UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 33: ජටිල දමනය සහ භික්ෂු සමාජයේ වර්ධනය

බුදුපිළිමයේ උපත - 33:

ජටිල දමනය සහ භික්ෂු සමාජයේ වර්ධනය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා M sc පර්යේෂණ

''බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාගේ හිතසුව පිණිස හැසිරෙන සැටනමක් මහ රහතන් වහන්සේලා සද්ධර්මචාරිකාවේ වඩින ලෙසින් වදාළ සේක. එකමඟක නොයන ලෙසින් ද එම භික්ෂූන්වහන්සේලාට වදාළ බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව් ප්‍රදේශයට වැඩම කළේ ද, සෑම රහත් නමක් විසින් සිදු කිරීමට නියමිත වූ සදහම් පණිවිඩය ජනතාව අතර පතළ කිරීමේ අරමුණ ඇතිවමය. මෙයින් පසුව භද්දවග්ගිය කුමාරවරුන් තිස් දෙනෙකු හා එම භාර්යාවන් පිළිබඳ කතාවද උරුවෙල කස්සප, ගයා කස්සප හා නදි කස්සප යන ජටිලයන් දමනය කිරීමේ අවස්ථා ද බුදු සිරිතෙහි සඳහන් වී ඇත්තේ මෙසේ ය.

වර්ෂා කාලයෙහි සංචාරයෙන් තොරව විසූ බුදුරජාණන් වහන්සේ පෙරළා උරුවේලාව (උරුවෙල් දනව්ව) බලා වැඩියෝය. මගදී බුදුරජාණන් වහන්සේට ධනවත් තරුණයන් තිස් දෙනෙක් හමු වූහ. ඔවුහු තම බිරියන් සමඟ උයන් ක්‍රීඩා කරමින් සිටියහ. එයින් එක් අයෙකුට බිරියක් නැත. ඔහු සඳහා ගණිකාවක් ගෙනෙන ලද්දීය. ඔවුන් එළඹ සිටි සිහියෙන් තොර වූ කල්හි ගණිකා තොමෝ ඔවුන් සතු දෑ රැගෙන පළා ගියා ය. ඇය සොයන්නට වූ ඔවුහු බුදුරජාණන් වහන්සේ දැක බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ මෙසේ විචාළේ ය.

ස්වාමීනි, ස්ත්‍රියක දුටු සේක්ද? එවිට බුදුරජාණන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක. ‘කුමාරවරුනි’! ඔබලාට වඩා හොඳ ස්ත්‍රියක සොයා යෑමද? එසේ නැතහොත් තමන්ම සොයා යෑමද? “අපම සොයා යෑම වඩා හොඳයි” ස්වාමීනි, ඔවුහු පිළිතුරු දුන්හ. (බුද්ධ චරිතය – මහාචාර්ය සුචරිත ගම්ලත් පි. 255 – 2012)

ඒවේලෙහි ස්වාමිදරුවෝ (බුදුරජාණන් වහන්සේ) එබැවින් තෙපි තොප සොයනු කැමතියා නම් හෙළ සේ හිඳුවයි වදාරා ඔවුන් එකත් පස්ව උන්කල්හි අනුරූප වූ බණ වදාරා ඒ කුමාරවරුන් තිස්දෙනා සතරමග සතර ඵලයෙහි පිහිටුවා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි කොට ඒ භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට ‘මහණෙනි, තෙපි තිස් දෙනද තිස් මාර්ගයක ගොසින් දුටු දුටු සත්වයන්ට සත්වයෙනි, බුදුරුවන, දම්රුවන් සහ සඟරුවන් පහළ විය. ඒ සර්වඥ නමැති මහා මේඝය පැන නැගී සදහම් නමැති අමා වැසි වස්වා විනෙය ජන නමැති ඇල් කෙත සතුටු කරවමින් සිටියේ ය. අපාය මාර්ගයෙහි අකුල් එලමින් සිටියේ ය. නිවන් මග එළවෙමින් සිටියේ ය. යනාදීන් බුදුගුණ කියා ලෝ වැඩ කරවයි වදාරා ඒ තිස් දෙනා තිස් මාර්ගයෙක යැවූ සේක.

මෙසේ ලෝකයෙහි එකානුවක් රහත් සඟුන් ඇති වූ කල මාගේ ස්වාමිදරුවෝ (බුදුරජාණන් වහන්සේ) උරුවේලා නම් දනව්වට වැඩි සේක. එහි නිල්තලා නම් ගංතෙර උරුවෙල කාශ්‍යපය, නදී කාශ්‍යපය, ගයා කාශ්‍යපය යන තුන් බෑ කෙනෙක් රහතුම්හයි කියා මිථ්‍යා දෘෂ්ටි ගෙන ලෝවැස්සන් වංචාවෙන් පහදවා ලාභයෙහි යශසයෙහි අග්‍රව වෙසෙති. (පූජාවලිය පි. 226)

“අනුක්‍රමයෙන් චාරිකාවේ යෙදුණු භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් චාරිකා චරණයට මෙහෙයවා උරුවේලාවට (උරුවෙල් දනව්වට) වැඩම කළහ. එසමයෙහි උරුවේලාවෙහි ශිෂ්‍යයන් පන්සීයයක් ඇති උරුවෙල කස්සප ශිෂ්‍යයන් තුන්සියයක් ඇති නදී කස්සප, ශිෂ්‍යයන් දෙසීයක් ඇති ගයා කස්සප සහෝදර ජටිලයෝ තිදෙනෙක් වාසය කළහ. මොවුහු බොහෝ ශිෂ්‍යයන්ට ගණාචාර්යව ගිනි පිදීම, දියෙහි බැස උදක ශුද්ධිය ලැබීම වැනි වත් පිළිවෙත් හි නිරත ජටාධාරි තාපස පිරිසක් බව සඳහන් වේ. මේ හැමට ප්‍රධාන උරුවේල කස්සපගේ ආශ්‍රමයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඔහුගේ අවසරය ඇතිව එහි නවාතැන් ගත්හ. මෙහිදී බුදුරජාණන් වහන්සේට ජටිල නායකයාගේ වාද, විවාද අභියෝග රාශියකට මුහුණ පාන්නට සිදුවිය. අවසානයේ භාග්‍යවතුන් වහන්සේ සමඟ සාකච්ඡාවලින් ප්‍රසාදයට පත් උරුවෙල කස්සප ශිෂ්‍යයන් සමඟ ජටාමඬුලු කෙස් මඬුලු, තවුස් පිරිකර ගිනිපිදීමේ උපකරණ සියල්ල ගඟට දමා පැවිදි උපසම්පදාව ලබා ගත්තේ ය. ගඟෙහි පාවී යන තවුස් පිරිකර හැඳිනගත් ගඟ පහළ පෙදෙසෙහි අසපුවල සිටි නදී කස්සප, ගයා කස්සප දෙසොහොයුරෝ සිය දෙටු සොහොයුරාට කවර විපතක් වී දැයි සොයා ගියහ. තතු පවත් දත් ඔවුහු ද සියලු ශිෂ්‍යයන් සමගින් භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි උපසම්පදාව ලැබූහ. දහස ඉක්මවූ මේ සියලු ජටිල භික්ෂූන් වහන්සේලා පසුව ආදිත්ත පරියාය ධර්මය අසා රහත් වූහ. (මහා වග්ගපාලි, මහා බන්ධක පි. 72 )

මහා වග්ගපාලියෙහි සඳහන් මෙම විස්තරයෙහි උරුවෙල කස්සපගේ ආශ්‍රමයේ නවාතැන් ගත් භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ අභියෝගවලට මුහුණදීම, මානය බිඳ දැමීම පිණිස ප්‍රාතිහාර්යය රාශියක් දැක් වූ බව සඳහන් ය. සෘද්ධි ප්‍රාතිහාර්ය දැක්වීම පිළිබඳ කතා බුද්ධ චරිතය අත්භූත ආශ්චර්යත්වයට පත් කිරීමේ ප්‍රයත්නයකැයි කෙනෙකුට සිතිය හැකිය. ඉද්ධිවිධඤාණය නොලත් කෙනෙකුට ඒ පිළිබඳ විමති ඇති කිරීම පහසුය. සෘද්ධි ප්‍රාතිහාර්ය පෑමේ ශක්තිය එකකි. එය දැක්වීම හෝ නොදැක්වීම අනිකකි. ප්‍රාතිහාර්ය පෑමෙන් වළකින ලෙස ශ්‍රාවකයන්ට නියම කළේ සෘද්ධි ශක්තිය ඇතිව ඒවා ප්‍රදර්ශනය කරන භික්ෂූන් සිටි හෙයිනි. සංඝ සමාජයේ පැවැත්මට ඉවහල්වන නීති, කරුණක් ඇතිවම පැනවීම බුදුරජාණන් වහන්සේගේ පිළිවෙලයි. ඒ අනුව සෘද්ධි ශක්තිය අද්භූතත්ත්වය ආරෝපණය කිරීමක් නොව විද්‍යාමාන මනෝමය ශක්තියක් දැක්වීමකි. ඉද්ධිවිධ ඤාණය භාවනා මඟින් සිත දියුණු කොට උපදවන්නකි. (බුදුන් වදාළ බුද්ධ චරිතය – මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි සහ කීර්ති නාරම්පනාව. පි. 122 – 1999)


පසුගිය සතියෙන්: බුදුපිළිමයේ උපත - 32: බරණැසින් ඇරඹූ සදහම් මහා චාරිකාව

 

  බිනර පුර අටවක

 බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 9 වනදා සිකුරදා පූර්වභාග 04.19 ට ලබයි. 10 වනදා සෙනසුරාදා පූර්වභාග 06.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 9 වනදා සිකුරාදාය.


මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]