UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෝප්පකන්දේ සිරි සුමනතිස්ස නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ

සබරගමුව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලබන

කෝප්පකන්දේ සිරි සුමනතිස්ස නා හිමි

ශ්‍රී පාදස්ථානයේ ආගමික සේවාථ කෘත්‍යාධිකාරී මෙන්ම කලක් ශ්‍රී පාදස්ථානයේ භාරකාර ලෙසද, කටයුතු කළ දාපනේ ශ්‍රී ජයසුමනාරාමය සහ හම්ඹේගමුව මුතුමාල රජ මහා විහාරය යන උභය විහාරාධිපතිව වැඩවෙසෙන ජිනවර ධර්ම කීර්ති ශ්‍රී සිද්ධාර්ථ කර්මාචාර්ය කෝප්පකන්දේ සිරි සුමනතිස්ස හිමිපාණන් වහන්සේට සබරගමුව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවය අගෝස්තු 09 වන දා මල්වතු මහා විහාර උපෝසථාගාරයේ දී සිදු කෙරේ. එයට සමගාමීව සිදු කෙරෙන පිළිගැනීමේ උත්සවය 12 වන දා සවස 3.00 ට ඕමල්පේ මහා විද්‍යාලයේදී සිදු කෙරේ.

කෝප්පකන්දේ සිරි සුමනතිස්ස නායක හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේ උපන් දියපොට ගම්පත්තුවට, කොළොන්න කෝරලයට, රත්නපුර දිස්ත්‍රික්කයට හෝ සබරගමුව පළාතටම පමණක් නොව මුළු රටටම කීර්තියක් ගෙනදුන් උගත් අභීත මහථෙර නමකි.

කොලොන්න කෝරලයේ කෝප්පකන්ද ගම්පියසේ දී1943 සැප්තැම්බර් 26 වන දා උපත ලත් උන්වහන්සේගේ මව්පියන් වන්නේ ජයවර්ධනගේ පොඩි අප්පුහාමි සහ වීරමලගේ උදේණිහාමි දම්පතීන්ය. දහතුන් දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනියාව ඉපිද පැවිදි බිමට ඇතුළත් වන්නේ 1958 දී දාපනේ ජයසුමනරාම රජ මහා විහාරාධීපතිව වැඩ විසූ කෝප්පකන්දේ සුමනසාර හිමිපාණන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙසය. දොරපනේ පාසලෙන් මූලික අධ්‍යාපනය හදාරා සිටි උන්වහන්සේ පැවිදිවීමෙන් පසු මොරවක ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන සහ දෙණියාය ධර්මද්ව්‍ය පිරිවෙණින්ද වැඩිදුර අධ්‍යාපනය ලැබුවේය. 1963 දී මල්වතු මහා විහාරයේ දී උපසම්පදාවීමෙන් පසු විවිධ සමාජ සංවිධාන සමඟ එක්වුණ උන්වහන්සේ 70 දශකය ආරම්භ වනවිට ප්‍රදේශයේ විවිධ සංවිධානවල ක්‍රියාකාරී නායකයෙක්ව සිටියේ ය. 1970 දී සිදුවූ ශ්‍රී පාදස්ථානාධිපති නාහිමිපාණන් තේරීමේ තරගයේ දී කොලොන්න කෝරලයේ භික්ෂූන් වහන්සේලා එක් පිලකට එක්කරගෙන බටුගෙදර යසස්සි නාහිමිපාණන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මුල්ව කටයුතු කළේ ය.

එකල ශ්‍රී පාදස්ථාන නායක පදවියටපත් බටුගෙදර යසස්සි නායක හිමිපාණන් තම සම්පතම හිමිනමක් ලෙස කෝප්පකන්දේ සුමනතිස්ස හිමියන් පත්කොටගෙන ශ්‍රී පාදස්ථානයේ කාර්යමණ්ඩලයටද ඇතුළත් කර ගත්තේ උන්වහන්සේ තුළ පැවැති විචක්ෂණභාවය සහ කාර්යශූරත්වයද නිසාය. එතැන් සිට 2013 වර්ෂය දක්වා ශ්‍රී පාදස්ථානයේ නායක පදවියට පත්වන හිමිවරුන්ගේ විශ්වාසය දිනාගනිමින් ස්ථානයේ මෙන්ම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේද සුබ සිද්ධිය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කළේ ය. උන්වහන්සේගේ හැකියාවන් දැන හැඳිනගත් මල්වතු මහතා සංඝ සභාව දාපනේ සුමනතිස්ස හිමිපාණන් වහන්සේ වෙත කර්මාචාර්ය පදවියක්ද පිරිනමන ලදී.

දාපනේ ජයසුමනාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදුකරන අතරම ප්‍රදේශයේ සහ සතර පේරුවේ දායක පිරිස්වල අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන්ද කටයුතු කළ සුමනතිස්ස හිමිපාණන් වහන්සේ ප්‍රදේශයේ වල් බිහිවී පැවැති පැරණි විහාරාරාම සොයාගොස් ඒවායේ කටුකොහොල හැර බැතිමතුන්ගේ වන්දනාමානයට යලි විවර කිරීමේ කටයුත්තටද අත තැබුවේ ය.

දොරපනේ රජමහා විහාරය, වලකඩ රජමහා විහාරය සහ පනාමුර කාවන්තිස්ස රජමහා විහාරයද, උන්වහන්සේ විසින් එලෙස ප්‍රතිසංස්කරණ කොට බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා යළි විවෘත කළ විහාරස්ථාන අතරට එක්වෙයි. එසේම තම ප්‍රධාන විහාරස්ථානය වූ දාපනේ ජය සුමනාරාමයෙන් ඉතා දුර බැහැරක පිහිටි හම්බේගමුව මුතුමාල රජමහා විහාරය යළි පුනරුත්ථාපනය කිරීමේ කටයුත්තට අත තබා ඇත්තේ එහි තවත් පියවරක් ලෙසටය.

රත්නපුර ශ්‍රී විමල හිමිපාණන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩුව පැවති සබරගමුවේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන්ද, පිදුම්ලබා සිටි කෝප්පකන්දේ සිරි සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ වෙත මෙවර සබරගමුව පළාතේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය පිරිනැමෙන්නේ එම පදවිය හොබවමින් සිටි හුණුවල පූර්වාරාමාධිපතිව වැඩ සිටි බලංගොඩ මේධානන්ද හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුවය.

 

  නිකිණි පුර අටවක පෝය

  නිකිණි පුර අටවක පෝය අගෝස්තු 10 වන දා බදාදා පූර්ව භාග 10.39 ට ලබයි.
11 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 10 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 17 වන දා බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]