UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලොවෙහි නිර්මිත විස්මිත දායාද

ලොවෙහි නිර්මිත විස්මිත දායාද

අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවට අනුව ලෝකයේ උප්පත්තිය හට ගන්නා ආකාරය පිළිබඳව මූලික ධර්ම කරුණු සාකච්ඡා කරමින් පැමිණි අපි බිනර පුර අටවක පෝදා අද රස තෘෂ්ණාව හේතුවෙන් මානයත්, අවමන් කිරීමත් නිසා පස් පව් දස අකුසල්වලට යොමු වන ආකාරය පිළිබඳව ධර්ම කරුණු පැහැදිලි කර ගනිමු.

භූමි පප්පටකය අනුභව කළ යුගය

වාසෙට්ඨයෙනි, ඒ කාලයේ සත්වයන්ට රස පොළොව අතුරුදහන් වූවාට පසුව භූමි පප්පටකය එනම් බිම් පපඩම් නම් වූ වර්ගයක් පහළ වෙනවා. පොළොවෙහි නා හතු පහළවන්නේ යම් සේ ද? එමෙන් ම මේ බිම් පපඩම් පොළොවේ පහළ වන්නට පටන් ගත්තා. ඒවා පැහැපත් ඒ වගේ ම සුවඳවත්, එලෙසම රසවත්, මොනවට නිපැයූ ගිතෙල් යම් සේද? මොනවට නිපැයූ වෙඬරු යම් සේ ද? මේ පපඩම්වල පැහැයත් ඒ වගේමයි. පිලවුන් නැති දඬුවැල් මී වදයක් වගේ රසයෙන් යුක්තයි. එවිට මෙම සත්වයෝ භූමි පප්පටක හෙවත් බිම් පපඩම් ආහාරයට ගැනීම ආරම්භ කළා. මෙම සත්වයෝ මේවා දිගු කාලයක් ආහාරයට ගන්නා විටත් ඔවුන් අර ආකාරයෙන් ම එනම් සමහර අය පැහැපත්, සමහර අය එසේ නොවේ. එම නිසා රස තෘෂ්ණාව වගේ ම මානයත් සිතේ ඇති කරගෙන ජීවත්වෙන්නට අවස්ථාව සැලසුණා. මෙලෙසින් කාලයක් මෙම බිම් පපඩම් පරිභෝග කරගෙන ආහාරයට ගනිමින්, ආශ්‍රය කරගෙන වාසය කරන විට ඒ අයගේ ශරීරවල තවදුරටත් රළුබවක් ඇතිවෙමින් පැහැය තවදුරටත් අඩුවෙන්නට පටන් ගත්තා. ඇතැම් සත්ව කෙනෙක් අන්‍යයන්ට වඩා පැහැපත් නම්, පැහැපත් නොවූ අය කෙරෙහි පහත් කොට සිතමින් අප මොවුන්ට වඩා පැහැපත් යැයි මානයෙන් යුක්තව සිතමින් පැහැයෙන් අඩු අයට අවමන් කරන්නට පටන් ගත්තා. අධික මානයෙන් යුක්තව තමන්ගේ පැහැය පිළිබඳව සිතමින් කටයුතු කරන්නට පටන් ගැනීම නිසා මෙතෙක් පොළවේ පැවතුණ භූමි පප්පටකය හෙවත් බිම් පපඩම් ද අතුරුදහන් වෙන්නට පටන් ගත්තා.

මානයෙන් අධි මානයට

මනුෂ්‍යයන්ගේ රස තෘෂ්ණාවත්, මානයත් අවමන් කිරීමත් ආදී පවිටු සිතිවිලිවල ප්‍රතිඵල වශයෙන් ජීවත්වීමට ඔවුන්ට උපකාර වූ ස්වභාව ධර්මයෙන් සකස් වූ සාරවත් දේ පවා නිසරු වී අතුරුදහන් වන බව මේ කතා පෙළින් දැන් පැහැදිලි වේ. භූමි පප්පටකය අතුරුදහන් වූ කල්හි බදාලතා නම් වූ වැල් වර්ගයක් පහළ වෙනවා. එයත් පැහැපත්, සුවඳවත් ඒ ලෙසම රසවත් මනාව නිපැයුණු ගිතෙල් හෝ මනාව නිපැයුණු වෙඬරු යම් බඳු ද ඒ වගේ ම පැහැයෙන් යුක්තයි. පිලවුන් නැති දඬුවැලකින් බා ගන්නා ලද මී වදයක් වගේ ම මේ බදාලතාවත් රසවත් වී තිබෙනවා.

වාසෙට්ඨයෙනි, ඒ කල් හි ඒ සත්වයෝ මේ බදාලතාව පරිභෝග කරන්නට පටන් ගත්තා. ඒවාම ආහාර බවට පත්කරගෙන කාලයක් ජීවත්වුණා. මෙලෙසින් මේ සත්වයෝ මේ බදාලතාව පරිභෝගකරමින්, ආහාර කොටගෙන ජීවත්වන විට එම සත්වයන්ගේ ශරීරයේ රළු බව තවදුරටත් රළු බවට පත්වෙමින්, පැහැපත් බව අඩු වෙන්නට පටන් ගත්තා. ඇතැම් සත්වයෙක් තවමත් පැහැපත්ව සිටිනවා. ඒ අය පැහැපත් නැති අයට අප මොවුන්ට වඩා පැහැපත් යැයි පැහැපත් නැති අයට කියන්නට වුණා. මානයෙන් අධිමාන ස්වභාවයට පත් වූ ඒ අයගේ මේ හැසිරීමේ ප්‍රතිඵලයක් හැටියට බදාලතාවත් අතුරු දහන් වන්නට පටන් ගත්තා.

බදාලතාව අතුරුදහන් වූවාට පසුව මේ සත්වයෝ නැවත එක් රැස් වුණා. එක්රැස්ව අපට ඉතාම මිහිරි බදාලතාව පහළ වී තිබුණා. අප ආහාරයට ගත්තා දැන් එයත් නැති වී ගිහිල්ලා. දැන් අප දුකෙන් පසුවන්නේ. අප කැමැති ඉතා මිහිරි දෙයක් කාලයක් පුරා තිබූ දෙයක් දැන් අපට නැතිවෙලා ඒවා කිසිසේත්ම නැවත ලැබෙන්නේ නැහැ. මේ ආකාරයට දුක්වෙන්න පටන් ගත්තා. වර්තමානයේ ද මනුෂ්‍යයන්ට යමක් පැවැතිලා නැතිවෙලා යන විට අපෙන් ඒවා නැතිවුණා යැයි දුක කියන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ අර පැරැණි වංශ කතාව අනුව යමිනුයි. නමුත් වර්තමානයේ එසේ කියන අය පැරැණි වංශ කතාවේ ස්වභාවය දන්නේ ද නැහැ.

ස්ත්‍රී පුරුෂ භේදය ප්‍රකට වූවා

වාසෙට්ඨයෙනි, බදාලතාව අතුරුදහන් වූවාට පසුව මේ මහ පොළොවෙහි කුඩු නැති දහයියා නැති ඇල් සහල් වර්ගයක් පහළ වෙන්නට පටන් ගන්නවා. පොත්ත නැති, පැසුණු, සුවඳවත්, රසවත් සහල්ම පමණක් පවතින ඇල් සහල් විශේෂයකි. මේ සත්වයෝ මේ සහල් වර්ගය පරිභෝග කරනවා. උදේට ඇල් හාල් අරගෙන පරිභෝග කරනවා. හවසටත් පරිභෝග කරනවා. පසුදා උදෑසන සහල් කපා ගන්නට යන විට කපාගත් තැනක් පේන්න නැති ආකාරයෙන්, සොයන්නට බැරි ආකාරයෙන් ම සම්පූර්ණයෙන් ඇල් සහලින් පිරී පවතිනවා. එනම් කපාගත් තැනක් නොපෙනෙන ආකාරයට ම සහල් නැවත හට ගන්නවා.

වාසෙට්ඨයෙනි, එකල්හි එම සත්වයෝ නොසාන ලද බිමෙහි. එනම් වගා කිරීමට පෙර බිම සකස් කිරීමක් නැතිව හටගෙන පැනනැගුණු ඇල් සහල් පරිභෝග කරමින්, එයම ආහාර කොටගෙන බොහෝ කාලයක් ඔවුන් ජීවත්වෙනවා. මෙසේ බොහෝ කාලයක් මේ සත්වයෝ ඇල් සහල් පරිභෝග කරමින් ජීවත්වන විට මෙතෙක් කල් පැවතුණා වූ ප්‍රමාණයටත් වඩා රළු බවට ඔවුන්ගේ ශරීර පත්වෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ කාලයේ දී ස්ත්‍රී පුරුෂ භේදය ඇතිවෙන්නට පටන් ගන්නවා. මෙතෙක් කාලයක් පැවතුණේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සත්වයෝම කියන වචනයෙන් පිරිසක් පමණයි. මේ අවස්ථාවේ දී ස්ත්‍රී පුරුෂ භේදය ඇතිවෙනවා. මෙහි දී ස්ත්‍රීය පුරුෂයා දෙසත් පුරුෂයා ස්ත්‍රිය දෙසත් බොහෝ වෙලාවක් බලාගෙන සිටිනවා. එකම ආකාරයකට ශරීර ඇතිව බොහෝ කාලයක් ජීවත් වූ සත්වයෝ මේ ඇති වූ වෙනස පිළිබඳව ඔවුනොවුන්ට මහත් වූ කුකුසක් ඇති වූවාක් මෙනි. මෙසේ බොහෝ වේලාවක් බලා සිටිය ඔවුන්ට සරාගය පහළවන්නට පටන් ගත්තා. කාය පරිදාහය කයෙහි බැසගන්නට පටන් ගත්තා . එනම් ආශාව නිසා දැවීමක්, පිළිස්සීමක් තරමට කයෙහි ඇතිවෙන්නට පටන් ගත්තා. ඔවුන්ගේ කයේ හටගත් ඒ රාග පරිදාහය හෙවත් රාගයෙන් ඇති වූ පිළිස්සීම, තැවීම නිසා ඔවුන් මෛථුන සේවනයේ එනම් කාම සේවනයේ හැසිරුණා.

ගම නිර්මාණය වූ හැටි

වාසෙට්ඨයෙනි, ඒ කාලයේ යම් සත්ව කෙනෙක් මේ ආකාරයට කාම සේවනයේ හැසිරෙනවා ද මෙය දකින තවත් කෙනෙක්, පිරිසක් වසලිය වැනසෙව කෙසේ නම් සතෙක් සතෙක් හට මෙබන්ඳක් කරන්නේ දැයි කියා පස්, ගොම, අළු වැනි දෑවලින් දමා ගහන්න, ඔවුන් දෙසට විසි කරන්නත් පටන් ගත්තා. අදටත් ඇතැම් ප්‍රදේශවල මිනිසුන් එය කරනවා. ස්ත්‍රියක ගෙනයන ලබන කල්හි අන් කෙනෙක් පස්වලින්, ගොමවලින් දමා ගසනවා. ඒ පැරණි ලොකෝප්පත්ති වංශ කතාව අනුවම වර්තමානයේත් සමහර සත්වයෝ, මනුෂ්‍යයෝ හැසිරෙනවා. නමුත් වංශ කතාවේ මුල් අදහස ඔවුන් දන්නේ නැහැ.

මෙහි දී අපට පැහැදිලි කරුණක් පවතිනවා. එනම් මනුෂ්‍යයන් මනුෂ්‍යයන් දෙස තරහයෙන් බලන්නත් ඊර්ෂ්‍යා කරන්නත්, ගහන්න, බනින්නත් ආරම්භය සකස් වන්නේ කාම රාගය හා සමගිනුයි. කාම රාගය නිවා ගන්න යෑමෙන් ඔවුනොවුන් කෙරෙහි ඇතිවන භේදය අමනාපය හා පහරදීම් ආරම්භවන බව පැහැදිලියි. සත්ව ලෝකයේ ද බොහෝ විටක වර්තමානයේ අප දකින කරුණක් තිබේ. සුනඛයන්ගේ ලෝකය පවා බොහෝ විටක සුනඛයන් දබර කර ගන්නේ ඔවුනොවුන් වර්ගයා බෝ කරන්නට අවස්ථාව සලසා ගන්නා විටයි.

මෙය තවදුරටත් පැහැදිලි කළොත් එය මෙසේයි. එසේ හැසිරීම එනම් මෙවුන් දම් සෙවීම මුල දී අධර්මයක් යට අධර්මයක් ලෙස සම්මත වූවත් පසුව එය ධර්මය හැටියට එනම් පිළිගත් දෙයක් හැටියට සම්මත වන්නට පටන් ගත්තා. ඒ අය බොහෝ කාලයක් එසේ හැසිරෙන විට යම් විටක එය අසත් ධර්මය යැයි සිතා එය නොකළ යුතු බවට සිතිවිලි සකස් වුණා. අන්න ඒ නිසා බොහෝ කෙනෙකුට නොපෙනීම පිණිස ඔවුන් නිවාස තනන්නට පටන් ගත්තා. එනම් අසත් ධර්මය වසාලීම පිණිස ඔවුන් ආවරණ ඇති ගෙවල් නිර්මාණය කරන්න පටන් ගත්තා.

ඇල් සහල් - ඇල් වී බවට

වාසෙට්ඨයෙනි, ඒ කාලයේ එක්තරා අලසගති ඇති සත්වයෙක් උදේ ආහාරය පිණිස උදෑසන ද, සවස ආහාර පිණිස සවස් කාලයේ ද ඇල් සහල් ගෙන ඒමට මම කුමන කරුණක් නිසා වෙහෙසෙන්නේ දැයි සිතා උදේට සහ සවසට හෙවත් දෙපාරටම අවශ්‍ය ඇල් සහල් එකවරම ගෙන ආවොත් හොඳ යැයි සිතා එසේ කිරීමට පටන් ගත්තා. එකල්හි එක්තරා සත්වයෙක් දෙපාරටම ඇල් සහල් රැගෙන ආ සත්වයා වෙතට ගොස් එන්න අප ඇල් සහල් ගෙන ඒමට යමු. එවිට මට එසේ යෑමට අවශ්‍යතාවයක් නැත. මා දෙපාරටම එකවර එක විට ම ගෙන ආවා. එවිට ඇල් සහල් ගෙන ඒමට යෑමට ආරාධනා කළ සත්වයා විසින් එකවරම දෙවේලටම ඇල් සහල් ගෙන ආ පුද්ගලයාගේ ස්වභාවයම අනුගමනය කරමින්, මමත් එසේ කරමියි, දෙවරක් නොගොස් එක්වරම ඇල් සහල් ගෙන ආවා. එක්තරා කාලයක දී එක්තරා සත්වයෙක් දවස් දෙකකට පමණ සෑහෙන ඇල් සහල් ගෙන ආවා. තව සත්වයෙක් ඇල් සහල් ගෙන ඒමට යමුයි කියා ආරාධනා කරනවා. එවිට මට එන්නට අවශ්‍ය නැහැ. මම දවස් දෙකකට පමණ ප්‍රයෝජනවත් වන ඇල් සහල් එක විටම ගෙන ආවා යැයි සඳහන් කරනවා. වාසෙට්ඨයෙනි, ඒ සත්වයාත් එනම් ඒ පුද්ගලයාත් අර දවස් දෙකකට ම සෑහෙන ඇල් සහල් එක විටම ගෙන ආ පුද්ගලයාම අනුවම ක්‍රියා කරන්න පටන් ගන්නවා. මේ ආකාරයට එක විට තුන් දිනකට, සතර දිනකට ආදී වශයෙන් බොහෝ දිනවලට ප්‍රමාණවත් වන ආකාරයට ඇල් සහල් ගෙන එන්නට සත්වයෝ පටන් ගත්තා. මේ ආකාරයෙන් සත්වයෝ යම් කලෙක ඇල් සහල් රැස් කොට තබාගෙන පරිභෝග කරන්නට පටන් ගත්ත ද,

එකල්හි අර තවත් පොතු එනම් දහයියාත් නැතිව මෙතෙක් කල් පැවතුණ ඇල් සහල්වල පොතු එනම් දහයියා ද සහිත ඇල් වී ඇතිවෙන්නට පටන් ගත්තා. ඔබට මතක ඇති මේ කතාව මුල දී සඳහන් කළ සවස ඇල් සහල් කපාගත් විට ඊළඟ දවස උදෑසන වන විට කැපූ තැනක් නොපෙනෙන ආකාරයෙන් ඇල් සහල් වැඩුණා. නමුත් දැන් ඇල් සහල් කපාගත් තැන යළි වැඩුණේ නැහැ. සමහර තැනක වැඩුණ ද ඉතාම ඌනව එනම් ඉතාම අඩුවෙන් වැඩෙන්නට වූ අතර ඇල් සහල් පවා වෙනදා ස්වභාවයට නැතිව ඉතාම දුර්වලව වැඩෙන්නට වූවා.

තවත් කොටසක් බිනර පුර පසළොස්වක පෝදා සැප්. 16 දා පත්‍රයේ පළවේ.

 

  බිනර පුර අටවක

 බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 9 වනදා සිකුරදා පූර්වභාග 04.19 ට ලබයි. 10 වනදා සෙනසුරාදා පූර්වභාග 06.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 9 වනදා සිකුරාදාය.


මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]