UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තුන්තරා බෝධිය

නිවන් පසක් කර ගැනීම සඳහා තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්විය යුතු ය. මහා බෝධිය, පච්චේක බෝධිය, ශ්‍රාවක බෝධිය යනු තුන්තරා බෝධිය යි. ලොවුතුරා බුදුබව, පසේ බුදුබව හා රහත්බව ලැබීම යනුවෙන් ද මෙය ව්‍යවහාර කැරේ.

බෝධිය යන්නෙන් අදහස් වන්නේ මහා ඤාණය ලබා ගැනීමයි. දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය සහ මාර්ග සත්‍යය යන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම, මහා ඤාණයයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත් අයට ‘බුද්ධ’ යන නාමය භාවිතා කැරේ.

සම්මා සම්බුද්ධත්වය පතා පෙරුම් පුරන බෝධිසත්වරු එක සමාන නැත. වීර්යාධික, ප්‍රඥාධික සහ ශ්‍රද්ධාධික යනුවෙන් ඔවුහු ප්‍රභේද තුනකින් දහමෙහි දක්වා ඇත. ප්‍රඥාධික බෝසතුන්ගේ වීර්යය මධ්‍යම ප්‍රමාණයේ වන අතර ඔහුගේ ශ්‍රද්ධාව මදය.

එවැනි උතුමකු විසින් බුදුබව ලබා ගැනීම සඳහා වසර සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමි පිරිය යුතුය. ශ්‍රද්ධාධික බෝසතුන්ගේ් විර්යය මදවන අතර, ප්‍රඥාව මධ්‍යම වෙයි. එවැනි බෝසත් උතුමකු විසින් බුදු බව ලබා ගැනීම සඳහා පුරා වසර අට අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පිරිය යුතු ය. වීර්යාධික බෝසතුන්ගේ ප්‍රඥාව මද හෙයින් වසර සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී පිරිය යුතු ය.

මේ අන්දමට පෙරම් පුරා ප්‍රඥාව ශ්‍රද්ධාව, වීර්යය සම තත්ත්වයට පත් වූ විට ගුරුවරයකු නැතිව තමාගේ ශක්තියෙන්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන ලබා ගන්නා බෝධිය ‘සම්මා සම්බෝධිය’ හෙවත් ‘මහා බෝධිය’ යි. එසේ ලබා ගන්නා මහා ඤාණය අනුනට මනා ලෙස අවබෝධ කරදීමේ හැකියාව සම්බුදුරදුන් තුළ ඇත.

බුද්ධ ඤාණය පහළවීමත් සමග එතෙක් නොවැටහුණු කරුණු රැසක් බුද්ධියට ගෝචර වෙයි. කිසිම කෙනකුගේ උපකාරයක් නොමැතිව සර්වඥතා ඥානය පහළ කර ගත හැකි වන්නේ ද අවබෝධ කරගත් ඒ මහා ධර්මස්කන්ධය ලොවට ප්‍රකාශ කළ හැකි වන්නේ ද දිගු කලක් පුරන ලද පාරමී ධර්ම බලය නිසා ය.

අනිත්‍ය , දුක්ඛ, අනාත්ම ආදී ත්‍රි ලක්ෂණ ඇතුළත් දුක්ඛ සත්‍යය ද සමුදය සත්‍යය ද, නිරෝධ සත්‍යය සහ මාර්ග සත්‍යයද යන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි මෙහිදී සිදුවන්නේ.

දුක නැති කිරීම සඳහා

අවශ්‍ය පිළිවෙත් මෙසේය.

1. සම්මා දිට්ඨි - නිවැරැදි දැකීම (නුවණ)
2. සම්මා සංකප්ප - නිවැරැදි සිතිවිලි

(ප්‍රඥා ශික්ෂාව)

3. සම්මා වාචා - නිවැරැදි කථාව
4. සම්මා කම්මන්ත - නිවැරැදි ක්‍රියාව
5. සම්මා ආජීව - නිවැරැදි ආජීවය

(ශීල ශික්ෂාව)

6. සම්මා වායාම - නිවැරදි වෑයම
7. සම්මා සති - නිවැරැදි කිි‍්‍රයාව
8. සම්මා සමාධි - නිවැරැදි සමාධිය

(සමාධි ශික්ෂාව)

මහා බෝධි සත්වයෝ කාම, රූප, අරූප යන තුන් ලොව සහ ලෝකයෙන් එතෙරවීම පිළිබඳ විශේෂ ඤාණය ලබා ගනිති. මෙසේ ලබා ගන්නා ඤාණය යථා භූත ඤාණ දර්ශනය ලෙස හැඳින්වෙයි. එයින් ලබන චිත්ත විමුක්තිය යළි කම්පා වීමක් සිදුනොවේ.

පච්චේක බෝධිය නොහොත් පසේ බුදු බව ලබාගැනීම සඳහා ද ගුරු උපකාර අවශ්‍ය නොවේ. පසේ බුදුවරු ද සත්‍යය අවබෝධ කරගන්නේ ස්ව උත්සාහයෙනි.

නමුත් උන්වහන්සේ අවබෝධ කර ගන්නා ධර්මය අනුන්ට අවබෝධ කර දීමට අසමත් බව සඳහන් වෙයි. පසේ බුදුවරු සත්‍යය අවබෝධ කරගෙන තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කර ගනිති. නමුත් අවබෝධ කර ගත් ඥානය අනුන්ට අවබෝධ කර දීමට අපොහොසත් හෙයින් අනුන්ට විමුක්තිය ලබාදීමට අසමත් වෙති. ඒ උතුමන් වහන්සේ වසර අසංඛ්‍ය කල්ප දෙකක් පමණ පාරමී පුරා එම තත්ත්වයට පත්වෙති.

අබුද්ධෝත්පාද කාලයන්හි දී පසේ බුදුවරු පහළ වෙති. රහත්ඵල මාර්ගයෙන් නිවන් පසක් කර ගන්නේ ශ්‍රාවක බෝධියට එළඹීමෙනි. මේ අයට තම වෑයමෙන් පමණක් සත්‍යය අවබෝධ කර ගැනීමට හැකියාවක් නැත.

ඒ සඳහා ගුරු උපදේශ ඔවුන්ට අවශ්‍ය වෙයි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ සද්ධර්මය ශ්‍රවණය කර, රහත් මඟට එළඹීමෙන් ලබන අවබෝධය ‘ශ්‍රාවක බෝධිය’යි. මේ උතුමන් වහන්සේට ඒ අයුරෙන් සත්‍යය අවබෝධ කර ගත හැකි අතර, අනුන්ට ද එය අවබෝධ කර දීමට හැකියාව ඇත. එබැවින් ශ්‍රාවක බෝධිය ලබා ගත හැකි වන්නේ බුදු සසුනක් පවතින කාලයකදී පමණ ය.

සැරියුත් , මුගලන් ආදී වූ මහ රහතන්වහන්සේ මේ අයුරෙන් රහත්ඵලය ලබා ශ්‍රාවක බෝධියට පත් වූ උතුමෝ වෙති.

බක්පුර පසළොස්වක පෝය

    බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා අපර භාග 02.08 ට ලබයි. 20 වැනිදා ඉරිදා අපර භාග අපර භාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 28 වැනි දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]