UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

තුන් හෙළය බැති පුද නමැද

සැදැහෙන් පැහැද තුන් හෙ ළ බැති පුද නමැඳ
දහමෙන් වෙහෙර විහාර පිපි සිල් සුවඳ
පැහැයෙන් තඹර නිලුපුල් නෙක මල් පිබිද
නමදිමි මිහිදු මාහිමි ගුණ උතුම් දින

මාහිමි මිහිඳු වැඩ අදමිටු අඳුර හලා
යාකළ ලක් දෙරණ මිස්සක පහන් කළා
නෑවී සයුරු බඳු , වැව් කෙත් පොහොණි නිලා
පේවී තිස්ස රජ සදහම් වැළඳ ලොලා

ගස් ගල් පිදුම් හැර දඩබිම දම් දීපේ
වස්සන සුපසන් සඳ පදවට ලක් දීපේ
තිස්ස නරනිඳුන් හල දඩ කෙළි පාපේ
ලස්සන සිසි කැළුම් දුළ බැති හෙළ දීපේ

අව්කන සමාධී මුණි දාගැබ් සෑදුණි
නිවුසත ගිමන් පණ බිය දහමින් සිඳුණි
සවු අම දහර තුන් හෙළ සිසිලෙන් තෙමුණි
පවු සේදූ පින්බිම සමිඳුට පිදුණි


අනුරපුරෙන් උදා වූ අසිරිය

පොසොන් උදාවී සැමටම සතුට දැනේ
ගස්වැල් අතුරිකිලිවල මල් හැඩට පෙනේ
නිමකළ නොහැක අනුබුදු හිමිගෙ දහම් ගුණේ
පොසොන් උදාවේ අසිරිය අනුරපුරෙන් ගෙනේ

අනුබුදු හිමි මිහින්තලයට වඩින ලද
තිස්ස රජු දුනු ඊතල අතහැර හිමිට වැඳ
පොසොන් උදාව මැද බැබළුන අඹරෙ සඳ
ආලෝකයක් ගෙන දුනි නිල් ගුවන මැද

පොසොන් උදාවිය අනුබුදු හිමිගෙ බෙලෙන්
පවන් සලයි රන් සෑයට ස්වර්ණ පතින්
දනන් සාදු දෙයි හදවත් පිරුණු බැතින්
බුදුන් වඳිමි මම සුදු මල් මිටක් දෙමින්


අලුත් යුගයකට

වෙසක් සඳ නිවී ගොස්
පොසොන් සඳ බැබලිලා
මිහිඳු හිමි වැඩි ඒ උතුම් බිම
පොසොන් කිරණෙන් නැහැවුණා

පහන් සිතිවිලි පෙරටු කොටගෙන
දහමේ හැසිරෙන උවැසියෝ
මල් පහන් ගෙන සැදැහැ සිතැතිව
පොසොන් පෝ දින සැමරුවා

මිහිඳු හිමියන් රැගෙන ආ ඒ
උතුම් ශ්‍රී සද්ධර්මරත්නය
පැරණි යුගයට තිතක් තබමින්
අලුත් යුගයක් ඇරඹුවා


ධර්මාලෝකයෙන් සිත් සතන් පිබිදේවා

ලංකාවට බුදු දහම ගෙනාවා
අනුබුදු හිමියන් බුදු බණ දෙසුවා
සිරිමහා බෝධිය වැඩම කෙරෙව්වා
බුදු සිසිලස ලක්දිවටම දැනුණා

පවෙන් මිදි සිත දහමට යෙදුණා
පිනෙන් පිරුණු සිත් සිසිලස ලැබුවා
වෙර සතුරු සිත් ලොවෙන් මැකේවා
කරුණාවෙන් මොහඳුර දුරු වේවා


රට යහ මගට ගියදා

වඩිනට පෙර මිහිඳු හිමි අප අසරණය
දහමක් නොදත්කම පෑ රුදු කොඩිවිනය
නොදැනුම්කම නිසා විඳි දුක් අපමණය
සිටියේ එදා අප ගස් ගල් වැඳගෙනය

සංසාරයේ මේ දුක් බර සෙවණ යට
යන එන මං නොදැන තුන් දොර අගති යට
පත්කරමින් තවත් අඳුරෙන් අඳුර කට
ගිය අප මුදා ගත් අනුබුදු සමිඳු සෙට

මිහිරෙන් පවේ නොමිනිස් කම්වලට ඉඩ
ලැබගෙන පවිටු බර සත් ගුණ දහම මැඩ
අඳුරක සිටින විට සත් දම් මිහිරි හඬ
ඇසුනේ පොසොන් දා අප ලන්නමය ගොඩ

අනුබුදු මිහිඳු හිමි සදහම් දෙසන සඳ
සඟවා තිබු දෙයක් ආලෝකයට ඇඳ
දුටුවා වගේ සිත් සැනසී සුවය ලද
සැනසෙති සැවොම ලැබගත් ඒ මිහිර විඳ


පින්බර සමිඳුනි

මිස්සක පව්ව දියදම් දිනිතියගෙ පුතා
අද හරි ලස්සනයි බොදු කොඩිවැල් ගෙලෙහි ඔතා
අඹතුරු සෙවණෙ දම් පවනෙහි සුවය පතා
කොවුලන් වැනිය දරුවන් ගී ගයන ගොතා


ඝණ අඳුර බිඳ

අනුබුදු මිහිඳු හිමි පායුග තබන ලද
අම්බස්තලය සිව් දිග මහ වනය මැද
සඳරැස් කැරලි විහිදුණි ඝණ අඳුර බිඳ
පෝදා දිලුනි නිලාසේ පොසොන් සඳ

බුදු හිමි සමාධි මහ මෙවුනා උයනේ
මෙත් කරුණා ගලයි හෙළ රජ දහනේ
පින්කෙත දහම් දිවයින් දෙව් රැකවරණේ
නැහැවෙමු දහම් සිසිලෙන් අප හෙළ දෙරණේ

ගල් පඩි නැගි මිස්සක පව්වේ උඩට
දසතම බලමි අමුතුම සිරියක් නෙතට
අරලිය මල් පිපි අතු අගමල් බරට
බොදු සිසිලස ගලයි මගෙ හදවත තුළට


හිමි යළි වඩිනවනම්

අනුබුදු හිමියනි, ඔබ වඩිනවනම්
අදත් එදා මෙන් මිහින්තලේ
දෙනෙත් පියාගෙන අහන්න ආසයි
දෙසනා දම්පද නිසංසලේ

කෙලෙස් කිළිටි මල් පරවේවි
ලෝ දන හදවත් හිනහේවි
සුවඳ ගලා යන දම් ගඟ පැතිරී
නිවන් මගට සිත් යොමු වේවි

 

  පොසොන් අමාවක පෝය

  පොසොන් අමාවක පෝය ජූලි 03 වන ඉරිදා අපර භාග 06.53 ට ලබයි. 4 වනදා සඳුදා පූර්ව භාග 04.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 04 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 11 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]