UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මනුෂ්‍යයාට ඇති විපත් මොනවාද?

මනුෂ්‍යයාට ඇති විපත් මොනවාද?

මිනිසාට ඇති බරපතල විපත් තුනක් අංගුත්තරනිකායේ තිකනිපාතයෙහි දක්වා ඇත. ඉන් පළමුවැන්න නම් සීල විපත්තියයි. කතමාච භික්ඛවෙ සීලවිපත්ති?

මහණෙනි, සීලවිපත්ති යනු කුමක්ද? ඉධ භික්ඛවෙ ඒකච්චෝ පාණාතිපාතී හෝති, මහණෙනි, මෙලොව ඇතැමෙක් ප්‍රාණඝාතය කරන්නේ වෙයි. අදින්නාදායී හෝති, සොරකම් කරන්නේ වෙයි. කාමේසු මිච්ඡාචාරී හෝති, කාමයෙහි වැරැදි ලෙස හැසිරෙන්නේ වෙයි.මුසාවාදී හෝති, බොරු කියන්නේ වෙයි. පිසුණාවාචෝ හෝති, කේළම් කියන්නේ වෙයි. ඵරුසාවාචෝහෝති, පරුෂ වචන කියන්නේ වෙයි. සම්ඵප්පලාපී හෝතී, දෙලොවටම නැති හිස්වචන කියන්නේ වෙයි. අයං වුච්චති භික්ඛවේ සීලවිපත්ති මහණෙනි, මේ සීලවිපත්තියි කියනු ලැබේ.

කතමාච භික්ඛවෙ චිත්තවිපත්ති? මහණෙනි, චිත්ත විපත්ති යනු කුමක්ද? ඉධ භික්ඛවෙ එකච්චෝ අභිජ්ඣාලූ හෝති, මහණෙනි, මෙලොව ඇතැමෙක් අභිධ්‍යා බහුල වෙයි. අභිධ්‍යා යනු අන්සන්තක දේපල වස්තු කෙරෙහි ඇතිවන ආශාවයි. ව්‍යාපන්නචිත්තෝ හෝති ව්‍යාපාදයට පත් සිතැත්තේ වෙයි. ව්‍යාපාදය යනු දැඩි ක්‍රෝධයයි හෙවත් බද්ධ වෛරයයි. සරලව කියනවා නම් තරහ මරහ කේන්ති සහගත සිතයි. අයං වුච්චති භික්ඛවෙ චිත්තවිපත්ති. මහණෙනි, මේ චිත්ත විපත්තියයි කියනු ලැබේ.

කතමාච භික්ඛවෙ දිට්ඨිවිපත්ති?මහණෙනි, දිට්ඨිවිපත්ති යනු කුමක්ද? ඉධ භික්ඛවෙ එකච්චෝ මිච්ඡාදිට්ඨිතො හෝති.මහණෙනි, මෙලොව ඇතැමෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මිථ්‍යාදෘෂ්ටි යනු, සම්‍යග් දෘෂ්ටි දසයේ විරුද්ධ පැත්තයි. එනම් දසවත්ථුක මිච්ඡාදිට්ඨියයි.

දෙන ලද දෙයෙහිවිපාක නැත. (නත්ථි දින්නං) මහත් පූජාවන්හි විපාක නැත. (නත්ථි යිට්ඨං) තමා වෙතට කැඳවා දෙන ලද දෙයෙහි විපාක නැත. (නත්ථි හුතං) යමකු විසින් කරනු ලබන හොඳ නරක ක්‍රියාවන්හි විපාක නැත. (නත්ථි සූකට දුක්කටානං කම්මානං ඵලං විපාකො) මෙලොවක් නැත. (නත්ථි අයං ලොකො) පරලොවක් හෙවත් මතු උපතක් නැත. (නත්ථි පරලොකො) මවට උවටැන් කිරීමෙහි හෝ නොකිරීමෙහි හෝ හිංසා පීඩා කිරීමෙහි විපාක නැත. නොහොත් මවය කියා කෙනෙක් නැත. (නත්ථි මාතා) පියා ගැනත් එසේම සැලකීම (නත්ථි පිතා) ඕපපාතිකව උපදින සත්හු නැත. (නත්ථි සන්තා ඕපපාතිකා) තමාගේ උසස් ඤාණයෙන් මෙලොවත් පරලොවත් තමා විසින්ම මැනවින් ප්‍රත්‍යක්ෂ කොට දැන ප්‍රකාශ කරන, මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි නැත(නත්ථි ලෝකේ සමණ බ්‍රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා සේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්ති) ආදී වශයෙන් සැලකීම දස වත්ථුක මිච්ඡාදිට්ඨියයි.

“සීලවිපත්ති හේතුවා, චිත්තවිපත්ති හේතුවා දිට්ඨිවිපත්ති හේතුවා සින්තා කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නීරයං උප්පජ්ජන්ති” මහණෙනි, සීල විපත්ති හේතුකොටගෙන හෝ චිත්ත විපත්තිය හේතුකොටගෙන හෝ දිට්ඨි විපත්තිය හේතුකොට ගෙන හෝ සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරුගති ඇති විනාශයට පැමිණේ. නිරයෙහි උපදිත් මහණෙනි, මේ වනාහි විපත්ති තුන නම් වෙත්.

මෙම සීලවිපත්ති සූත්‍ර දේශනාවෙන් පෙන්වා දුන් කරුණු කෙරෙහි ඔබේ දැඩි අවධානය යොමුකොට ඉන්මිදී මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සුවපත් කරගන්නට තරයේ අදිටන් කරගනු මැනවි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

 

  බිනර පුර අටවක

 බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 9 වනදා සිකුරදා පූර්වභාග 04.19 ට ලබයි. 10 වනදා සෙනසුරාදා පූර්වභාග 06.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 9 වනදා සිකුරාදාය.


මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]