UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ලියන ඔබට කියන වග නම් ....

පසුගිය සතියේ අපට ලැබුණු ලිපියක සඳහන් වූ ඉල්ලීමක් මුල් කොට ගෙන බුදුසරණෙහි ප්‍රතිපත්ති ගැන කතා කිරිම පිණිස අද දින මේ තීරුව වෙන් කැරේ. බුදුසරණ පාඨකයකු වන මහනුවර අංකුඹුර ප්‍රදේශයේ පදිංචි ආර්. අනුර පියතිස්ස මහතා විසින් ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට යොමු කැර තිබූ එම ලිපිය අප වෙත ද එවා තිබේ. පියතිස්ස මහතා විසින් 2004.05.17 දින සිට 2008.12.16 වන දින දක්වා වූ කාලය තුළ බුදුසරණට එවන ලද ලිපි නවයක් පළ නො වීමට හේතු සොයා බලා දැනුම් දෙන ලෙස ඔහු ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමෙන් ඉල්ලා ඇත. අප ගේ දැන ගැනීම සඳහා එම ලිපියෙහි පිටපතක් යොමු කළ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම ඊට දක්වා ඇති ප්‍රතිචාරය මෙ සේ විය.

“අප කොමිසම කටයුතු කැරෙනුයේ යම් පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියකින් හෝ ලිපියකින් යමකුට අගතියක් සිදුව ඇත්නම් හා යම් මාධ්‍යවේදියකු හෝ යම් පුවත්පතක් මාධ්‍යවේදීන් සඳහා වන වෘත්තීය ප්‍රතිපත්ති මාලාවට පටහැනි ව කටයුතු කැර ඇති අවස්ථාවන් පිළිබඳ ව ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් පමණි. එ බැවින් වෙනත් ස්වරූපයේ පැමිණිලි සම්බන්ධයෙන් පියවර ගැනීමේ හැකියාවක් අප කොමිසම වෙත නොමැති බව ද කනගාටුවෙන් යුතු ව දැනුම් දීමට කැමැත්තෙමි.”

කෙ සේ වුව ද මෙය ඔහු ගේ ලිපියට දෙනු ලබන පිළිතුරක් නො වේ. බුදුසරණට එවූ ලිපි පළ නො වීම ගැන විමසන සියලු දෙනා ගේ අවධානයට යොමු විය යුතු කරුණු කිහිපයක් සඳහන් කිරීම මෙහි අරමුණ යි.

බුදුසරණෙහි පළ කිරීම සඳහා අප වෙත ලැබෙන ලිපි, කවි, ප්‍රවෘත්ති හා ඡායාරූප ප්‍රමාණය අති විශාල ය. ඇතැම් විට එ සේ ලැබෙන ලිපි සංඛ්‍යාව මාසයකට දහස ද ඉක්මවයි. එහෙත් සතර පොහොයට ම පළ කළ හැකි උපරිම ලිපි සංඛ්‍යාව හැත්තෑවකට අඩු ය. කෙ සේ වුව ද ලිපි දහසකින් සියයක් හෝ පළ කළ හැකි තත්ත්වයේ නොමැත. ප්‍රථමයෙන් ම මේ ලිපි අතුරින් හොඳ නිර්මාණ හඳුනා ගැනීමට උත්සාහ දරන්නෙමු. එහි දී රචනා ශෛලිය, විෂය කරුණු , නිවැරැදි අක්ෂර වින්‍යාසය ආදිය සැලැකිල්ලට ගනු ලැබේ. එ සේ තෝරාගත් ලිපි වුව ද පළ කිරීමට තිරණය කැරෙනුයේ එම පොහොය දිනට ඇති අදාළත්වය, ලිපියෙහි ප්‍රමාණය, එ වර පළවන ලිපි සමස්තයට එයින් ලැබෙන දායකත්වය වැනි කරුණු සලකා බැලීමෙන් අනතුරුව ය. එ පමණක් නො ව පරිගණක අකුරු කරණයේ දී ඇති වන අපහසුතා සලකා අපැහැදිලි අත් අකුරු සහිත ලිපි ආදිය ඉවත් කැරේ.

ඇතැම් අවස්ථාවල දී අප විසින් ම ආරාධනා කොට ලබාගත් ලිපි පවා පළ නො වන අවස්ථා තිබේ. අප බලාපොරොත්තු වන ප්‍රමිතිය නොමැති වීම ඊට හේතුවයි . මේ කුමන හේතු නිසා හෝ අප කර්තෘ මාණ්ඩලිකයන් ගේ මෙන් ම අප ආයතනයේ වෙනත් මාධ්‍යවේදීන් ගේ ද ලිපි ප්‍රතික්ෂේප කිරීම සිදු වේ. ඒ සියලු අවස්ථාවන්හි දී ඒවාට හේතු දැක්වීමට සිදු වුවහොත් ඇති වන තත්ත්වය කුමක් ද?

කෙ සේ වුව ද පුවත්පතක පළ කළ යුතු දේ කුමක්දැයි තීරණය කිරීමේ නෛතික හා සදාචාරාත්මක අයිතිය එහි කතුවරයාට හිමි ය. මාධ්‍ය නිදහස නමැති සටන් පාඨය මඟින් ඉල්ලා සිටින්නේ ද එම අයිතියයි. එහෙත්, පිළිගත් ආචාර ධර්ම වලට අනුකූල ව සාධාරණ අදහස් දැක්වීම් හා විවේචන සඳහා මෙන් ම අසත්‍ය කරුණු නිවැරැදි කිරීමට පාඨකයන් සතු අයිතියට ඉඩ දෙනු ලැබේ. මෙහි දී පවා ජාතිය , ආගම , භාෂාව ,දේශපාලනය, ලිංගිකත්වය වැනි සාධක මත යමකුට ඇතිවන පීඩාවන් ආදිය අවධානයට ලක්වන කරුණු ය.

අප මෙහි ආරම්භයේ දී සඳහන් කළ ආකාරයට ඉවත දැමීමට සිදුවන ලිපි විශාල ප්‍රමාණය ආධුනික ලේඛකයන් විසින් ලියන ලද ඒවා පමණක් ම නො වේ. බුදුසරණෙහි ලේඛකයන් ලෙස අතීතයේ දී ප්‍රකට ව සිටි අය ගේ ලිපි පවා පළ නො වන අවස්ථා බොහෝ ය. අප ඉතා අසීරුවට පත් වන්නේ ද එ බඳු අවස්ථාවල දී ය. මන්ද යත්, ඔවුන් ගේ නිර්මාණ පළ නො කිරීමට හේතුව පෞද්ගලික කරුණක් යැයි ඔවුන් සිතීමත්, අප විසින් පළ කිරීම ප්‍රතික්ෂේප කළ ඇතැම් නිර්මාණ වෙනත් පුවත්පත් ආදියෙහි පළවීමත් දක්නට ලැබෙන බැවිනි. බුදුසරණයෙහි පළවන්නේ ඉතා හොඳ නිර්මාණ පමණක් දැයි අභියෝගාත්මක ව අසන අය ද සිටිති. එයට දියහැකි පිළිතුර නම්, දුර්වල නිර්මාණ පළ කිරීමට සිදුවන අවස්ථා ඇති බව ය. හොඳ නිර්මාණ නොමැති වීම ඊට හේතුවයි.

සාර්ථක ලේඛකයකු වීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීමක් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ලියූ ‘කාලෝචිත ලිපි ‘ කෘතියෙන් උපුටා මෙහි දක්වමු.

“මගේ ම භාෂා ශෛලිය විග්‍රහ කැර බැලීමට මම යොමු වීමි. සිංහල පතපොතට වඩා ඉංගී‍්‍රසි පොත්පත් මා කියවා තිබූ බැවින් මා සතු සිංහල වචන මාලාව ඉතා සීමිත බව මට වැටහිණ. උපමා, උපමේය, රූපක , ප්‍රස්තා පිරුළු ආදිය ගැන මගේ දැනුම ඉතා අල්ප බව මට ඒත්තු ගියේ ය. ඒ ඌනතා නිසා ම , උත්සාහ කළේ මා කියන්න අදහස් කළ දේ හැකිතාක් පැහැදිලි ව හැකිතාක් කෙටියෙන් කීමට ය. මා ලියූ වාක්‍යයක ප්‍රකාශ කිරීමට අදහස් කළ දේ පැහැදිලි ව අඩංගු වී තිබේ නම්, මම සෑහීමකට පත් වෙමි. ඒ වාක්‍යය අලංකාර කිරීමට යත්න නො දරමි. අලංකාරෝත්ති මා නො දන්නා බැවිනි .”

තමා ගැන මෙවැනි නිවැරැදි තක්සේරුවක් තිබේ නම්, තම ලිපි පළ නොවීමට හේතු තමාට ම අවබෝධ වනු ඇත.

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුනි 22 වනදා සඳුදා පූර්ව භාග 4.43 ට ලබයි. 23 වන දා අඟහරුවාදා පුර්ව භාග 1.5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි 29 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]