UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රත්නපුර මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පුද ලබන දාපනේ පඤ්ඤානන්ද නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ
රත්නපුර මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පුද ලබන

දාපනේ පඤ්ඤානන්ද නා හිමි

ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරාධිපති ප්‍රවීණ පිරිවෙන් ආචාර්ය දාපනේ පඤ්ඤානන්ද හිමියෝ රත්නපුර මහදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලබති.

ඒ පිළිබඳ වූ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ පූජෝත්සවය 2016 අගෝස්තු මස 10 වන දා මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේ දී සිදුවන්නේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශත් වර්ගික උත්තරීතර කාරක මහා සංඝ සභාව අභිමුඛයේදීය. පදවි ප්‍රාප්තියෙන් පසු ස්වකීය ජන්ම ග්‍රාමයට වැඩම කරවන අභිනව නා හිමිපාණන් වහන්සේ පිළිගැනීමේ සහ උපහාර පිදීමේ පුණ්‍යෙීත්සවයක් අගෝස්තු 12 වන දින පස්වරු 3.00 ඕමල්පේ මහා විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.

රත්නපුර මහා දිසාවට අයත් කොළොන්න කෝරලයේ දියපොට ගම්පත්තුවේ පිහිටි ඕමල්පේ ගම 18 වන සියවස මුල් භාගයේ සිටම ඉතිහාසයේ අභිමානවත් ලෙස සනිටුහන් වන්නේ මඩුවන්වෙල මහා දිසාවේගේ වීර වික්‍රමයන් නිසාය. කොළොන්න මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාමය එතුමන් විසින් ආරම්භ කරන ලද අතර 1742 දී ඕමල්පේ ටැම්පිට විහාරය, ඉදිවන්නේ එම ශාසනික මෙහෙවරෙහි තවත් අදියරක් ලෙසටය. වේහැල්ලේ සඟ පරපුර වඩාත් ආලෝකවත් කරමින් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය හොබවන ශාස්ත්‍රපති පණ්ඩිත කෑලිගම විජිතනන්ද හිමිපාණෝ වර්තමානයේ දී එම සඟ පරපුර ශෝභමාන කරති.

ප්‍රවචන කීර්ති ශ්‍රී ගෞරව උපාධිය සහිතව රත්නපුර මහා දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලබන ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරාධිපති කෑල්ලගම ශ්‍රී සුදර්ශන මහා පිරිවෙන්පති දාපනේ පඤ්ඤානන්ද නාහිමියෝද එම පරපුරෙහි තවත් ශෝභමාන වූ පඬිරුවනක් මෙන්ම ප්‍රධාන සංඝ නායක කෑලිගම විජිතනන්ද නාහිමිපාණන්ගේ ශිෂ්‍යවරයෙකුද වීම අතිශය වැදගත් වන්නේ ය.

විජයසුන්දර සෙනරත් හිටිගේ අමරසේකර සහ ආතාවුද පතිරණගේ සෝමාවතී යන දම්පතීන්ට දාව 1959 නොවැම්බර් 29 වන දින ඌරුබොක්ක දික්ඕවිටද ජන්මලාභය ලබන ලද පින්වත් කුමරා දාපනේ පඤ්ඤානන්ද නමින් උතුම් වූ පැවිදි දිවියට එළඹෙන්නේ 1972 සැප්තැම්බර් 20 වන දාය. එවකට මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාම විහාරාධිපතිව වැඩ විසූ, සියම් මහා නිකායේ සබරගමුව පළාතේ ද්විතීය සංඝ නායක කෑල්ලේ ශ්‍රී සාරානන්ද නාහිමිපාණන්ගේ උපාධ්‍යායන් වහන්සේ ලෙසත් දාපනේ ශ්‍රී ධම්මානන්ද නාහිමි, කෑල්ලේ ඛේමානන්ද නාහිමි සහ සබරගමුව පළාතේ සියම් මහා නිකායේ වත්මන් ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කෑලිගම විජිතනන්ද නාහිමිපාණෝද උන්වහන්සේට ගුරු වූහ.

දාපනේ පඤ්ඤානන්ද හිමිපාණන් උපසම්පදාවට පත්වූයේ 1982 ජූලි 02 වන දින මහනුවර මල්වතු මහාවිහාර මංගල උපෝසථාගාරයේ දී දාපනේ ධම්මානන්ද හිමිපාණන්, කෑලිගම විජිතානන්ද හිමිපාණන් සහ කෑල්ලේ ඛේමානන්ද හිමිපාණන්ද උන්වහන්සේට ගුරු හිමිවරුන් වූහ. ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරස්ථානයේ වැඩ වෙසෙමින් මූලික බණ පොත්, පෙළ පොත් සහ පැවිදි දිවියේ මූලික වතාවත් දැන උගත් උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කරන්නේ ඌරුබොක්ක ශ්‍රී මේධංකර මහ පිරිවෙණිනි. පසුව තම ගුරුදේව කෑලීගම විජිතනන්ද නාහිමිපාණන් වහන්සේගේ සහ කෑල්ලේ ඛේමානන්ද හිමිපාණන්ගේ ද මඟ පෙන්වීමෙන් යුතුව පැල්මඩුල්ල රූප අරුණ පිරිවෙනින් සහ රත්නපුර සද්ධර්මාලංකාර මහා පිරිවෙනින් වැඩිදුර අධ්‍යාපනය ලැබූහ. අවසානයේදී පිරිවෙන් ගුරුවරයෙකු ලෙස සුදුසුකම් ලබන්නේ රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව ගුරු පුහුණු ඩිප්ලෝමාවක්ද සාර්ථකව නිමා කරමිනි.

උන්වහන්සේ රත්නපුර මහවල ශ්‍රී ධර්මායතනය කෑල්ල ශ්‍රී සුදර්ශනාරාම පිරිවෙන ඇතුළු පිරිවෙන් කීපයකම උපගුරු උප පිරිවෙන්පති මෙන්ම පරිවෙණාධිපති පදවිද හොබවමින් උගත් පැවිදි පරපුරක් බිහිකිරීමට කටයුතු කොට ඇත.

උන්වහන්සේ දැන උගත් ශිෂ්‍යවරයන් තිදෙනෙකුද, සසුනට දායාද කර ඇති අතර විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන්ද විශාල මෙහෙවරක් ඉටුකර ඇත.

දිරාපත්වෙමින් තිබුණු ඉපැරණි ටැමිපිට විහාරය අලුත්වැඩියාකොට යථාතත්ත්වයට පත්කිරීම නව ධාතු මන්දිරයක් සහ චෛත්‍යයක් ඉදිකිරීම ධර්මශාලාව සහ ආවාස ඉදිකිරීම උන්වහන්සේගේ මෙහෙයවීමෙන් සිදුකොට ඇත.

දාපනේ පඤ්ඤානන්ද හිමිපාණන්ගේ ශාසනික මෙහෙවර තරමටම සමාජමය මෙහෙවරද සුවිසල් ය. රත්නපුර දිස්ත්‍රික්කයේ ඈත පිටිසර අතිශය දුෂ්කර ගම්මානයක් වූ ඕමල්පේ ගම්මානයට පමණක් නොව සතර පේරුවේම දායක පින්වතුන්ගේ යහපත උදෙසා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ප්‍රදේශයේ සමාජ සංවර්ධනයට උන්වහන්සේ වෙතින් සිදුවූ මෙහෙවර ඉතා වැදගත් වන්නේ ය. දායක සභාවේ ආරම්භ කුළඟන සමිති, දහම් පාසල්, පෙර පාසල් සහ යෞවන සමාජ මෙන්ම ගොවි සමාජද පිහිටුවීමට උන්වහන්සේ මුල් වූයේ ප්‍රදේශයේ පැවති කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි.

ගෙවීගිය දසක තුනක පමණ වූ කෙටිකාලය තුළදී ඕමල්පේ ගමත් ගම්වැසියනුත් ලබා සිටින සමාජයමය හා ආධ්‍යාත්මික දියුණුව උන්වහන්සේ දැරූ එම වෙහෙසෙහි ප්‍රතිඵලයකි. මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශත් වර්ගික උත්තරීතර කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරාධිපති කෑල්ලගම ශ්‍රී සුදර්ශන මහා විහාර පිරිවෙන්හි නියෝජ්‍ය පරිවේණාධිපති දාපනේ පඤ්ඤානන්දාභිධාන නාහිමිපාණන් වහන්සේ වෙත ප්‍රවචන කීර්ති ශ්‍රී ගෞරව උපාධිය සහිතව රත්නපුර මහා දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියට පත්කෙරෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසටය. අභිනව නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව සමගින් දීර්ඝායුවේවා.

 

  නිකිණි පුර අටවක පෝය

  නිකිණි පුර අටවක පෝය අගෝස්තු 10 වන දා බදාදා පූර්ව භාග 10.39 ට ලබයි.
11 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 10 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 17 වන දා බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]