UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආශා සහ අවශ්‍යතා හඳුනා ගැනීමට දුෂ්කර වන්නේ ඇයි?

ආශා සහ අවශ්‍යතා හඳුනා ගැනීමට දුෂ්කර වන්නේ ඇයි?

සිල්වත්ව ජීවත්වීමට උත්සාහ දරන අපට එම සිල්වත් බව ආරක්ෂා කරගැනීමට නොහැකි වන ආකාරයේ චෛතසිකයන් ලෙස බාධාවන් පවතී. බූදුපියාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා වු ශ්‍රී සද්ධර්මයට අනුව සිල්වත්කම යනු කායික හා වාචසික සංවර කමයි. ආර්යය විනයට හා ආර්යය ධර්මයට අනුව සංවරකමේ අර්ථය ලෙස දක්වා ඇත්තේ සාමාන්‍ය සම්මුති ලෝකය තුළ පවතින සංවරකම නොවේ. සම්මුති ලෝකය තුළ කය වචනය සංවර වීම තුළින් අදහස් වන්නේ,කළබලකාරී බවෙන් හා ඝෝෂා කිරීමකින් තොරව, ගැටළු කාරී බවෙන් තොරව, සන්සුන්ව කටයුතු කිරීම කායික සංවරය හෙවත් වාචසික සංවරය ලෙස සළකනු ලබයි.

ප්‍රාණඝාත ආදී කායිකව සිදුවන වැරැදිවලිනුත්,මුසාවාදා වන වාචසිකව සිදුකරනු ලබන වැරැදිවලිනුත් සමිපූර්ණයෙන්ම ඉවත්ව එයින් මිදීම ආර්යය ධර්මය තුළ හෙවත් ආර්යය විනය තුළ පවතින සංවරකමයි. එකී සංවරකම ගොඩනගා ගැනීමට පවතින බාධාවන් මොනවාද?අප කෙතරම් සිල් සමාදන් වුවද, එය ආරක්ෂා කරගැනීමට අති දුෂ්කර කාර්යයක් වී තිබෙන්නේ පවතින බාධාවන් හඳුනාගෙන එයින් මිදී ආරක්ෂාවීමට දරන උත්සාහවන්තකම ප්‍රමාණවත් නොවීමයි. මිනිසුන් දුසිල්වත් කරන ප්‍රධාන චෛතසිකය ලෙස මිනිසුන් තුළ පවතින අප්‍රමාණ තෘෂ්ණාව බව බුදුසමය තුළ සදහන් වෙයි. තෘෂ්ණාව විසින් පුද්ගලයා සෑම අංශයකින්ම අධි පරිභෝජන රටාවකට අනුකූලව කටයුතු කිරීමට හුරුකරනු ලබයි. ඇඳුම් පැළඳුම් , ආභරණ, යාන වාහන ගෙවල් දොරවල් ඉඩම් කඩම් ආදී දේ තුළ මිනිසුන් අධි පරිභෝජනයට හුරුකර තිබෙන්නේ මිනිසුන් තුළ තිබෙන්නාවූ නිමාවක් නොදකින තෘෂ්ණාවයි. අධි පරිභෝජනයට තෘෂ්ණාව විසින් මිනිසුන් පෙළඹවීමේ ප්‍රතිපලයක් ලෙස මිනිසුන් දෛනිකව බහුභාණ්ඩිකව ජීවත්වීම සඳහා බොහෝ බඩු බාහිරාදිය රැස්කරනු ලබයි. තමාගේ ජීවිතයේ සාර්ථකත්වය ලෙස බහු භාණ්ඩිකවීම, සළකනු ලබයි. අධි පරිභෝජනය හෙවත් බහුභාණ්ඩික කම තුළ ජීවිතයේ සතුට සොයන පිරිසට ධර්මානුකූළ ක්‍රමවේද තුළින් නීත්‍යානුකූල ක්‍රමවේදතුළින්, සුචරිතයට සම්බන්ධ ක්‍රමවේදතුළින් දුෂ්චරිතයෙන් මිඳුණු ක්‍රමවේදතුළින්, කොපමණ කාලයක් බහු භාණ්ඩික කම පවත්වාගෙන යනු ලබයිද? බඩු බාහිරාදිය සඳහා බොහෝ සෙයින් ඇලෙමින් තෘෂ්ණාව ඇතිවෙන්න ඇතිවෙන්න බොහෝ ආහාරපාන ඇඳුම්, පැළඳුම්, යාන වාහන සඳහා තෘෂ්ණාවෙන් මුසපත් වෙන්න වෙන්න අප නොදැනීම අණන සුඛය ගිලිහීගොස් ණයකාරයකු බවට පත් වේ. එම දේ සඳහා අසීමාන්තික තෘෂ්ණාවකින් මුසපත් වෙන්න වෙන්න අප නොදැනීම අණන සුඛය ගිලිහී ගොස් ණය කාරයකු බවට පත්වේ. එම දේ සඳහා අසීමාන්තික තෘෂ්ණාවකින් මනස ඇලෙද්දී එම දේ තමා සතුකර ගැනීම සඳහා හෙවත් අත්පත් කරගැනීම සඳහා ණය වීමට පෙළඹේ.

ණය අධික කමින් ගෙවීමේ ක්‍රමයට හසුවීම නිසා ඇතිවන මානසික අසහනය හෙවත් මානසික පීඩාව, නිවැරදි වූත් ඉතාම නීත්‍යානුකූල වූත් මිනිසුන් නීත්‍යානුකූල නොවන ක්‍රියාවන් වලට පෙළඹේ. මිනිසුන් දුසිල්වත් වනුයේ ඔවුන් සිල් ආරක්ෂා කරගැනීමට අකැමැති නිසා නොවන බවත්, අකුසල ක්‍රියාවන් වල යෙදීමට පෙළඹෙනුයේ කැමැත්තක් හෝ සතුටක් තිබෙන නිසා නොවේ. ම්නිසුන් නිතරම පන්සිල් ආරක්ෂාකර ගැනීමට කැමැතිවන අතර, මිනිසුන් පන්සිල් ගනු ලබන සෑම මොහොතකම මිනිසුන් ඉතාම කැමැත්තෙන් පන්සිල් සමාදන් වෙයි.බෞද්ධයන් වන ඔවුන් පන්සිල් ආරක්ෂා කිරීමට ඉතාම කැමැත්තෙන් සිටියි. ප්‍රසිද්ධියේ පන්සිල් බින්ඳත් රහසින් පන්සිල් බින්ඳත් එය පාපයක් බව මිනිසුන් දක්නා කාරණාවක් වුවද, මිනිසුන් තෝරාගෙන තිබෙන ජීවන ක්‍රමය ඔවුන්ට සිල්වත්ව යහපත්ව ජීවත්වීමේ පරිසරයක් ගොඩනැගෙන්නේ නැත. ඔවුන් තෝරාගනු ලබන්නාවූ ජීවිතය සරල විය යුතුය. ඔබට නඩත්තු කළ හැකි ප්‍රමාණයට බඩු බාහිරාදිය ලඟාකර ගැනීමෙන් ඔබගේ පංචශීලය ආරක්ෂාකර ගැනීමට ඔබට පහසුවක් වේව්. ඔබ තෝරාගැනීමට යාමේදී කල්පනාකාරී නොවුණහොත් යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාත්මක නොවුන හොත් ඔබට නොදැනීම තෘෂ්ණාවට ආශක්ත වීම නිසාම ඔබගේ තෝරාගැනීම විශාල ණය කාරයකු බවටත් වංචාකාරයකු, බවටත් පත්විය හැකියි.

මිනිසුන් තෝරාගෙන තිබෙන්නාවූ ජීවිතය සත්‍ය ප්‍රකාශ කර පහසුවෙන් ජීවත්විය නොහැකි නිසාම බොරුකාරයකු වංචාකාරයකු බවට පත් වේ. ඔබගේ ජීවිතය තුළ සැමවිටම තෝරා ගැනීමේදී අවශ්‍යතා සහ ආශාවන් වෙන් වෙන් වශයෙන් හඳුනාගත යුතුයි. ආශාවන් සහ අවශ්‍යතාවන් හ ඳුනා ගත නොහැකි පුද්ගලයන්ට මේ භවය තුළ පංචශීලය ආරක්ෂා කළ නොහැකියි. ආශාව හා අවශ්‍යතාව වර්ග දෙකක් බව අවබෝධ කරගැනීමට ඔබ බුද්ධිමත් වුවහොත්, ඤාණය උපදවාගත හොත් වීර්යය වන්ත වුවහොත්, නිවැරැදි ජීවිතයක් කරා යොමුවීමට ඔබට හැකි වෙයි. ඔබගේ අරමුණු විසින් ඔබගේ චෛතසිකය ඉතාම වේගයෙන් ඔබ බරපතල ලෙස අවුස්සන ස්වභාවයක් තුළ මෙය නිවැරැදි කරගත යුතු බව ඔබ අවබෝධ කරගත යුතුයි. මීට පෙර ජීවත් වූ මිනිසුන්ට තෝරාගැනීමේ ගැටළුවකට මුහුණපාන්නට සිදු නොවුනේ භාණ්ඩ හා සේවා විශාල වශයෙන් නොතිබණු අතර ඒ සඳහා විශාල ප්‍රචාරන ක්‍රියාවලියක් ද ක්‍රියාත්මක වූයේ ද නැත. එම භාණ්ඩ හා සේවා අපට අවශ්‍ය වන බවට දැඩි ලෙස ඒත්තු ගන්වන දැන්වීම් කරණයක් තිබුණේද නැත. ප්‍රචාරණ ක්‍රියාවලියට හසුවන තරම් දැඩි ලෝලත්වයෙන් යුක්ත තෘෂ්ණා චෛතසිකය මිනිසුන් ඇතුළත ක්‍රියාත්මක වෙනවා. අපගේ මනස බාහිරින් අසංවර කරන බාහිර අරමුණු එක පිට එක පිට එල්ලවෙමින් පවතින නිසාම අපගේ චෛතසිකයන් දැඩිව වියරු වැටී ඇත. අප තුළ සර්පයන් ජීවත් වුවද , එම සර්පයන් අවදිකරන්නට තරම් ශක්ති සමිපන්න අසංවර කමක් එදා සමාජය තුළින් ගොඩනැගී තිබුණේ නැත. එනිසාම වර්තමානය වන විට ආශා සහ අවශ්‍යතා හඳුනාගැනීමට මිනිසුන්ට දුෂ්කර කාර්යයක් වේ. මිනිසුන් වන අප ඒ සඳහා උත්සාහ කළ යුතුයි. එම අවස්ථාව මිනිසුන් වන අපට තිබුණද, නිරි සතුන්ට අසුර ලෝකයේ සතුන්ට නැත. තමාගේ අවශ්‍යතා අනුව තෝරාගැනීමේ නිදහස මිනිසුන්ට තියෙනවා. රාගයෙන් මුසපත් වුන පරිසරයක් තුළ දෙවිවරු ජීවත්වන නිසා දෙවිවරුන්ටත් එම අවස්ථාව ඇතැම් විට ගිලිහිලා යනු ඇත. ද්වේශයෙන් මුසපත් වුන පරිසරයක් තුළ නිරිසතුන් ජීවත් වන අතර, රාගය දිව්‍ය ලෝකය නියෝජනය කරයි. මිනිස් ලෝකය දිව්‍ය ලෝකය තරම් රාගයෙන් මුසපත් වු ස්ථානයක් නොවන බව ඔබ තේරුම් ගත යුතුයි. දිව්‍ය ලෝකය තුළ ජීවත්වන සියලු දෙවිවරුන් ධර්මය නොදන්නා බව එයින් නොහැගේ. මිනිස් ලොව නිරය තරම් ද්වේෂයෙන් මුසපත් වූ ස්ථානයක් නොවේ. එම ස්ථාන දෙකටම සාපේක්ෂව මධ්‍යස්ථ ස්ථානයක් මිනිස් ලොව තුළ පවතියි. මිනිසුන්ට අවශ්‍යතා හා ආසා හඳුනාගැනීම සඳහා අවකාශය ගොඩනැගී තිබෙන්නේ මෙවැනි පරිසරයක් තුළයි. දිව්‍ය ලෝකය තරම් රාගික නොවීමත්, නිරය තරම් ද්වේෂ සහගත නොවීමත් නිසා තෝරාගැනීමද පහසුවේ. ඔබගේ ගෙදරට, ඔබගේ ජීවිතයට තෝරාගනු ලබන පුද්ගලයන්, දේවල් ඔබගේ අවශ්‍යතා සහ ඔබට කටයුතු කළ හැකි සීමාව මත තෝරාගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුයි.

තමන්ට ලැබෙන ආදායම පිළිබඳව අවබෝධයකින් තොරව, වෙළෙඳ ප්‍රචාරණවලට ලොල් විමෙන් වඩාත් එහාට ගිය වියදම් ලැයිස්තුවක් ඔබ තෝරාගත හොත් ඔබට පන්සිල් ආරක්ෂා කිරීමට ලැබෙන්නේ නැත. විවාහය තුළ තෝරාගනු ලබන වැරැදි චරිත නිසාම ඇතැම් අය නිත්‍යානුකූල නොවන ආකාරයට මුදල් හම්බකිරීමට පෙළඹී දුසිල්වත් චරිත බවට පත්වී තිබේ. පඩියට අමතරව එවැනි මුදල් ප්‍රමාණයක් මාසිකව එකතු කිරීමට නොහැකි වුවහොත් දැඩි අර්බුදයකට මුහුණ පාන්නට සිදුවේ. එවිට ඔබගේ තෝරාගැනීම ඇතැම් විට ඔබ හොරෙක් හෝ ඔබ බොරුකාරයකු කරාවි. ඔබ කාමමිත්‍යාචාරය දක්වා ගමන් කරවීමට මාර්ගය කපා දෙයි. ගත් ණය පියවීමට ක්‍රමයක් නැතිව ගිය හොත් ණය හිමියා කාමාශක්ත වූවෙකු නමි, ඔහු කාන්තාවකට තවදුරටත් සිල්වත්ව සිටීමේ අවස්ථාව අහිමිකර දමාවි. බොහෝ විට ජීවිතය පුරාම සිල්වත්ව ජීවත් වූ ඇතැම් අය තමාගේ ශරීරය විකුණන තැනට පෙළඹී ඇත්තේ තෝරාගැනීම නිසයි. බෞද්ධ ගිහියන් තමාගේ තෝරාගැනීම සම්බන්ධව ඉතාම ප්‍රවේශම් විය යුතුයි. තෝරාගැනීමේදී බහු භාණ්ඩික කමට තිබෙන ලෝලත්වයෙන් ඔබට නිදහස් වීමට ලැබුණහොත් ඔබගේ අවශ්‍යතා නිවැරැදිව හඳුනා ගැනීමට හැකියාව ලැබුණහොත් තෘෂ්ණාව පාලනය කරගත හොත් පන්සිල් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පරිසරය උදාවේ. සොරකම් කිරීමට පෙළඹෙනුයේ අවශ්‍යතාවලට වඩා අනුන්ගේ දේට තිබෙන ආශාව නිසයි. අනුන්ට අයිති දෙයක් තමාට ලබාගැනීම හෝ තමාට අයත් නොවන වැරැදි දෙයක් තමා සතුව තබා ගැනීම සඳහා බොරු කීමට පෙළඹවේ. ඔබ තුළ පවතින්නාවූූ තණ්හාව ඔබ කෙතරම් දුරට පාලනය කරනවාද? යන කාරණාව මත ඔබගේ පන්සිල් ආරක්ෂා කිරීමේ ප්‍රමාණය රැදී පවතියි.

ඔබ අධි පරිභෝජනයෙන් වැළකීම යනු, අරපිරිමැස්ම යන කාරණාව මිස කුම්මැහිකම නොවන බව අවබෝධ කරගත යුතුයි. බහු භාණ්ඩික කමෙන් වැළකීම යනු, අල්පේච්ජ තත්වය මිස තෘෂ්ණාව නොවන බව තේරුම් ගත යුතුයි. අරපිරිමැස්මේ මුවාවෙන් ඔබ තුළ තෘෂ්ණාව ගොඩ නැගිය හැකියි. ආරක්ඛ සම්පදා ලෙස දැඩි ලෝභය ඔබ තුළ ගොඩනැගිය හැකියි.මසුරුකම අරපිරිමැස්ම නොවන අතර අප විසින් ඉවත් කළ යුතු අනවශ්‍ය බඩු බාහිරාදිය ඉවත් නොකර තබා එය අරපිරිමැස්ම ලෙස අර්්ථකතනය කිරීම ඉතාම වැරැදියි. මසුරුකම අරපිරිමැස්ම ලෙස තේරුම් නොගත යුතුයි. අරපිරිමැස්ම තුළ අවශ්‍ය අවස්ථාවන් වලදී කළ යුතු වියදම නිර්ලෝභීව කළ යුතුයි. අනවශ්‍ය සැරසිලිවලට වියදම් නොකර අවශ්‍ය කාරණාව සඳහා වියදම් කළ යුතුයි. අනවශ්‍ය සැරසිලි සඳහා වියදමි කිරීම නාස්තිය වන අතර, අවශ්‍ය කාරණාවට වියදම් නොකර සිටීම මසුරුකම වේ. විවාහ උත්සවයක් , කුඩා දරුවකුගේ උත්සවයක් , ව්‍යාපාරික ආයතනයක් ආරම්භකිරිමක් තුළ ඊට අදාල කාර්යයන්ට වඩා අනෙකුත් අයටත් පෙනීම සඳහා වැඩිපුර දෙයක් කළ යුතු බවට බෞද්ධයන් කල්පනා කරනු ලබයි. මඟුල් ගෙදරකට පසුව, මළදෙඟරකට පසුව අප විශාල ණය කන්දකට යටවි ඇත්තේ අනුන්ට පෙනෙන්න අනවශ්‍ය වියදම් කිරීම පෙළඹීම නිසයි. ණය බරින් පීඩා විඳින පිරිස නීති ගරුක නොවන චර්යාවන්ට යොමුවීම වැළැක්විය නොහැකි බව වටහා ගත යුතුයි. චෛතසිකයන් ලෙස අප තුළ පවතින මාන්නය සිල් රැකගැනීමට බාධාවන් වේ. වර්තමාන සමාජය තුළ තෘෂ්ණාවට වඩා මාන්නය ප්‍රබල ගැටළුවක් වී පවතියි. මිනිසුන් කෙතරම් මාන්නාදික වෙලාද කිවහොත්, අනෙකුත් අයට වඩා උඩින් සිටීමට දැවැන්ත ලෙස දානයන්ද දෙනු ලබයි. ඒ තුළ දීම යන චෛතසිකයට වඩා පෙනීම හෙවත් මතුවීම යන මාන්නය පවතියි.

නිහතතමානී වීම දුෂ්කර කාර්යයක් වුවද, අනතිමානි විය හැකියි. දැඩි මාන්නයකින් මනස පුරවාගෙන යම් යම් තෝරාගැනීම් කරනවා වෙනුවට දේවල් තීරණය කරණවා වෙනුවට එම මාන්නය සැළකිය යුතු මටිටමකට හෝ අඩුකරගෙන දේවල් තීරණය කරනවා නම්. අපට මෙයට වඩා සිල්වත් විය හැකියි. මාන්නය හේතුකොටගෙන ලෝකයේ බොහෝ මිනිසුන් විශාල ලෙස පව් රැස්කරනු ලබයි. ලෝකයේ මිනිසුන් තුළ පන්ති අරගල ආරම්භ වී මිනිසුන් මැරිය යුතුය යන ස්ථාවරයට මිනිසුන්ගේ චෛතසිකය වර්ධනය වූයේ එක පිරිසක් දිගු කාලීනව අඛණ්ඩව මාන්නයෙන් ක්‍රියා කරද්දී තව පිරිසක් එම පීඩාව තුළ වෛරයක් හටගැනීම නිසයි. අධ්මාන්නයත්, හීනමානයත් යන මානයන් දෙකම දුරුකරමින් නිහතමානී වුවහොත් එකිනෙකා මරාගැනීම හා එකිනෙකාගේ දේපළ නාස්තිකර ගැනීම නවතා සිල් රකින පරිසරයක් ගොඩනැගෙන අතර මාන්නය යන චෛතසිකය අපට යහපතක් ඉටුකර දෙනු නොළබයි.

මිනිසුන් පිළිගත්ත, මතවාද , දර්ශන තුළ සදාකාලික පැවැත්මක් පවතිනවාය යන විශ්වාසය නිසා මිනිසුන් පංච දුෂ්චරතයට බිය නැතිව කටයුතු කරයි. බොහෝ දෙනා දුසිරිත්වලට පෙළඹෙනුයේ වැරැදි දෘෂ්ටි හේතුකොට ගෙනයි. මෙලොවක් නැත. පරලොවක් නැත, මව මැරුවාට පියා මැරුවාට පවක් නැත. යන වැරැදි දර්ශන වලට මිනිසුන් එළඹෙන්නේ මිනිසුන්ගේ කටින් කඩු කිනිසි වැනි ඉතාම භයානක වාක්‍ය අනෙකාගේ ජීවිතයට එල්ලකරනු ලබයි. වැරැදි පිළිගැනීම්, වැරැදි මතවාද, වැරැදි දෘෂ්ටි මිනිසුන් පවි කාරයන් කරනු ලබයි. මේ ලෝකය තුළ ඔබ අප හැම කෙනෙක්ම තුළ තිබෙන එම චෛතසික තුන නිසා සිල්වතුන් විය නොහැකියි. මෙම චෛතසිකයන් තුන නිසා අපට සිල්වත් විය නොහැකි බව ඔබ අවබෝධ කරගත යුතුයි. තෘෂ්ණාව, මාන්නය අප වැළඳගනු ලැබූ දෘෂ්ටි මරණයෙන් බේරාගත නොහැකිව තිබූ මිනිසුන් පවා ෙබිරා නොගෙන මරණය වැළඳගැනීමට ඉඩ දීමට තරම් ඇතැම් ආගමික දෘෂ්ටීන් විසින් හෝ දේශපාලනික දෘෂ්ටීන් විසින් අපගේ මනසට ඇතුළුකර තිබෙන්නාවූ වැරැදි අදහස් හෙවත් වැරැදි දෘෂ්ටීන් නිසා මිනිසුන් තවත් මිනිසුන් පිරිසක් මැරෙන තුරු බලාසිටීමට පෙළඹෙයි. මිනිසුන් තවත් මිනිසුන් පිරිසක් මරා දමමින් ප්‍රීතියක් ලබයි. හතුරාගේ අතින් මිය යාමට වඩා හෝ සතුරාගේ අතින් පරාජය ලබා ජීවත්වනවාට වඩා දිවි තොරකර ගැනීම හොඳ බව සිතෙයි. යටත් වෙනවාට වඩා දිවි තොරකර ගැනීම හොඳ බව ඔවුන් තුළ පවතින දෘෂ්ටියයි. ඇතැමි දෘෂ්ටීන් අනෙකා නැසීමට අවි එසවීමට තරම් පෙළඹීම් කරනු ලබයි. තෘෂ්ණාව, මානය, දිටිඨි නැති කර ගත යුතු බව බුදු දහම යෝ ජනා කර ඇත. තණ්හාව ප්‍රහාණය කිරීමත්, මානය ප්‍රහාණය කිරීමත්, දෘෂ්ටි ප්‍රහාණය කිරීමත් මහරහත්බවට හේතු වේ.

 

 දුරුතු අමාවක පෝය

   දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 07 වැනිදා ඉරිදා අපරභාග 10.20 ට ලබයි. 08 වැනි දා සඳුදා අපරභාග 08.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි මස 08 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]