UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පල්ලත්තර සුමනජෝති නා හිමි

අග්ග මහා පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නා හිමිපාණන් වහන්සේගේ ගුවන්විදුලි ධර්ම දේශනා මෙන්ම ලිඛිත ලිපි මාර්ගයෙන් හා පොත්පත්වලින් පොදු ජනයාගේ මනස සුවපත් කරන ලද සාරගර්භ සරල, දේශනා හා ලිපි ලේඛන, පොතපත පොදු ජනතාවට එදත් අදත් එක ලෙස රසවින්දනය කළ හැකිය. උන්වහන්සේ “පාලි සිංහල ව්‍යාකරණය” මූලගිරි මහා විහාරවංශය” ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදි පල්ලත්තර නා හිමිගේ ධර්ම ග්‍රන්ථ හා “බුදුසරණ”පුවත්පතට සපයන ලිපි එයට සාක්‍ය දරයි.

පල්ලත්තර නා හිමියෝ ගත්කතුවරයෙක් මෙන්ම දක්ෂ දේශකයෙකි. උන්වහන්සේ දෙස්, විදෙස් රාශියක වැඩම කරමින් ලොවුතුරු බුදුදහම ව්‍යාප්ත කළ ධර්මදූතයන් වහන්සේ නමකි. පැරණි පෙළේ උගතකු වන පල්ලත්තර නාහිමියෝ මූලික අධ්‍යාපනය ලැබුයේ තම ගුරුදේව එවක මුලගර්භ මහා විහාර පිරිවෙන්පති රාජකීය පණ්ඩිත කොටවිල සිරිසුමන හිමිපාණන් ගෙනි. අනතුරුව විද්‍යෝදය මහ පිරිවෙණින් උසස් අධ්‍යායන ලැබූ උන්වහන්සේ ප්‍රාචීන අවසාන විභාගයෙන් රාජකීය පණ්ඩිත උපාධිය හිමිකර ගත්තේ 1957 වසෙර්ය. පසු කලෙක විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධිය බාහිරව ලබා ගත්හ. ප්‍රාචීන.භාෂෝපකාර සමාගමෙන් ග්‍රන්ථ විශාරද උපාධිය ලැබු උන්වහන්සේ මියන්මාර රජයෙන් පිරිනමන ලද අග්ගමහා පණ්ඩිත උපාධිධාරි හිමිනමකි. විද්‍යෝදය පිරිවෙනින් ශ්‍රී සුමංගල විද්‍යාවතංස උපාධිය සහ රුහුණු කලා හවුලෙන් සාහිත්‍ය ශිරෝමණි යන උපාධියත් මල්වතු මහා විහාරයෙන් සද්ධර්මවාගීශ්වර යනාදි ගෞරව රාශියක් ලබා සිටිති. කැලණිය විශ්ව විද්‍යාලයේ දීප්තිමත් විද්‍යාර්ථීන්ට පිරිනැමූ උසස් සමරු ඵලකයද උන්වහන්සේ ලබාගත්හ. ලෝක බෞද්ධ සංඝ කෟන්සලයේ සාමාජිකයකු වන උන්වහන්සේ එහි වාර්ෂික සම්මේලනවලට සහභාගි වූහ.

පිනට අතිශයෙන් ලැදි වන උන්වහන්සේ වාර්ෂිකව විවිධ පළාත්වලට අවශ්‍ය උපකරණ ගෙන ගොස් ශතාධික මහසඟරුවනට සපිරිකර මහ දන් දුන්හ. අදත් එම දානයමය පුණ්‍ය කර්මය සිය විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන වාර්ෂිකව සිදු කරති. උන්වහන්සේ කඨින පින්කමක් ද කර තිබේ. මුළු ජීවිතයම භාෂා ධර්ම ශාස්ත්‍ර ඉගැන්වීම සඳහා කැප කළ මුන්වහන්සේ පොළොන්නරුව,කොළඹ හා ගාල්ල යන පෙදෙස් කේන්ද්‍ර කරගෙන සිය අධ්‍යාපන කටයුතු කළහ. විශ්‍රාම ගෙන පිරිවෙන් කීපයක පරිවෙණාධිපති ආදී ගුරු තනතුරු හෙබ වූ මුන්වහන්සේ රත්මලාන භික්ෂූ ගුරු අභ්‍යාස විද්‍යාලයයේ ආයතනාධිපති ධූරය ද දැරූහ.මෙසේ ධර්ම දේශකයකු වශයෙනුත් ලේඛකයකු වශයෙනුත් ධර්මදූතයකු වශයෙනුත්, ගත්කතුවරයෙක් වශයෙනුත් විශාල සේවාවක් ඉෂ්ට කළහ ........................ නියෝජ්‍ය හා විදුහල්පතිවරයෙකු වශයෙනුත් පරිවෙණාධිපතිවරයකු වශයෙනුත් සැත්තෑ වසරක් පමණ පරාර්ථ සේවාවෙහි නිරත වු පල්ලත්තර නා හිමියෝ මල්වතු මහා විහාරයේ උපාධ්‍යයන් වහන්සේ නමකි. එසේම මල්වතු පාර්ශ්වීය උසස් නායක පදවි කීපයක් දැරූ මුන්වහන්සේ එහි උසස්ම පදවියක් වන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන නායක පදවිය දරති. ජන්මයෙන් දෙයානු විය සපුරා තෙයානු වියට පා තබා සිටින පල්ලත්තර සුමනජෝති නාහිමිපාණන්ට නිදුක් නිරෝගී සුව පතා ඉකුත් 20 වන ශනි දින ගාල්ලේ මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරස්ථානයෙහි දී වාර්ෂිකව පවත්වන මහා සංඝ ගත දක්ෂිණාව පිරිනමා ආශිර්වාද කිරීමට උන්වහන්සේගේ උගත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ හා දායක දායිකා පිරිස ක්‍රියා කර තිබිණි.


බොරවැවේ රතනපාල නා හිමි

උතුම් බුද්ධ දේශනාවට අනුව පැවිදි ජීවිතය හැඩගස්වා ගත් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ලෙස, මීට වසර දහයකට පෙර අපවත් වී වදාළ කුරුණෑගල කොටකන්ද ශ්‍රී රුවන් බෝධි පිරිවෙන් විහාරාධිපති සද්ධර්මවාගීෂ්වර ශ්‍රී ධර්මරක්ෂිත ශාසනශූරි රාජකීය පණ්ඩිත බොරවැවේ රතනපාලාභිධාන නා හිමිපාණන් වහන්සේ සඳහන් කළ යුතුය.

උතුරු මැද කලාගම් පළාතේ වලස්වැව නම් ගම් පියසේ 1933 මාර්තු මස 16 දින මෙලොව උපත ලැබූ නාහිමිපාණන් වයස අවුරුදු 9 දී නිසඳවන රාජමහා විහාරයේදී පලීපාන සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිද්ද ලබා ගත්හ. අනතුරුව, උන්වහන්සේ කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනන් මූලික අධ්‍යාපනයත්, කුරුණෑගල මලියදේව විද්‍යාරක්ෂක පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලබා රාජකීය පණ්ඩිත උපාධියත් සමත් වූහ.

මහනුවර හරංකහව ශ්‍රී සංඝානන්ද පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වශයෙන් කාලයක් සේවය කළ උන්වහන්සේ කුරුණෑගල අංගංගල ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙනේ ආචාර්යවරයෙකු වශයෙන්ද කටයුතු කරන ලදී.

1968 වර්ෂයේ නාහිමිපාණන් වහන්සේ කුරුණෑගල නගරයේ ගැට්ටුවාන “කොටකන්ද” නම් කඳු ශිඛරය මත සියලු විහාරාංගවලින් සමලංකෘතව විහාරස්ථානයක් ගොඩනැගීම කුරුණෑගල නගරයේ බෞද්ධ ජනයාගේ අභිවන්දනයට හේතුවක් විය.

උන්වහන්සේ 1969 වර්ෂයේ රුවන් දහම් පාසලත්, 1985 වර්ෂයේ රුවන් බෝධි පිරිවෙනක් ආරම්භ කළහ.

සමාජ සේවාවන්හි ද නියැලුනු උන්වහන්සේ මෙරට විවිධ ප්‍රදේශවල දිළිඳු ගම්මානවල ජනතාව වෙත විවිධ සුභසාධන ලබාදීමට ක්‍රියා කළ අතර, විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන ‘වාසෝන්” පදනම පිහිටුවා ගෙන එම කටයුතු තවදුරටත් ව්‍යාප්ත කරන ලදී.

නිර්මාණශීලි ලේඛන කලාව ඒ අතර කැපී පෙනෙයි. “සුසිරිත මඟ” “පාන්කිරිත්ති සංදේශය” වැනි කාව්‍ය ග්‍රන්ථ රචනා කිරීමත්, විවිධ පුවත්පත්, සඟරා සඳහා ලිපි සම්පාදනය කිරීමත් එයට උදාහරණ වේ.

දේශීය වෙදකම ප්‍රගුණ කොට සිටි නාහිමිපාණන් වහන්සේ සර්වාංග වෛද්‍යවරයෙකු මෙන්ම අක්ෂි වෛද්‍යවරයෙකු ලෙසද ක්‍රියා කරමින් බොහෝ රෝගීන් සුවපත් කළහ. එපමණක් නොව ඡ්‍යොතිර් ශාස්ත්‍රඥයෙක්ද වූ උන්වහන්සේ බොහෝ දෙනාට පිහිට වූහ.

නාහිමිපාණන් වහන්සේගේ ඉතා ශ්‍රේෂ්ඨතම කාර්යයන් අතර, ගිහි, පැවිදි උගත් උපාධිධාරි විශාල ශිෂ්‍ය පිරිසක් දායාද කිරීමද අතිශයින් අගය කළ යුතු වේ. මේ ශිෂ්‍ය පිරිස අතර, සමස්ත පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අගනා මෙහෙවරක් සිදු කළ කුරුණෑගල මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කොටකන්ද, ශ්‍රී රුවන් බෝධි පිරිවෙන් විහාරාධිපති විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් රාජකීය පණ්ඩිත වලස්වැවේ ශ්‍රී ධර්මරක්ෂිත රතනපාල ඤාණරතන නායක ස්වාමින් වහන්සේ වෙයි.

ජාතික කටයුතු පමණක් නොව ජාත්‍යන්තර බෞද්ධ ආගමික කටයුතුවලද නියැලුන උන්වහන්සේ 1990 දී තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවලද වැඩම කරමින් ආගමික කටයුතුවල නිරතවන ලදී.

මෙවැනි ආගමික, ජාතික, ශාසනික සේවාවන් නිසාම මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක සානුනායක විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව වෙතින් හිරියාල හා වෑඋඩ විල්ලි හත්පත්තුවල අධිකරණ සංඝනායක පදවිය ලැබු අතර, වයඹ පළාත් සභාව “ශාසනශුරී” යන ගෞරව සම්මානය පිරිනමන ලදී.

නාහිමිපාණන් වහන්සේ අපවත් වී සැප්තැම්බර් මස 14 දිනට වසර දහයක් ගතවේ. එය නිමිති කරගෙන නාහිමිපාණන්ට පින් අනුමෝදන් කිරීම සඳහා සැප්තැම්බර් මස 8,9,10,11 යන දිනයන්හි ධර්ම දේශනා මාලාවක් සහ අර්ධශතාධික මහා සංඝරත්නය විෂයෙහි මහා සාංඝික දානයක් පූජා කිරීමටත් ඔක්තෝබර් මස 01 දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අභියස සහ රුවන්වැලි මහ සෑය අභියස පින්කම් මාලාවක් පැවැත්වීමටත්, උන්වහන්සේ පැවිදි, ගිහි ශිෂ්‍ය පිරිස හා දායක පිරිස කටයුතු යොදා ඇත.


කලවල ශ්‍රී ඤාණානන්ද නා හිමි

තෙල්දෙණිය මැද මහනුවර ඓතිහාසික රජමහා විහාරස්ථානය බෝමුරේ ශ්‍රී බෝධියංගනාරාමය, මැද මහනුවර පිලැස්ස අත්ථදස්සි බෞද්ධ මධ්‍යස්ථානය , හා රජගල ශ්‍රී සම්බෝධි විහාරය යන විහාරාධිපති හිමියන් වන ශාස්ත්‍රවේදී පණ්ඩිත කලවල ශ්‍රී ඤාණානන්ද හිමියන්ගේ ශාසනික, ආගමික හා සමාජමය මෙහෙවරට උපහාරයක් ලෙස උන්වහන්සේට මල්වතු මහා විහාරීය මහානායක මා හිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසින් ධර්ම කීර්ති ශ්‍රී අත්ථදස්සි ගෞරව නාමය සහිත දෙ දුම්බර ප්‍රධාන සංඝනායක ධුරය පිරි නැමූහ. තෙල්දෙනිය මැදදුම්බර ප්‍රදේශයේ ආගමික, ශාසනික හා සමාජීය වශයෙන් සුවිශාල සමාජ මෙහෙවරක් සිදු කළ උන්වහන්සේ දෙ දුම්බර ලොකු කුඩා කාගෙත් ප්‍රසාදයට හා ගෞරව සම්මානයට පාත්‍ර වූ සංඝ පීතෘන් වහන්සේ නමකි.

තෙල්දෙණිය රඹුක්වැල්ල පිරිවෙනෙහි පරිවෙනාධිපති හිමියන් ලෙස දීර්ඝ කලක් සේවය කළ උන්වහන්සේ දෙදුම්බර ප්‍රදේශයේ විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමකි. උන්වහන්සේ පිරිත් දේශනයෙහි ද දක්ෂ හිමිනමකි.

උන්වහන්සේ වෙත පිරිනමන ලද ගෞරව නාම සහිත අභිනව සංඝ නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම තෙල්දෙණිය ඓතිහාසික මැද මහනුවර රජ මහා විහාරස්ථානයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරිණි.

 

  බිනර පුර අටවක

 බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 9 වනදා සිකුරදා පූර්වභාග 04.19 ට ලබයි. 10 වනදා සෙනසුරාදා පූර්වභාග 06.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 9 වනදා සිකුරාදාය.


මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]