස අප නිතර සිහිපත් කරනුයේ එහි ප්‍රායෝගික වටිනාකමක් ඇති නිසාය. තරුණ වියෙහි දී වගකීම් මගහරිමින් චතුරාර්ය සත්‍යය පසක් කිරීමෙහි ලා නිරතව සිටීම රටක තරුණ ප්‍රජාවකගේ වගකීමක් නොවේ. තරුණ වියේ දී චතුරාර්ය සත්‍යය සොයා යාමට උපදෙස් සපයන ආගමික ආයතන ඇති බව අපි දනිමු. එහෙත් රටක් ජාතියක් වශයෙන් ගෙන සැලකූවිට ඔබට ඊට පෙර කළයුතු කළහැකි බොහෝ දේ ඇත. සුමේධ නමින් ඉපිද සිට බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරදුන් පාමුල දී අතට පත් නිවන අත්හළේ කුමක් සඳහා දැයි සිතනු මැන. තරුණයෝ වූකලී රටක, ජාතියක, අනාගතය නිර්මාණය කරන්නෝය. ඔවහු ආගමික නායකයෝය. ගුරුවරුය. ඉංජිනේරුවරුය. වෛද්‍යවරුය. කලාකරුවෝය. ගවේෂකයෝය. ව්‍යාපාරිකයෝය. පරිසරවේදීහුය. සැලසුම් හා ඉදිකිරිම්කරුවෝය. වෘත්තිකයෝය. මෙසේ ශ්‍රමික හා බුද්ධිමය දායකත්වය විසින් විවිධ පුද්ගලයන් ලෙස ක්‍රියාකරන උත්තුංග හා ජවසම්පන්න තරුණ විය තුළ ඒ ඒ පුදගලයාට සමාජයේ දියුණුවට හෝ පරිහානියට කළ හැකි බලපෑම අනල්පය.

පවුල් සංරක්ෂණයේ දී ඔබ යක්ෂයෙකු හෝ යක්ෂණියක වීමට අවශ්‍ය ඉඩ කඩ ඕනෑවටත් වැඩියෙන් අද අප වෙසෙන සමාජය තුළ ඇත. කෙබඳු සළුපිළිවලින් අප වෙළී සිටිය ද ඒවා ඉවත් කළ විට අපගේ ප්‍රකෘතිය නිරාවරණය වේ. අප උපතින් මනුෂ්‍යත්වය උරුමව පැමිණි අයයි. එය අපට හිමි ස්වභාවයයි. කුඩා දරුවෙකුට අනෙක් සියලු දෙනා ආදරය කරන්නේ එම නිකැලැල් මනුෂ්‍ය ධර්මයන්ටය. එය සුරක්ෂිත කර ගනිමින් වැඩෙන දරුවාට ද සමාජය එපමණකටම ආදරය කරයි. අංගුලිමාල නමැති මිනීමරුවා තුළ සිටි මිනිසා එළියට ගත්තේ බුදුරදුන් විසින් තාරුණ්‍යය සමඟ වැළලී ගිය මෙම සත්‍යය පහදා දීමෙනි. එබැවින් කුටුම්බ රක්ෂණය හෙවත් පවුල් ජීවිතයක දී අඹුවට සහ දරුවන්ට නො එසේ නම් සැමියාට සහ දරුවන්ට පියෙකු හෝ මවක වශයෙන් පෙන්විය යුතු එකම දෙය නම් අවංක ආදරය හා විශ්වසනීයත්වයයි. එය රැක ගැනීමට අපොහොසත් තරුණ විය අතිශයින් දුර්වල වූවකි.

තරඟකාරිත්වය හමුවේ මානව හිතවාදිත්වය භූමදානය කරන ඇතැම් පිරිස් අවි ආයුධ, විෂමිශ්‍ර ආහාර අලෙවිය, භාවිතයට නුසුදුසු බේත් හේත් අලෙවිය, රාජකාරිය කිරීමට පවා අල්ලස් ගැනීම, එකිනෙකා බිඳවා තම අපේක්ෂාවන් සපුරා ගැනීම වැනි අනේකවිධ ක්‍රම මගින් අනුන්ට හිංසා කරති. ඝාතනය කරති. එයින් උපයන ධනයෙන් තමා ද ජීවත් වෙමින් තම දරුවන් ද ජීවත් කරවීමට වෑයම් කරති. එහෙත් යතාර්ථයක් වශයෙන් එය සපල නොවේ. කුමක් නිසාද යත් අපරාධයේ අනිසි පල මාරාන්තික අනතුරු රෝග ව්‍යසන අබල දුලබතා මගින් භුක්ති විඳීමට සිදුවන බැවිනි. එබඳු ලෝක ධර්මයක් ලෝකයේ ඇත. තමාට මෙන් තම පවුලේ සාමාජිකයන්ට ද දැහැමිව උපයා සපයා දීමත් එබඳු දැහැමි ජීවනෝපාය මාර්ගයක් පෙන්වා දීමත් කුටුම්බ සංරක්ෂණයේ වගකීම වේ. එබැවින් මහිච්ඡතාව හෙවත් අසීමිත කැමැත්ත වෙනුවට අල්පේච්ඡතාව හෙවත් ලද දෙයින් සන්තෘප්ත වීමේ ජීවන ප්‍රතිපදාවට හුරුවන්න. එය බොහෝ ගැටලුවලින් මිදීමට අසීමිත ලෙස ඔබට මග පෙන්වනු ඇත.

අනලස්ව දෑතේ විරියෙන් සහ බුද්ධියෙන් දැහැමිව ධනය උපයන්න. තම බිරියට හා දරුවන්ට කෑම බීම පමණක් නොව අබරණ ආදියෙන් ද විනෝදවීම් ආදියට ද අවස්ථාව සලසන්න. මව් පිය උරුමයෙන් ආ දේපළ හෝ ව්‍යාපාර ආදිය දියුණු කරන්න. ආගමික හා සමාජ සුබසාධන ක්‍රියාවලියට දායක වන්න. රටට වැඩදායක දරු පරපුරක් බිහි කරන්න. මෙලොවක් මෙන්ම පරලොවක් ද ඇති බව සිතා කටයුතු කරන්න. මෙම කරුණු කිහිපය මනසෙහි දරා ගනිමින් පවුල් ජීවිතයක් ගත කළ හැකි නම් ඔබ බෞද්ධ ජීවනෝපාය ක්‍රමය අනුව ජයග්‍රාහී පුද්ගලයෙකු බව සිතන්න.

 

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා පූර්ව භාග 9.16 ට ලබයි.
14 වන දා බදාදා පූර්වභාග 5.35 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා

 

මීළඟ පෝය දෙසැම්බර් 21 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]