UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

කෝට්ටේ දේවානන්ද මා හිමි

කෝට්ටේ දේවානන්ද මා හිමියන් අපවත් වී 2016 අගෝස්තු 14 වැනි දිනට වසර විසිහයක් සපිරෙයි. උපතින්ම ලත් සෞම්‍ය බුද්ධපුත්‍රයකු වීමෙන් වඩාත් සුපුෂ්පිතව තහවුරු කළ උන්වහන්සේ තම භික්ෂු ජීවිතයේ උතුම් ශාසනික පරමාර්ථ මුදුන්පත් කර ගැනීමට කටයුතු කිරීමත් ‘තමාගේ ජීවත්වීම අනෙකාගේ සැපය සඳහා විය යුතුයි’ යන ස්ව චින්තනය මත පරාර්ථ චරියාවෙහි යෙදෙමින් පොදුජන සේවය සඳහා ජීවිතය කැපකිරීමත් යන මෙහි උභයාර්ථයෙන්ම නො හිස්වූ අපිස් ජීවිතයක් ගත කළ සදාතනිකවම අගය කළ යුතු පැවිදි උතුමෙකි.

සිරි ජයවර්ධනපුර කෝට්ටේ දී 1918 ජනවාරි පළමුවැනි දින මෙලොව දැක කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් මූලික අධ්‍යාපනය ලබන කාලයේ සිට කුඩා දරුවකු ලෙස පිනට දහමට ලැදිව කටයුතු කළ මෙතුමා කල්යත්ම තරුණ පිරිස් සම්බන්ධ කරගෙන “ශ්‍රී සුසිලෝදය වීර පෙරමුණ” යන නමින් සමිතියක් පිහිටුවාගෙන සමාජ සුබසාධක කටයුතුවල නිරතවූහ. බටහිර ඖෂධවේදී විභාගයෙන් සමත්ව සිටි තරුණයා ඖෂධවේදියකු වශයෙන් තම වෘත්තියෙන් ලැබූ වේතනය පවා වැඩියක් ම කැපකළේ පොදු යහපතටය. පුරා වසර 42 ක් මුළුල්ලේ දීප්තිමත් ගිහි ජීවිතයක් ගෙවූ නමුත් අනගාරික ජීවිතයක ලක්ෂණ තම ජීවිතයෙන් කියාපෑ මෙතුමා ජීවිතයේ ඇති නිස්සාර භාවය හා අරගලකාරී බව විනිවිද දුටු හෙයින් විමුක්ති ගවේෂි මාවතට එළඹීමට තීරණය කරගත්තේ ය.

1960 ජනවාරි පළමුවැනි දින ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් අතුරුගිරියේ බෝධිරුක්ඛාරාමයේ දී උතුම් පැවිද්ද ලැබූහ. උගතමනා බණදහම් සිය ඇදුරුපාණන් වෙතින් ම ඉගෙන ගනිමින් ශාසන ජීවිතයේ උතුම් දායාදය ලබනු පිණිස කටයුතු කළ උන්වහන්සේ 1961 ජූලි 18 වැනි දින නිමලව ආරණ්‍ය සේනාසනයේ දී ඇටුල්ල ජලසීමා මාලකයේ දී උපසම්පදාවට පත්වූහ. උපසම්පත්ති ප්‍රතිලාභයෙන් පසු වැඩි විවේකය පතා පුහුල්වැල්ලේ ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයට වැඩමකොට කලක් එහි චිත්ත භාවනාවෙහි යෙදෙමින් විවේකීව සිට සිය ගුරු දේවයන් වහන්සේගේ ඇනවුම පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රමයට වැඩම කළහ. තමා විසින් දල්වනලද දහම් පහනේ ආලෝකය එම ආයතනයට පමණක් සීමා නොකොට කල්යත්ම කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයටත්, කළුතර කල්‍යාණ ධර්ම ආශ්‍රමයටත් පතුරවන ලදී. විවිධ සමිති පිහිටුවාගෙන ඒ සැමටම ශීල සමාදාන, ධර්ම දේශනා, භාවනා පන්ති පවත්වා සියලු දෙනාම දැහැමි දිවිමගකට යොමු කළහ.

භික්ෂු, තරුණ, වනිතා, ළමා, සහකාර, ග්‍රන්ථකාර, ශාන්ති යන නමින් යුතු කල්‍යාණධර්ම නමැති සංවිධාන රැසක් ගිහි පැවිදි දෙපරිසෙන් ම ඇති කළහ. ඒ තුළින් බොහෝ දෙනා තෙරුවන් ඇසුරු කරන ශික්ෂාකාමීන් ලෙසින් ලොවේ රඳවා තබන්නට ගත් වෙහෙස අතිශයින් ප්‍රශංසනීයයි. මේ සියල්ලම අදත් ක්‍රියාත්මකව ඇත. උන්වහන්සේ වාර්ෂිකව සිදුකළ පින්කම් මාලාව අති විශාලය. කතරගම කිරිවෙහෙර බිම මෙන්ම නුවර දළදා මැදුරත්, අනුරාධපුර ශ්‍රී මහා බෝ මළුවත්, කැලණි රාජමහා විහාරයත්, නවගමුවේ පුණ්‍ය භූමියත් උන්වහන්සේ පසු පසින් ගලා ආ සැදැහැවත් ජන ගඟේ සාධුනාදයෙන් හැම වසරකම නින්නාද විය.

අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්මපීඨයේ මුල්යුගයේ භාවනා පිළිබඳ ආචාර්යවරයාණෝ මුන්වහන්සේ වූහ. උන්වහන්සේ ප්‍රතිපත්තියත්, ප්‍රතිවේදයත් හඳුනා ගත්හ. ඒ නිසාම ලොව හා දිවිය දෙස උපේක්ෂාවෙන් බැලූහ. ඒ පින්පිරි දිවිසෙවනේ ගුණ සමරා අවුරුදු විසිහයක් ගෙවෙන තැන නිමිතිකර ගෙන කෘතවේදී ශිෂ්‍ය පිරිස හා සියලුම සංවිධානවල සාමාජික සාමාජිකාවෝ අගෝස්තු මස 06 වැනි දින සිට 13 වැනි දින දක්වා පින්කම් මාලාවක් පවත්වා 14 වැනි දින දවල් අරණ්‍යවාසී සියක් නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර දක්ෂිණාවක් ද, අභයදාන මහා පින්කමක් ද, ශ්‍රී කල්‍යාණධර්ම ආශ්‍රමයේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.


පිටුවල චන්දිම නා හිමි

ගාල්ල, මීටියාගොඩ, මානම්පිට ශ්‍රී පි‍්‍රයදර්ශනාරාම මහා විහාරාධිපති, පිටුවල චන්දිම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත “විමලකීර්ති ශ්‍රී පි‍්‍රයදර්ශී චන්ද්‍රජෝති” යන ගෞරව නාම සම්මුතිය සහිත ගාලු පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව මඟින් පිරිනමා ඇත.

ගාලු දිසාවේ පිටුවල ග්‍රාමයේදී දියෝනිස් ගුරුසිංහ උපාසක මහතාට හා එන්.ජී. දයාවතී උපාසිකා මාතාවට දාව 1962 අගෝස්තු මස 09 වන දින උපත ලද කුමරු ජයතිස්ස ගුරුසිංහ නම්විය. පිටුවල කණිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන අතර මානම්පිට ශ්‍රී පි‍්‍රයදර්ශනාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති රෑකඩහේනේ චන්ද්‍රජෝති නාහිමියන්ගේ ඤාතිත්වය මත මාපිය අවසරයෙන් මානම්පිට ශ්‍රී පි‍්‍රයදර්ශනාරාමය වෙත පැමිණෙන කුමරු පැවිද්දට අවශ්‍ය මූලික බණ දහම් ප්‍රගුණ කොට 1978 මැයි මස 22 වන වෙසක් මස පුන් පොහෝදා තත් විහාරාධිපති රෑකඩහේනේ චන්ද්‍රජෝති නාහිමියන්ගේ හා ගුරුසිංහගොඩ මහානාම නාහිමියන් ගේ ශිෂ්‍යවරයෙකු ලෙස පිටුවල චන්දිම නමින් පැවිදි දිවියට ඇතුළත් විය.

කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙණට ඇතුළත්ව තත් පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මහෝපාධ්‍යාය අකුරැටියේ ශ්‍රී අමරවංශාභිධාන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක හිමියන්ගේ පා සෙවනෙහි ධර්ම විනය ශබ්ද ශාස්ත්‍රාදිය මැනවින් ප්‍රගුණ කොට උගත මනා බණ දහමින් හා සපිරුණු විසි වයසට පත්ව 1982 ජුනි මස 17 වන දින සිරිමල්වත්තේ ආනන්දාභිධාන මල්වතු මහා නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලබා ගත්හ.

උපසම්පදාව ලබා මානම්පිට ශී‍්‍ර පි‍්‍රයදර්ශනාරාමයට වැඩමවන චන්දිම හිමියෝ, දායක දායිකාවන්ගේ කුදු මහත් ආගමික කටයුතුවලට මෙන්ම ආරාම සංවර්ධනයට නොමඳ සහාය ලබා දුන්හ.

විහාරාධිපති රෑකඩහේනේ ශ්‍රී චන්ද්‍රජෝති නාහිමියන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කිරීමත් නිසා තරුණ වියේ පසුවන චන්දිම හිමියෝ සිය ජීවිතය ආරාම සංවර්ධනය සඳහා මෙන්ම දායක දායිකාවන්ගේ ජාතික, ආගමික හා පොදු සේවාවන් සඳහා කැප වී කටයුතු කළහ.

මානම්පිට සණස සමිතියේ සභාපති ධුරයට පත්ව වසර තුනක් වැනි කාලයක් තුළ කටයුතු කළ අතරම මාස හයක් වැනි කෙටි කාලයක් තුළ ලක්ෂ 40 ක් වටිනා දෙමහල් සණස ගොඩනැගිල්ල ඉදිකිරීමට කටයුතු කිරීම 1983 වසරේදී මානම්පිට තරුණ බෞද්ධ සංගමය ආරම්භ කිරීම, 1983 සිට 1990 දක්වා මානම්පිට ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති ධුරය දැරීම, මානම්පිට ශ්‍රී සර්වෝදය පෙර පාසල පවත්වා ගෙනයෑම,ආයුර්වේද වෛද්‍ය සායන, ලේ දන් දීමේ කඳවුර ආදිය පවත්වාගෙන යාම ආදී උදාර සේවාවක නිරත වන අතර 2007 වසරේදී සිය ගුරුදේව රෑකඩහේනේ ශ්‍රී චන්ද්‍රජෝති නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු විහාරාධිපති පදවියට පත් තම ගුරුදේව ගුරුසිංහගොඩ මහානාම නාහිමියන් සිය ගුරුදේව නාහිමියන් දැරූ ගාලු පළාතේ ප්‍රධාන සංඝ නායක පදවියට පත් විය.

මේ අතර මිරිස්වත්ත ශ්‍රී ආනන්ද බෝධි විහාරයේ කටයුතු නිසාම ගුරුසිංහගොඩ මහානාම නාහිමියන් මානම්පිට ශ්‍රී පි‍්‍රයදර්ශනාරාමයේ වැඩ වාසය කිරීම අල්ප විය. චන්දිම හිමියන්ගේ උදාර සේවාවට උපහාර පිණිස

ජාතික, ආගමික හා ශාසනික පොදු කටයුතුවලදී උට්ඨාන වීර්යයෙන්, කැපවීමෙන් ක්‍රියා කරන පි‍්‍රයශීලි කාර්යශූර , දක්ෂතාවලින් හෙබි පිටුවල චන්දිම හිමියන් කෙරෙහි ප්‍රසාදයට පත් මල්වතු මහා විහාර සංඝ සභාව “විමලකීර්ති ශ්‍රී පි‍්‍රයදර්ශී චන්ද්‍රජෝති” යන ගෞරව නාමය සහිත ගාලු පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය පිරිනමා ඇත.

අභිනව නාහිමියන් වෙත අක්ත පත්‍ර ප්‍රදානය 2016 අගෝස්තු මස 08 වන දින පස්වරු 3.00 ට මල්වතු මහා විහාරයේදී ද නාහිමියන් පිළිගැනීමේ උත්සවය අගෝස්තු මස 09 වන දින පස්වරු 3.00 ට මානම්පිට ශ්‍රී පි‍්‍රයදර්ශනාරාමයේදී ද නියංගොඩ විජිතසිරි මල්වතු අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදුවේ.


මානවිල රතනසිරි නා හිමි

ගාල්ල තල්ගම්පල ශ්‍රී සුචරිතාරාමාධිපති තල්ගම්පල ශ්‍රී ධර්මාලංකාර මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති දර්ශනශූරී ආචාර්ය මානවිල රතනසිරි හිමියන් වෙත ධර්මකීර්ති ශ්‍රී රාහුල යන ගෞරව නාමය සහිතව තල්පෙ පත්තුව ඇතුළු ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක පදවියට මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් පත් කොට ඇති අතර ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ලබා ගැනීම 2016.08.05 වන දින පස්වරු 03.00 ට රාජ පූජිත මල්වතු මහා විහාරස්ථ උපෝසථාගාරයේ දී සිදු කිරීමට නියමිතව තිබිණි.

උන්වහන්සේ පිළිගැනීමේ උත්සවය මෙම මස 07 වන දින පස්වරු 3.00 ට ගාල්ල තල්ගම්පල ශ්‍රී සුචරිතාරාම විහාරයේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක දේශමාන්‍ය කරු ජයසූරිය මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබිණි.

මානවිල රතනසිරි නාහිමියන් 1972 තල්ගම්පල ශ්‍රී සුචරිතාරාමාධිපති පෝරතොට ශ්‍රී රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ කැකුනේවෙල ශ්‍රී මේධානන්ද යන හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි විය.

ගාල්ල කුඹල්වැල්ලේ ශ්‍රී රේවත විද්‍යායතන පිරිවෙනින් මූලික ධර්ම ශාස්ත්‍රොද්ග්‍රහණය කොට 1984 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත් අතර 1991 දී ගාල්ල රේවත පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස පත්විය. 1980 ජූනි 03 වන දින මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලැබූහ.

1992 ඉන්දීය රජයේ ශිෂ්‍යත්වයක් ලබා දිල්ලි විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පශ්චාත් උපාධි කටයුතු ආරම්භ කළ අතර එහි දී දර්ශනපති, දර්ශනශූරී, ආචාර්ය උපාධිය හිමිකරගත්හ.

 

  නිකිණි පුර අටවක පෝය

  නිකිණි පුර අටවක පෝය අගෝස්තු 10 වන දා බදාදා පූර්ව භාග 10.39 ට ලබයි.
11 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 10 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 17 වන දා බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]