UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී මහා බෝධි පුරාණය-12: සුධර්මා රහත් තෙරණිය ලක්දිවට වැඩම වූ නුග බෝධින් වහන්සේ

සුධර්මා රහත් තෙරණිය ලක්දිවට වැඩම වූ නුග බෝධින් වහන්සේ

''මේ මහා භද්‍ර කල්පයේ තෙවනුව පහළ වූයේ ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ බුදුරජාණන් වහන්සේ ය.සකල ලෝක සත්ත්වයාට අනුකම්පා ඇති සියල්ල මැනවින් දත් උන්වහන්සේ දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වූ සේක. ඒ කාලයේ මහමෙවුනා උයන හැඳින්වූයේ “මහාසාගර උද්‍යානය” ලෙසය. ඒ උයනේ බටහිර දිසාවටදෙසට “විශාලා” නමින් නගරයක් විය. ඒ කාලයේ රජ කළ රජු හැඳින්වූයේ ජයන්ත. යන නමිනුයි. මේ ලංකාද්වීපය ඒ කාලයේ “මණ්ඩලදීප” නමින් හැඳින්වීය.

ඒ යුගයේ ජයන්ත රජුන් සහ රජුගේ සොහොයුරා අතර සත්ත්වයන්ට හිංසාව ඇතිවන මහත් භයානක යුද්ධයක් ඇතිවී තිබුණි.මහා කාරුණික වූ ඒ කාශ්‍යප නම් වූ දසබලධාරී මුනීන්ද්‍රයන් වහන්සේ ඒ යුද්ධය නිසා ප්‍රාණීන්ට සිදුවූ මහත් වූ විපත්තිය දැක වදාළේය. ඒ යුද්ධය සංසිඳවා මනුෂ්‍යයන් හට විනයත්, කාශ්‍යප බුදු සසුනෙහි පැවැත්මත් පිණිස මේ ද්වීපය කෙරෙහි උපන් කරුණා බල නිසාවෙන් විසි දහසක් රහතන් වහන්සේ පිරිවරින් යුක්ත කොට සභකූට නමැති පර්වතය මතට සෘද්ධි බලයෙන් අහසින් වැඩි සේක.


මහා සෘද්ධිමත් වූ සුධර්මා රහත් මෙහෙණින් වහන්සේ කිකී රජුන් ලවා සිරියල් නුග බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාවට රේඛාවක් ඇන්ඳවීය. එවිට ඒ දකුණු නුග මහබෝ ශාඛාව බෝධීන් වහන්සේගෙන් වෙන්වී ගොස් රන් කටාරමේ පිහිටියේ ය

නරේශ්වරයෙනි, ඒ කාශ්‍යප මුනීශ්වරයන් වහන්සේ මණ්ඩදීපවාසි සියලු මිනිසුන් අද මාව හොඳින් දකිත්වා යි එහි සිට අධිෂ්ඨාන කොට වදාළ සේක. ඒ වගේ ම මා වෙතට එන්නට කැමැති සියලු මනුෂ්‍යයන් ඉතා සුවසේ ඉක්මනින් ම පැමිණෙත්වා” යි කාශ්‍යප මහා මුනීන්ද්‍රයන් වහන්සේ අධිෂ්ඨාන කළ සේක. බුද්ධ රශ්මි මාලාවෙන් බබළන කාශ්‍යප බුදුරජාණන් වහන්සේත්, ඒ බුදු රැසින් දිලිසෙන සුභකූ පර්වතයත් දුටු ජයන්ත රජුත් නුවර වැසියෝත් වහාම එතැනට පැමිණියේ ය.

යුද්ධයේදී තම තමන්ගේ පක්ෂයට ජය ලබා ගැනීම පිණිස දෙවියන්ට භාරහාර වෙන්නට සුභකූට පර්වතයට බොහෝ ජනයා පැමිණ සිටියේය. ශ්‍රාවක සංඝයා වහන්සේ සහිත ලෝකනාථයන් වහන්සේ දුටු ඔවුන් සිතුවේ දේවතාවුන් වහන්සේ ඇස් පනාපිට ම වැඩම කොට සිටින බවකි. යුද්ධයට පැමිණ සිටි රජුන් සහ ඒ කුමාරයා මහත් විස්මයට පත්වී යුද්ධය අත්හැරියේ ය. ජයන්ත රජුන් අතිශයින් ම සතුටට පත්ව කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ගෞරවාදරයෙන් වන්දනා කොට දානය පිණිස ආරාධනා කර සිටියේ ය. විසාලා පුරයට ආසන්නයේ පිහිටි “මහාසාගර” වනෝද්‍යානයට වැඩමවාගෙන ගොස් සංඝයා වහන්සේ සහිත වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට වැඩහිඳීමට කැපසරුප් ආකාරයෙන් උතුම් ආසනයන් පිළිවෙල කරවීය.

රුවන්මැලි මහාසෑය පිහිටන උස් භූමිය උන්වහන්සේට බාධා රහිතව සුවසේ වැඩ හිඳින්නට පුළුවන් රමණීය ස්ථානයක් බව සිතා කරවන ලද රම්‍ය වූ මණ්ඩපයේ උතුම් ආසනවල සංඝයා සහිත වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජයන්ත රජතුමා මෙතැන වඩා හිඳෙව්වේය. සංඝයා සහිත වූ බුදුරජාණන් වහන්සේ වැඩ හිඳින ආකාරය දකින ලද මණ්ඩපදීවාසී මනුෂ්‍යයෝ සතර අතින් ම තෑගි භෝග තුටු පඬුරු පිරිකර රැගෙන ආවේය. රජතුමා තමන් වෙනුවෙන් පිළියෙල කළාවූත්, මිනිසුන් විසින් ගෙනාවාවූත් ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් ගෙන සංඝයා සහිත වූ බුදුරජාණන් වහන්සේට දානය පිළිගැන්වීය.

එම ස්ථානයේදීම දානයෙන් පසුවත් වැඩහුන් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට ජයන්ත රජතුමා මහාසාගර උද්‍යානය උතුම් දානයක් වශයෙන් පූජා කළේය. ඒ අවස්ථාවේ මහාසාගර වනය අකාලයේ පිපී ගිය මලින් අලංකාර වුණි. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ එය පිළිගනිද්දී මහාපොළොව කම්පා වුණි. එතැනම වැඩහුන් ලෝකනාථයන් වහන්සේ ධර්ම දේශනා කොට වදාළේය. ඒ දෙසුම අවසානයේ විසිදහසක් මනුෂ්‍යයෝ මාර්ගඵලාවබෝධයට පත්වුණි.

සුධර්මා භික්ෂුණිය නුග බෝධිය වැඩම වීම

මහාසාගර වනයේ දිවා විහරණය කළ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ සවස යාමයේදී කලින් බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ පිහිටි ස්ථානයට වැඩම කළේය. එතැන වැඩහුන් සම්බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදුන සේක. සමාධියෙන් නැඟී සිටි භාග්‍යවතුන් වහන්සේ මණ්ඩදීපවාසීන්ට හිත පිණිස වූ කාරණාවක් සිතා වදාළ සේක. එනම් මාගේ බෝධිය වන නුගබෝධි වෘක්ෂයෙන් දකුණු ශාඛාවක් රැගෙන සුධර්මා භික්ෂුණිය භික්ෂුණීන් වහන්සේත් සමඟ මෙහි පැමිණෙත්වා යි යන කාරණාවයි. එසැණින් ම සුධර්මා රහත් මෙහෙණින් වහන්සේ දඹදිව බරණැස් නුවර කිකී නමැති රජුට මෙම කරුණ දන්වා වදාළේය. කිකී රජුන් සමඟ නුග බෝධීන් වහන්සේ අසළට වැඩම කළේය. මහා සෘද්ධිමත් වූ සුධර්මා රහත් මෙහෙණින් වහන්සේ කිකී රජුන් ලවා සිරියල් නුග බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාවට රේඛාවක් ඇන්ඳවීය. එවිට ඒ දකුණු නුග මහබෝ ශාඛාව බෝධීන් වහන්සේගෙන් වෙන්වී ගොස් රන් කටාරමේ පිහිටියේ ය.

මහරජතුමනි, පන්සියයක් රහත් මෙහෙණින් වහන්සේ පිරිවරාගත් සුධර්මා භික්ෂුණිය නුග මහබෝ ශාඛාවත් රැගෙන සෘද්ධියෙන් මෙහි වැඩමවා දේවතාවුන් වහන්සේ පිරිවරාගෙන කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ දිගු කොට වදාළ දකුණු ශ්‍රී හස්තය මත බෝධි ශාඛාව සහිත ඒ රන් කටාරම තැබුවේය. එය ගත් තථාගතයන් වහන්සේ බෝධින් වහන්සේ පිහිටුවනු පිණිස ජයන්ත රජුන්ට ලබා දුන්නේය. ජයන්ත රජුන් මහාසාගර උයනෙහි බෝධීන් වහන්සේ රෝපණය කළේ ය. ඒ බෝධි රෝපණයෙන් පසු එතැනින් වැඩම කළ කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ නාගමාලකයට උතුරින් පිහිටි අසෝක මාලකයෙහි වැඩ හිඳ එහි රැස් වූ ජනයාට ධර්ම දේශනා කොට වදාළේය. මහරජතුමනි, ඒ ධර්ම දේශනාව අසා එහි සිටි හාරදහසක් සත්ත්වයන් හට ධර්මාවබෝධය ඇතිවුණි.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දඹදිවට වැඩම කිරීම

පෙර බුදුවරයන් වහන්සේ වැඩහුන් නගරයට උතුරු දෙසින් ථූපාරාමය පිහිටන තැන වැඩ හිඳ සමාධියට සමවැදුනේය. සමාධියෙන් නැඟිට එතැන රැස්ව සිටි පිරිසට කාශ්‍යප සම්බුදු රජාණන් වහන්සේ ධර්ම දේශනා කොට වදාළේය. ඒ අවස්ථාවේදී දස මසක් සත්ත්වයන් මාර්ගඵලාවබෝධයට පත්වුණි. මිනිසුන්ට වන්දනාමාන කිරීම පිණිස තමන් වහන්සේ පරිහරණය කළ නහනාකඩ ධාතුන් වහන්සේ දී වදාළ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ පිරිවර සහිත වූ සුධර්මා භික්ෂුණිය මේ මණ්ඩදීපයෙහි විසාලා පුරයෙහි වැඩවාසය කරන්නට සැලැස්සුවේය. තම ශ්‍රාවක සබ්බනන්දි රහතන් වහන්සේ ද දහසක් රහතන් වහන්සේ සමඟ නදියෙන් මෙතෙර වැඩ වාසය කරන්නට සලස්වා සම්බුදුරජාණන් වහන්සේ එතැනින් නැඟෙනහිර දෙසින් පිහිටි සුදර්ශන මාලකයෙන් නික්ම සෝමනස්ස මාලකයේ දී ජනයාට ධර්මයෙන් අනුශාසනා කොට කාශ්‍යප මුනිඳුන් වහන්සේ සංඝයා වහන්සේ සමඟ අහසට පැන නැඟී දඹදිවට වැඩි සේක.

මේ ආකාරයට අතීත තොරතුරු වදාළ මිහිඳු මහරහතන් වහන්සේ මෙසේ ද වදාළ සේක. මහරජතුමනි, මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනිව ශ්‍රී සම්බුද්ධත්වයට පත්වී වදාළේ අපගේ ගෞතම භාග්‍යවතුන් වහන්සේය. සියලු ධර්මයන් මනාව අවබෝධ කළ සකල ලෝක සත්ත්වයා කෙරෙහි මහත් දයානුකම්පා ඇති උන්වහන්සේ දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක.

දෙව් මිනිසුන්ට උතුම් වූ ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ මහාමේඝ වනයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රෝපණය වන භූමියේ පන්සියයක් මහරහතන් වහන්සේ සමඟ සමාපත්ති සුවයෙන් වැඩසිටි සේක.

මේ ආකාරයට මේ මහා භද්‍ර කල්පයේ පහළ වී වදාළ සතර බුදුරජාණන් වහන්සේ ම පරිභෝග කළ, වැඩසිටි ඒ සඳහා විවරණ ලද භූමිකයි ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සඳහා ඉඩකඩ වෙන්වූයේ. ඒ වගේම සෑම බුද්ධ ශාසනයකම බෝධින් වහන්සේ වැඩම කරවීම භික්ෂුණියන් අතින් සිදුවුණි. රජවරු විසින් අතිශයින් ගෞරවයෙන් බෝධින් වහන්සේ රෝපණය කළේය. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හැරෙන්නට පෙර බුද්ධ ශාසන වලදී බුදුරජුන් ඉදිරිපිට දීමයි බෝධින් වහන්සේ රෝපණය වූයේ. නමුත් අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවත් බෝධින් වහන්සේගේ උතුම් දක්ෂිණ ශාඛාව ලක්්දිවට වැඩම කිරීමට අවශ්‍ය සියලු අධිෂ්ඨාන සිදුකොට වදාළේය. ඒ අධිෂ්ඨාන ඒ අයුරින්ම සිදුවුණි. අප ඉදිරියේ දී ඒ උතුම් ඇසතු බෝ රජුන්ගේ දක්ෂිණ ශාඛා බෝ රජුන් සංඝමිත්තා රහත් තෙරණිය වැඩම වූ අපූරු විස්තරය ඉගෙන ගනිමු.


පසුගිය සතියෙන්: ශ්‍රී මහා බෝධි පුරාණය-11: කණකදත්තා රහත් තෙරණිය ලක්දිවට වැඩම වූ දිඹුල් බෝධීන් වහන්සේ

 

  බිනර පුර අටවක

 බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 9 වනදා සිකුරදා පූර්වභාග 04.19 ට ලබයි. 10 වනදා සෙනසුරාදා පූර්වභාග 06.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 9 වනදා සිකුරාදාය.


මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]