UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

ගැටමාන්නේ ධම්මකිත්ති නා හිමි

“සප්තප්පදානන් පවරංගි ලෝකේ” “ශාස්ත්‍රප්‍රදානය ලෝකයේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි.” එම සනාතන ධර්මය ගුරුකොට ගනිමින් දරුවන්ගේ නැණැස පෑදීම අති උත්තම පුණ්‍ය ක්‍රියාවක් සේම උතුම් වූ ජාතික සාමාජිය සේවාවක් සේ සළකා ඒ බව සත්‍යවාදීව තහවුරු කරන ලද මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් පිළිබඳ මාගේ සාතිශය සංවේගය මෙසේ සටහන් කර තබන්නෙමි.

රුහුණු ගිරුවාපත්තුවේ බෙලිඅත්ත ප්‍රදේශයේ ගැටමාන්න ග්‍රාමයේ බණ්ඩරවත්ත නස්නගම රුප්ප වලව්වේ ජන්ම ලාභය ලැබූ අපගේ මෙම යතිවරයාණන් වහන්සේ දෙස් විදෙස් සුපතළ කීර්තිධර උගතුන් බුද්ධිමතුන් දස දෙනෙකුගෙන් යුතු පවුලක සිව්වැනි දරුවා ලෙස ජන්ම ලාභය ලැබීය.

නමින් දයාරත්න විජේසිංහ වූ මේ දරුවා ළමා අවධියේ සිට ශිල්ප ඥානයටත්, සමාජ සත්කාරයටත් අවිහිංසාවාදී ප්‍රතිපදාවටත් දැක් වූ සුවිශේෂතාවයන් නිසාම ගැටමාන්න රුප්ප වලව්වේ ගම්පති ජයතිස්ස විජේසිංහ දම්පතීන් මෙම එකොළොස් වියැති දරුවා සසුන්ගත කිරීමට තීරණය කරන ලදී.

විද්‍යාලංකාර පරිවෙණාධිපති කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර නාහිමියන් විසින් ගිරුවාපත්තුව ඇතුලුව ගාලු, මාතර දෙපළාතේ ප්‍රධාන සංඝනායකව වැඩ විසූ මාතර, මහා මන්තින්ද පිරිවෙන්හි සම්මාන පරිවෙණාධිපති පණ්ඩිත කඹුරුපිටියේ ශ්‍රී බෝධිගුප්ත නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1958 දෙසැම්බර් මස 26 වන දින පැවිදි දිවියට පත් අපේ නාහිමියන් 1972 ජූනි මස 25 වන දින මහනුවර මල්වතු මහා විහාරයේ මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබීය.

මාතර රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයද, කොළඹ විද්‍යාලංකාර පිරිවෙණින් උසස් අධ්‍යාපනයද ලබා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1971 වර්ෂයේදී ශාස්ත්‍රවේ දී විශේෂ උපාධිය ලබා අඛණ්ඩව ශාස්ත්‍ර ගවේශන කටයුතුවල නිරත විය. ඒ අතරතුර 1973 වර්ෂයේ සිට මහා මන්තින්ද පිරිවෙණේ ආචාර්යවරයකු වශයෙන් වැඩ භාරගත් අප නාහිමිපාණන් වහන්සේ තම ශාස්ත්‍රාලෝක මහා වික්‍රමයේ මූලික අඩිතාලම තම පුණ්‍ය භූමිය වූ මහා මන්තින්ද මහ පිරිවෙන කේන්ද්‍රකොට ගෙන ආරම්භ කරනු ලැබීය.

වර්ෂ 1893 දී ආරම්භ කළ මාතර මහා මන්තින්ද පිරිවෙන අවුරුදු 133 ක ඉතිහාසය තුළ වසර ගණනාවක්ම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, පරිපාලනය හා විශේෂ ක්‍රියාකාරකම් අතුරින් ප්‍රමුඛතම පිරිවෙන ලෙස ගෞරව සම්මාන ප්‍රණාමයට හේතු වූයේ ගැටමාන්නේ ධම්මකිත්ති නාහිමිපාණන් වහන්සේගේ මනා අධ්‍යාපන පරිපාලනමය දක්ෂතාවය සහ සුවිශේෂී වූ මහා සංවිධාන ශක්තියයි. මෙම අධ්‍යාපනික පුනරුදයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වශයෙන් බෞද්ධ බාලිකා විද්‍යාලයක් ලෙස මාතර අනුර විද්‍යාලය 1987 දී ආරම්භ කිරීම විශේෂයෙන් අගය කළ යුතු වේ. දකුණේ දරුවන් අතර පවතින අධ්‍යාපනික තරගකාරීත්වය නිසා ඇති හැකි අයගේ දරුවන් අධ්‍යාපනය සඳහා දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම පාසල් තෝරා ගනිද්දී දක්ෂතාවයන්ගෙන් හෙබි ගමේ අහිංසක දරුවන්ට ඇති අධ්‍යාපනික අයිතිවාසිකම් නිසි ලෙස ලබා දීමේ මහඟු සමාජ මෙහෙවර සියතට ගත් අප නාහිමිපාණන් වහන්සේ දිවයිනේ කීර්තිමත් දක්ෂ ගුරුවරුන් මෙම පිරිවෙනට සහ විද්‍යාලයට කැඳවා දරුවන් සඳහා උසස් අධ්‍යාපනය නිසි පරිදි ලබා දීමට කටයුතු කිරීම දක්ෂිණ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික පුනරුදයේ වංශකතාව ලියන්නෙකුට අමතක කළ නොහැකි සුවිශේෂි චරිතයක් වනු නොඅනුමානය.

අනුර විද්‍යාලයෙන් සහ මහා මන්තින්ද පිරිවෙනින් අධ්‍යාපනය ලැබූ වියතුන්, බුද්ධිමතුන්, මහාචාර්යවරුන් ප්‍රධාන විද්වතුන් රැසක් අද වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ පවා කීර්තිමත් සේවාවන්හි නිරත වෙමින් රටටත්, ජනතාවටත් අප්‍රමාණ වූ සේවාවක් ඉටුකරන ලද බව අප සියල්ලන්ම දන්නා කාරණයකි.

වර්ෂ 2002 වෙසක් මාසයේ දී දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් වූ ගැටමාන්නේ ධම්මකිත්ති නායක ස්වාමීන් වහන්සේ සිය ක්‍රියාකාරී අධ්‍යාපනික වැඩ පිළිවෙළ තවත් දිශාවකට යොමු කරමින් ජාත්‍යන්තර ධර්ම ප්‍රචාර කටයුතු සඳහාද පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පුහුණු කර යෙදවීමද අතිශය අගය කළයුතු පුණ්‍ය ක්‍රියාවකි. ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, ජපානය, ජර්මනිය, ඉතාලිය, තායිවානය ඇතුළු විදෙස් රටවල් ගණනාවකම අප නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් යුතුව ධර්මදූත කණ්ඩායම් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත විය. මිගදාය ශ්‍රී රතනපාල මහ පිරිවෙන් විහාරාධිපති, තිස්සමහාරාමයේ ඉන්ද්‍රනන්ද හිමියන් ඇතුළු දහස් ගණනක සිසු ගෝල පරපුරක් දායාද කිරීමට හැකියාව ලැබීමද උන්වහන්සේගේ ශාසනික මෙහෙවරේ තවත් පූජනීය වූ අවස්ථාවකි.

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, මාතර මහා මන්තින්ද පිරිවෙනේ කෘත්‍යාධිකාරී ගැටමාන්නේ ධම්මකිත්ති නාහිමියන් දැයට අහිමි වූයේ බෞද්ධ දර්ශනය තුළින් හික්මුණු විනයවත් අධ්‍යාපනයක් රටට අවශ්‍ය වන අවස්ථාවකයි. බෞද්ධ පරිසරයක් තුළ ශික්ෂණය, විනයවත් බව හා මනා පරිචය තුළින් ලබාගන්නා විධිමත් අධ්‍යාපනය යහපත් පුරවැසියන් බිහි කිරීමේ එකම ක්‍රමෝපාය බව සිහියේ තබාගත් අප නාහිමිපාණන් වහන්සේ එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සිය ජීවිතයේ වැඩිම කාලයක් රටේ දරුවන්ගේ අධ්‍යාපනය උදෙසාම කැප කළ බව සිහිපත් කරන්නේ අප්‍රමාණ ලෙස පින්පෙත් අනුමෝදන් කරමිනි. මහා වෙහෙර විහාරස්ථාන, සංඝාවාස ඉදිකිරීමට පමණක් සිය පැවිදි ජීවිතය උපයෝගී කරගන්නා අපේ සමහර හිමිවරුන්ට මහා ආදර්ශයක් වෙමින් සිය ශක්තිය, දැනුම, ධනය මේ සියල්ල රටේ දරු පරපුර වෙනුවෙන් සාමණේර භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සැබෑ ලෙසින්ම කැප කළ අපේ නාහිමියන් ශාසන ඉතිහාසයේ නොමැකෙන නමක් සනිටුහන් කළ බව ඉතාමත් පැහැදිලිය. ගෞරවණීය නාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.


අකුරැටියේ නන්දසාර නා හිමි

දකුණු සිරිලක ප්‍රධාන පිරිවෙන් අධ්‍යාපන ආයතනයක් ලෙස දෙස් විදෙස් හි කිතුගොස පතුරුවන ලද ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ ආදි කර්තෘ භූත දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත වැලිවිටියේ පුඤ්ඤසාර නා හිමියන්ගේ කැපවීමෙන් ගාල්ල විද්‍යාලෝක පිරිවෙන 1929 දී ආරම්භ කොට මේ රටේ බෞද්ධ අධ්‍යාපනය පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවන්නට අමිල අපරිමිත සේවාවක් සිදු කළ අතර ගාල්ල අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කරමින් මතින් තොර සමාජයක් ගොඩ නැගීම සඳහා නායකත්වය දෙන ලද බව කෘතවේදීත්වයෙන් සිහි කටයුතු වේ. එම්.ඩබ්. අමරසූරිය දානපතිතුමන්ගේ සහාය ඇතිව විද්‍යාලෝක පිරිවෙන සංවර්ධනය කළා සේම ලෝක ප්‍රකට වියතුන් පඬිවරුන් ලොවට දායාද කරන්නටද සමත් විය. වැලිවිටියේ පුඤ්ඤසාර නා හිමියන්ගේ අපවත්වීමෙන් පසු දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අකුරැටියේ අමරවංශ නා හිමියන් විහාරාධිපති, පරිවේනාධිපති ධුරයට පත්ව තම ගුරු දේවයන් වහන්සේගේ කාර්යය භාරය වඩාත් අර්ථවත්ව කරමින් විද්‍යාලෝක පිරිවෙන විද්‍යායතන පිරිවෙනක් බවටද පත් කරලන්නට සමත් විය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ අපවත්වීමෙන් පසු මාලිගාකන්ද විදුදය පිරිවෙනේ ස්වර්ණමය යුගය උදා වන්නේ ද අකුරැටියේ අමරවංශ නා හිමියන්ගේ පාලන සමයේදීය. ලංකාවේ ප්‍රධාන පිරිවෙන් පරීක්ෂක හිමියන් ලෙස ක්‍රියා කළ අමරවංශ නා හිමියන්ගේ අපවත්වීමෙන් පසු විද්‍යාලෝක පිරිවෙන් ආයතනයේ ආධිපත්‍යයට පත් වූයේ අකුරැටියේ නන්දසාර නා හිමියන්ය. උන් වහන්සේද ආයතනයේ දියුණුවට අභිවෘද්ධියට ක්‍රියා කරනු ලැබූ අතර උන් වහන්සේගේ කාල පරිච්ඡේදය තුළ සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරන ලදී. උන්වහන්සේ අපවත් වීමෙන් පසු මාලිගාකන්ද විදුදය පිරිවෙනේ කෘත්‍යාධිකාරී කොළඹ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක සිංහල ශබ්දකෝෂයේ හිටපු කර්තෘ ආචාර්ය අකුරැටියේ නන්ද නා හිමියන් විද්‍යාලෝක පිරිවෙනේ අභිමනාවත් වූ ප්‍රෞඪත්වය යළි යළිත් මතුකරලීම සඳහා දිවා රාත්‍රී වෙහෙසී ක්‍රියා කරනු ලබන අතර දානපති ඩේසි ගුණවර්ධන මැතිනිය විසින් විද්‍යාලෝක පිරිවෙනේ ආරම්භයේදී ඉදි කළ සංඝාවාස මන්දිරය දිරාපත්වී ඇති බැවින් නව දෙමහල් සංඝාවාසය සහිත පුස්තකාලය ඉදි කිරීමට නන්ද නා හිමියන් ක්‍රියා කරනු ලැබුයේ අපවත් වී වදාළ අකුරැටියේ නන්දසාර නා හිමි ගුණානුස්මරණය පිණිසය. විද්‍යාලෝක පරිවේනාධිපති රාජකීය පණ්ඩිත පිණිකහනේ සමිත හිමි ශාස්ත්‍රපති අකුරැටියේ විනීත හිමියන් ඒ සඳහා කැපවීමෙන් ක්‍රියා කරනු ලැබූ අතර ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායක බද්දේගම දේවරක්ඛිත නාහිමියන්ගේද අවවාද අනුශාසනා ඒ සඳහා නොමඳව ලබා දෙනු ලැබූහ.

අභිනවයෙන් ඉදි කළ ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් විහාරස්ථ අකුරැටියේ නන්දසාර නාහිමි ගුණානුස්මරණ දෙමහල් සංඝාවාසය සහිත පුස්තකාලය විවෘත කිරීම 2016 ජූනි 25 වන දින ශ්‍රී ලංකා ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිඳුන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ද විශේෂ සහාය ලැබුණි.

 

  පොසොන් අමාවක පෝය

  පොසොන් අමාවක පෝය ජූලි 03 වන ඉරිදා අපර භාග 06.53 ට ලබයි. 4 වනදා සඳුදා පූර්ව භාග 04.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 04 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 11 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]