UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු අමාවක 2016.02.08

සංවර පැවැත්ම

“කායෙන සංවරො සාධු, සාධු වාචාය සංවරො, මනසා සංවරො සාධු සාධු, සබ්බත්ථ සංවරො” යනුවෙන් සංවරය කයින්, වචනයෙන් හා මනසින් යන සියලු අංශයන්ගේ සංවරබව සම්බුදු දහම අගයනු ලැබේ. සීලය, මූලිකව ම අවශ්‍ය වනුයේද එම කය ,වචනය සහ සිත යන තුන්දොරෙහි සංවරකම උදෙසාය. සංවර බවෙන් ඈත් වූ විට ඇති වනුයේ අසංවරබවය. අසංවරය” දුටුවන් අප්‍රසාදයට පත් කරවයි. දුටුවන් ප්‍රසාදයට පත් කරනුයේ සංවරකම, හික්මීම, හේතුවෙනි.

සංවරකම, හික්මීම, ගුණ යහපත් බවෙහි ප්‍රධාන ලක්ෂණයකි. සන්සුන් , සංවර, හික්මුණු දරුවකු පවා දුටුවිට ඒ දරුවා නම් හොඳ හැදිච්ච ගුණ යහපත් දරුවෙකි” යනුවෙන් අද පවා සමාජයෙන් ඇසෙනු ලැබේ. ඒ සාමාන්‍ය සමාජයේ වුවද හික්මීම, සංවරය සඳහා ලැබෙන චරිත සහතික වැනිය. සාමාන්‍ය සමාජය තුළ සංවරකමට, හික්මීමට එබඳු ගෞරවයක් හිමිවූයේ බෞද්ධ සමාජය ඉතා ඈත අතීතයේ සිටම ඉතා සංවරව හා සාමකාමීව සිට ජීවිතය ගත කිරීමට පුරුදු පුහුණු වී සිටි බැවිනි. එබඳු ආදර්ශවත් ජීවිතයක් ගත කිරීමේ හැකියාව, වාසනාව, බෞද්ධයාට නිරන්තරයෙන් හිමිවූයේ ධර්මානුකූල දිවි පෙවෙත හැම විට අගය කළ හෙයිනි.

කය, සිත, වචනය යන තුන් දොරෙහි සන්සුන්කම බාහිර වශයෙන් පමණක් නොව ආධ්‍යාත්මිකවද මහත් සහනයක්, සැනසිල්ලක්ම උදා කරවයි. එම තිදොර සංවරය ඇති කර ගැනීම පහසු කාර්යයක් නොවේ. එම අපහසුබව නිසාම තිදොර සංවරයෙන් යහපත උදාකරවන බව සම්බුදු දහම මගින් අවධාරනය කැරේ. ත්‍රිවිධ ද්වාර සංවරයෙන් තොර වු විට එබඳු මනුෂ්‍යයා පිරිහීමට පත් වෙයි. එපමණක් නොව ආධ්‍යාත්මික වශයෙන් පවා හරවත්, ගත යුතු යමක් ජීවිතයට ඒකරාශි කර ගනු නොලැබේ.

දරුවන් හදන වඩන ඇති දැඩි කරන මව්පියවරු අවවාද අනුශාසනා කරනුයේ ඒ දරුවන් යහපතෙහි පිහිටුවා යහමඟට ගැනීමටය. ගත සිත නොමගට ඇදීයාමට ගත වනුයේ ඉතා සුළු කාලයකි. ඉවසීමෙන් සැනසීම ලබා ගැනීමට සංවරකම අත්‍යවශ්‍ය වනුයේ එබැවිනි. ඉහත සඳහන් කළ අයුරෙන් දරුවන් වෙත මව්පියවරු අවවාද අනුශාසනා කළ පමණින් දරුවන් යහමගට ගැනීමට එය ප්‍රමාණවත් නොවනු ඇත. දරුවන් නිසි මඟට, යහමඟට යොමු කරවා ගැනීමට මව්පියවරු ආදර්ශවත් බවින්ද යුක්ත විය යුතුය. එසේ මව්පියවරු ආදර්ශයෙන් දෙන අවවාද දරුවන්ගේ සිතෙන් ඈත් නොවන අවවාද වනු ඇත. දරුවන්ට දෙමව්පියන් මෙන්ම ගුරුවරුන් ශිෂ්‍යයන් වෙතද එසේ ආදර්ශයෙන් අවවාද කළ යුතු වේ. ගිහි සමාජය, වෙත පැවිදි සමාජයෙන්ද එබඳු ආදර්ශ පෙරටත් වඩා වැඩියෙන් ලැබිය යුතු කාලයකි මේ.

ආදර්ශවත් ජීවිත කවදත් සමාජයට ආදර්ශයක්ම සපයනු ලැබේ. පුහුදුන් සිතෙහි ස්වභාවය ආවේග ගලා ඒමය. එහෙත් එසේ ගලා එන ආවේග පාලනය නොකළහොත් ආවේගවලට යටත්වුවහොත් මිනිස්කමට සිදුවන පාඩුව කෙතෙක්දැයි මැනිය නොහැකි තරම්ය. ද්වේශය, මෝහය, ආදියෙන් පරිහානිය උදාකරවන හෙයින් කායික මානසික හා වාචසික සංයමයෙන් ඊට මුහුණ දීමට අපොහොසත් වුවහොත් විවිධ කරදර පීඩාවන්ට යොමුවීම නොවැළැක්විය හැකිය. ඒ අනුව බලන විට චිත්තාවේග පාලනය කරගත හැකි වන්නේ නම් අසහනයෙන් අසංවරයෙන් ඈත්වී සංවරකම උදාකර ගැනීමට අපහසු නොවනු ඇත.

නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ සන්සුන් ඉඳුරන් දුටු අසෝක රජතුමා ධර්මාශෝක බවට පත්ව සුවාසු දහසක් ධර්ම ස්කන්ධය සිහිපත් කරමින් අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකරවීම ඓතිහාසික ශාසනික සිද්ධියකි. සන්සුන් සංවර පැවැත්ම උදාකරවන යහපත තේරුම් ගැනීමට එම කරුණ පමණක් වුවද, ප්‍රමාණවත් වනු ඇත. සංවර ගති පැවතුම් වලින් ඈත් වූ විට සමාජයේ දෝෂදර්ශනයට ලක්වීමද නොවැළැක්විය හැකි අතර සන්සුන් මනුෂ්‍යයාගේ ගුණ ඇගැයීමට තරම් සමාජය කාරුණිකය. අන්‍යයන්ගේ දෝෂ දර්ශනයට ලක්වීමෙන් වැළැකීමට නොව, දකින බලන අයගේ පැසසුම අපේක්ෂාවෙන්ද නොව ගුණවත් සංවරදිවි පෙවෙත තුළින් තමන් වෙත ආධ්‍යාත්මික වශයෙන්ද උදාකර දෙනුයේ වටිනා සම්පතකි.

ජීවිතයෙහි වටිනාකම පිළිබඳ සුළුවෙන් හෝ යම් අවධානයක් යොමු කර අවබෝධයක් ලැබිය යුතුවේ. එසේ ලබන අවබෝධය හේතුවෙන්ද තිදොර සංවර කර ගැනීමෙන් යහපත් ගුණබර ජීවිතයක් ගත කිරීමට එයද හේතුවක් වනු ඇත. ධර්මානුකූලව පමණක් නොව සමාජයේ යහපත් පුරවැසියෙකු ලෙස වුවද ජීවත්වීමට සන්සුන් ගති පැවැතුම් අත්‍යවශ්‍යය. එබඳු යහගුණ උදාකර ගැනීමට හැකියාවන් ඇති මනුෂ්‍යයා මෙලොව යහපත නිරතුරුවම උදාකරගනු ඇත.

 

 දුරුතු අමාවක පෝය

   දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 07 වැනිදා ඉරිදා අපරභාග 10.20 ට ලබයි. 08 වැනි දා සඳුදා අපරභාග 08.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි මස 08 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]