UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මපදයෙන් :  සියලු දෙයට මනස මුල්වෙයි

ධම්මපදයෙන්: 

සියලු දෙයට මනස මුල්වෙයි

උපදේශාත්මක ධර්ම ග්‍රන්ථයක් වශයෙන් ධම්මපදයෙහි වැදගත්කම ඉතා ඉහළය. ආගමික භේදයකින් තොරව සෑම අයෙකුටම තම ජීවිතය අර්ථවත් කරගැනීමට අවශ්‍ය උපදෙස් එහි ඇතුළත් වේ. ධම්මපදයෙහි පළමු වග්ගය යමක යනුවෙන් හඳුන්වන්නේ එහි අන්තර්ගත ගාථා යුගල වශයෙන් ඉදිරිපත් කර තිබෙන හෙයින්ය. එයින් එක් අතකින් යහපත් අංශයත් අනෙක් අතට අයහපත් අංශයත් පැහැදිලි කරයි.

හොඳ නරක, යහපත අයහපත, වැරදි දෙය හා නිවැරදි දෙය මෙම යුගල ගාථා මගින් පැහැදිලි කරනු ලැබේ. ඒ අනුව යමෙකුට යම් දෙයක හොඳ පැත්ත මෙන්ම නරක පැත්තත් එකවර අවබෝධ කරගත හැකිවේ. යමක වග්ගයේ පළමු ගාථා දෙකෙහි මූලික අර්ථය වන්නේ “සියලු ධර්මයෝ මනස පෙරටුකොට ඇත. මනස ශ්‍රේෂ්ඨකොට ඇත. මනසින්ම උපන්නේය. ඉදින් දූෂීත වූ මනසින් යමක් කියන්නේද? කරන්නේද? රිය සක ගැල අදිනා ගොනුගේ පිය සටහන් අනුව ගමන් කරන්නාක් මෙන් දුක ඔහු අනුව ගමන් කරයි. එහෙත් යමෙක් යහපත් හා ප්‍රසන්න සිතින් යමක් කියන්නේද? කරන්නේද? තමා අත් නොහැර යන සෙවණැල්ල සේ සැප ඔහු අනුව ගමන් කරයි” මෙම සරල අර්ථය .තවදුරටත් පැහැදිලි කළ විට එයින් අදහස් කෙරෙන්නේ කුමක්දැයි වටහාගත හැකිවේ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් එයින් ඉදිරිපත් වෙයි.මෙහි දැක්වෙන්නේ මනස සියලු ධර්මයන්ට මුල්වන බවයි. මනස යනුවෙන් බුදුසමය ඉදිරිපත් කරන්නේ මනින්ද්‍රියයි. බුදුසමයට අනුව ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යනුවෙන් ඉන්ද්‍රියන් හයක් තිබේ. නවීන විද්‍යාව ඉන්ද්‍රියන් පහක් පිළිගන්නා අතර මන යනුවෙන් ඉන්ද්‍රියක් නොපිළිගනී. එසේම බටහිර මනෝවිද්‍යාව පිළිගන්නේද ඉන්ද්‍රියන් පහකි. බුදුසමය මන යනුවෙන් ඉන්ද්‍රියක් ඉදිරිපත් කරයි. රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ යන අරමුණු ඇස, කන, නාසය, දිව , ශරීරය යන ඉන්ද්‍රියන්ට ගෝචර වේ. ධම්ම හෙවත් සිතිවිලි මන යන ඉන්ද්‍රියට ගෝචර වේ. මන යන ඉන්ද්‍රිය සෙසු ඉන්ද්‍රියන්ට වඩා බලවත් වෙයි. සෙසු ඉන්ද්‍රියන්ට හැකියාව තිබෙන්නේ එයට අදාළ අරමුණු පමණක් දැන ගැනීමටය. එහෙත් මන ඉන්ද්‍රියට සෙසු ඉන්ද්‍රියන්ගේ අරමුණුද ගත හැකිය. ඒ අනුව මනසින් රූප ශබ්ද, ගන්ධ , ස්පර්ශ වින්දනය කළ හැකිවේ. මෙනිසා මන යන ඉන්ද්‍රිය වඩාත් බලවත් වේ. මනසට අරමුණු වන්නේ ධර්මය, මෙහිදී ධර්ම යනුවෙන් අදහස් වන්නේ සිතිවිලි හා කල්පනාවන්ය. එම සිතිවිලි කුශල අකුශල වශයෙන් කොටස් දෙකකට බෙදේ. ලෝභ, දෝස, මෝහ මූලික කරගත් සිතිවිලි අකුශල සහගතය. අලෝභ අදෝස අමෝහ මූලික කරගත් සිතිවිලි කුශල සහගතය. සියලු කුශලාකුශල සිතිවිලි කල්පනා මනස මුල්කොට පවතී. මනස අධිපතිකොට පවතී. ඒ සියල්ල මනසින් උපන්නේය. මනස පවතින්නේ සිතිවිලි අරමුණු කරගෙනය. වේදනා, සංඥා , සංඛාර යනුවෙන් විවරණය කෙරෙන්නේ එම කුශලාකුශල සිතිවිලිවල ගැඹුරු ක්‍රියාකාරිත්වයයි. අප යමක් කරන විට පළමුව මනසින් ඒ ගැන සිතා දෙවනුව කයින් වචනයෙන් එය ක්‍රියාත්මක කරයි. මනසේ ඇතිවන විවිධ සිතුවිලි හෙවත් ධර්ම අප විසින් වචනයෙන් හා ක්‍රියාවෙන් ප්‍රකාශ කරනු ලැබේ.අපගේ වාචසික හා කායික ක්‍රියාවල පදනම මනසයි. මනසේ පවතින ධර්ම හෙවත් සිතිවිලි චේතනා කල්පනා අදහස් අයහපත් වූ විට අපගේ ක්‍රියාවන්ද අයහපත් වේ. අයහපත් සිතිවිලි වලින් යුක්තව අප සිදුකරන සෑම ක්‍රියාවක්ම අප දුකට හා වේදනාවට පත් කරයි. පළමු ගාථාවෙහි මෙම ස්වභාවය පැහැදිලි කරන්නේ ගවයාගේ පියවර අනුව යන කරත්ත රෝදය වැනිය යනුවෙනි. මෙම උපමාව තරමක් ගැඹුරින් විමසා බලන විට අයහපත් මනසින් කරන ක්‍රියාව කොතරම් දුක්ඛදායකදැයි වටහා ගත හැකිය. ගවයා කරත්තය ඇදගෙන යන්නේ මහත් වෙහෙසක් දරමින්ය. රෝදය ඉදිරියට යන්නේ ගවයාගේ මෙම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසය. ගවයෙකුට කරත්තය ඇදගෙන යාමේදී නොයෙක් දුක්වේදනාවන්ට ලක්වීමට සිදුවේ. අපිරිසුදු සිතිවිලි වලින් යමක් කළ පුද්ගලයාට එහි විපාක විඳින්න සිදුවන්නේ ඉතාමත් දුක්ඛදායක ආකාරයටය. ඇතැම් විට වද බන්ධනවලට මෙන්ම සිර දඬුවම් විඳීමටත් මරණය හෝ මරණය හා සමාන දුකකට මුහුණ දීමටත් සිදු වේ.

එහෙත් ප්‍රසන්න සිතිවිලි සහිත මනසින් යමක් කියන්නේ නම් හෝ කරන්නේ නම් එයින් පුද්ගලයාට යහපත සිදුවේ. එම යහපත නිරායාසයෙන්ම ලැබෙන බව තමා අත් නොහැර යන සෙවණැල්ල මෙන් යැයි දැක්වීමෙන් පැහැදිලි වේ. සිරුර හා බැඳී පවතින සෙවැණැල්ල පුද්ගලයාට කරදරයක් හෝ පීඩාවක් නොවේ. එමෙන් තමා කළ යහපත් ක්‍රියාවේ ප්‍රතිඵල පුද්ගලයාට සැපයක් වේ. එම සැපය ඔහු අත්නොහැර ගමන් කරයි. මෙම ගාථා දෙකින් පැහැදිලි කරන්නේ අප විඳිනා දුක්ඛදායක හෝ සුවදායක විපාක අප විසින්ම අපගේ යහපත් හෝ අයහපත් මනසින් සිදුකළ ක්‍රියාවල ප්‍රතිඵල බවයි. අපගේ සියලු ක්‍රියාවල නිර්මාතෘවරයා අපගේ මනසයි.

මෙම ගාථා දෙක විවරණය කිරීමේදී අටුවාචාරීන් වහන්සේලා පළමු ගාථාවට චක්ඛුපාල තෙරුන්ගේ කථා පුවතත් දෙවැන්නට මට්ටකුණ්ඩලී කථා පුවතත් නිදසුන් කොට දක්වති. පෙර අත් භවයක වෛද්‍යවරයෙකු වශයෙන් චක්ඛුපාල තෙරුන් සිදුකළ අයහපත් ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන භවයෙහි දෑස් අන්ධ වූවෙක් බවට පත්විය. ප්‍රතිකාරය වෙනුවෙන් කිසිවක් නොලැබීම හේතුවෙන් ඇතිකරගත් වෛර සිතින් සිදු කළ ක්‍රියාව දෙවන භවයේදි දෑස් අන්ධ වීමට හේතුවිය. අප සිදුකරන ඇතැම් අයහපත් ක්‍රියාවන් සාධාරණීය කිරීමට හේතු තිබිය හැකිය. චක්ඛුපාල කථාවෙහි එන කාන්තාව වෛද්‍යවරයාට යමක් නොදීම නිසා එසේ කිරීම වරදක් නොවේයැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එම ක්‍රියාව සාධාරණීය කරන්නට කොතෙක් හේතු දැක්වුවද වෛද්‍යවරයා සිදුකළේ වරදකි. එම ක්‍රියාව ඔහු සිදුකළේ අයහපත් චේතනාවෙන් ය. එම ක්‍රියාවට පදනම් වූ මනෝ භාවයන් අපිරිසිදු ඒවාය. අපිරිසුදු මනසින් සිදු කළ හෙයින් විපාකයද අපිරිසුදු විය. එය දුක්ඛදායක විපාකයකි. කුමන හේතුවක් අනුව වුව අයහපත් චේතනාවෙන් සිදුකරන ක්‍රියා නිසා දුක්ඛදායක විපාකවලට ලක්වීමට සිදුවන බව ධම්මපද පළමු ගාථාවෙන් දෙන උපදේශයයි. කුමන හේතුවක් නිසා හෝ අයහපත් සිතින් යමක් කරන්නේ නම් එහි විපාක අනිවාර්යෙන්ම අයහපත් වනු ඇත.

ධම්මපද දෙවන ගාථාවෙන් එහි ප්‍රතිවිරුද්ධ අංශය වන යහපත් මනසින් සිදුකරන ක්‍රියාවලට යහත් විපාක ලැබෙන බව පෙන්වා දෙයි. ඉතා දැඩි ලෝභි ධනවත් පියෙකුගේ අණසකට යටත්වන අහිංසක දරුවෙකුගේ ඛේදජනක ඉරණම පිළිබඳ මට්ටකුණ්ඩලි කථාවස්තුවෙන් ඉදිරිපත් කෙරේ. ධනය ජීවිතය කරගත් ස්වකීය පියා කිසිදු යහපත් දෙයක් නොකළත් මට්ඨකුණ්ඩලී යහපත් ජීවිතයක් ගත කළ දරුවෙකි. මෙම අහිංසක අසරණ දරුවා තමා මරණාසන්න මොහොතෙහි බුදුරදුන්ගේ රුව දැකීමෙන් ඇතිකරගත් ප්‍රසාදය දෙව්ලොව උපත ලැබීමට උපකාරි විය. මානසිකව ඇතිකරගත් ප්‍රසාද ජනක සිතුවිල්ල කුශල සහගත එකක් බැවින් ඔහුගේ මතු ජීවිතය යහපත් විය. එමෙන් අප යහපත් මනසින් සිදුකරන සෑම කායික හා මානසික ක්‍රියාවක්ම අපගේ යහයපත පිණිස පවතී.

ධම්මපදයේ අන්තර්ත ගාථාවෙහි අර්ථය වඩාත් පැහැදිලි කරන ධම්මපදට්ඨකථාවේ එන කථාවස්තු විවිධ අංශයෙන් වැදගත් වේ. මෙම කථා හුදෙක් කථාවක්ම පමණක් නොවේ. මිනිස් චර්යාව මෙන්ම මිනිස් මනසේ ගැඹුරු ස්වභාවය මැනවින් නිරූපණය කරයි. එබැවින් මෙම කථා මනෝවිද්‍යාත්මක සමාජ විද්‍යාත්මක මෙන්ම සදාචාරාත්මක වශයෙන්ද වැදගත් වේ. ඉහතින් දැක්වූ ගාථා දෙකට අයත් කථා වස්තු විශ්ලේෂණය කළ විට පළමු කථාවෙන් තම වෛද්‍ය වෘත්තියේ වටිනාකම මැනවින් වටහා නොගත් වෛද්‍යවරයෙකු පිළිබඳවත් දෙවන කථාවෙන් ධනය ආත්මය කොටගත් අසාමාන්‍ය ගණයේ මසුරු පුද්ගලයෙකුගේ ජීවිත ස්වභාවයත් මැනවින් නිරූපණය වේ. මෙම කථාවස්තු දෙකෙහිම පෙන්වා දෙන චරිත ස්වභාවයන් තිබෙන පුද්ගලයන් කවර සමාජයක වුව දක්නට ලැබේ. එම චරිත ස්වභාවයන් සහිත පුද්ගලයන් නිසා ඔවුන් පමණක් නොව ඔවුන් සමීපයේ වෙසෙන්නන්ද දුකට හා පීඩාවට පත්වේ. කථා දෙකෙන්ම පෙන්වා දෙන්නේ අයහපත් චේතනාවෙන් සිදු කළ ක්‍රියාවට අයහපත් ප්‍රතිඵලත් යහපත් චේතනාවෙන් සිදුකළ ක්‍රියාවට යහපත් ප්‍රතිඵලත් ලැබෙන බවයි. එය තීරණය කරන ප්‍රධාන බලවේගය වන්නේ පුද්ගලයාගේ මනස හා ඒ හා සම්බන්ධ වුනු සිතිවිලිය. අයහපත් චේතනා,බැහැර කොට යහපත් චේතනාවෙන් සියල්ල කළ යුතු බව මෙයින් පෙන්වා දෙන උපදේශයයි.

 

 දුරුතු අමාවක පෝය

   දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 07 වැනිදා ඉරිදා අපරභාග 10.20 ට ලබයි. 08 වැනි දා සඳුදා අපරභාග 08.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි මස 08 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]