UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

වෙළෙඳපළ ජය ගැනීම

බෞද්ධ චින්තනය පමණක් නො ව බුදු රදුන් ගේ දේශනා ශෛලිය ද හැදෑරීම ධර්ම සන්නිවේදකයන්ට ඉතා වාසිදායක ය. බුදු රදුන් ගේ ප්‍රථම ධර්ම දේශනාව වන පස්වග මහණුන් උදෙසා දේශනා කළ ධම්ම චක්කප්පවත්තන සූත්‍රය, කාලාමයන් හට දෙසූ කාලාම සූත්‍රය, ජානුස්සෝණි බමුණාට දෙසූ චුල්ලහත්ථිපදෝපම සූත්‍රය, සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ විසූ භික්‍ෂූන් පිරිසක් අමතා දේශනා කළ ආසිවිසෝපම සූත්‍රය යන දේශනා කිහිපය පමණක් වූවද බුදු රදුන් ගේ විශිෂ්ට දේශනා ශෛලිය හඳුනා ගැනීමට ප්‍රමාණවත් යැයි සිතමු. ආසිවිසෝපම සූත්‍රය කෙ තරම් විචිත්‍ර දේශනාවක් දැයි මෙහි උපුටා දක්වන කොටසෙන් පාඨකයන්ට අවබෝධ වනු ඇත.

දරුණු අපරාධ සිදු කළ සොරකුට දඬුවම් වශයෙන්, ඉතා බලසම්පන්න හා දරුණු විෂ සහිත සර්පයන් සිවු දෙනකු රැක බලා ගනිමින් පෝෂණය කිරීමට රජු විසින් නියම කැරේ. වෙනත් පුරුෂයකු එම සොරාට ඒ කටයුත්ත සඳහා උපදෙස් දෙයි. සර්පයන්ට ආහාර දීම, නැහැවීම, නැගිටවීම, සුවසේ තැබීම යනාදී කටයුතු නිසි පරිදි ඉටු නො කළහොත් සර්පයන් කෝපයට පත් වේ. එ විට ඔවුන් රැක බලා ගන්නා පුද්ගලයාට දෂ්ට කැර මරා දමන්නේ ය. එම නිසා ඒ සර්පයන් ගෙන් බේරීමට නො පමාව කළ යුතු දේ ගැන උපදෙස් ද එහි ඇතුළත් ය. ගැඹුරු දහම් කරුණු සරල උපමා මඟින් පැවසෙන මේ සූත්‍රය සිරිලකට වැඩම කළ මිහිඳු හිමියන් විසින් නන්දන උයනෙහි රැස්ව සිටි පිරිසට දේශනා කැර තිබේ.

බුදු රදුන් ගේ විශිෂ්ට දේශනා ශෛලිය අන් කවරකුට හෝ අනුකරණය කළ නො හැකි බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්, ඒ ඒ අවස්ථාවට හා පුද්ගලයාට ගැලැපෙන ලෙස බුදු රදුන් දහම් දෙසූ ආකාරය ගැන භික්‍ෂූන් වහන්සේ දැන සිටීම අවශ්‍ය කැරේ. එ සේ වූව ද තම ශ්‍රාවක පිරිස කවරකු දැයි නො දැන විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දහම් දෙසීම ඉතා අසීරු බව අපි දනිමු. ලංකා ගුවන්විදුලි සේවයේ ධර්ම දේශනා මඟින් ඇරැඹි සිරිලක විද්‍යුත් මාධ්‍ය ධර්ම සන්නිවේදන කාර්යය අද වන විට සෑම රූපවාහිනී නාලිකාවකට ම අත්‍යවශ්‍ය අංගයක් වී තිබේ.

එම සුවිශේෂී ශ්‍රාවක පිරිස තව දුරටත් රැක ගැනීමට රූපවාහිනී සේවාවන් ට හැකි වේ ද යන්න සැක සහිත ය. මන්ද යත්, ඔවුන් සංයුක්ත තැටි වෙළෙඳපළට ඇදී යන අයුරු දක්නට ලැබෙන බැවිනි. මේ පිළිබඳ ව නිසි අවධානයක් හෝ සංවිධානාත්මක වැඩ පිළිවෙළක් නොමැති වූව ද අත්තරගම ප්‍රඤ්ඤාලංකාර නමැති තරුණ භික්‍ෂුව විකල්ප ධර්ම සන්නිවේදන මාවතක් විවෘත කැර තිබේ.

අද වන විට කොළඹ සංයුක්ත තැටි වෙළෙඳපළෙහි වැඩිම ඉල්ලුමක් ඇත්තේ, පසුගිය නොවැම්බර් මස කඨින පින්කමක දී උන්වහන්සේ පැවැත් වූ ධර්ම දේශනාවක් ඇතුළත් සංයුක්ත තැටියකට ය. එම සංයුක්ත තැටිය වෙළෙඳපළ ආක්‍රමණය කිරීමට පෙර එම ස්ථානය හිමි ව තිබුණේ සිරස සුපිරිතරු දෙවන තරගයේ ජයග්‍රාහකයන් ගේ ගීත සඳහා බව විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

දැනට, කොළඹ කොටුව බෝධිරාජ විහාරයේ වැඩ සිටින ප්‍රඤ්ඤාලංකාර හිමියන් ගේ දේශනා ශෛලිය ගංගොඩවිල සෝමහිමියන්ට තරමක් සමාන ය. උන්වහන්සේ ගේ එම ධර්ම දේශනාවෙන් වත්මන් ජනපි‍්‍රය සමාජයීය ක්‍රියාකාරකම් දැඩි ලෙස විවේචනය කැර තිබේ. අත්තරගම ප්‍රඤ්ඤාලංකාර හිමියන් ගේ දේශනා විලාසය හා එහි ඇතුළත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපට ද විවේචනයක් තිබෙන බව ඇත්ත ය. එහෙත් වත්මන් සමාජයීය ක්‍රියාකාරකම් පිළිබඳ ව උන්වහන්සේ සතු අවබෝධය ගැන අපට සතුටු වීමට පුළුවන. කුමන අඩු ලුහුඬුකම් යටතේ වූව ද අත්තරගම හිමියන් විවර කළ ධර්මදේශනා සංයුක්ත තැටි වෙළෙඳපළ, ඉදිරියේ දී තවත් පුළුල් වනු ඇත. එ බැවින් සමාජයේ යහපත පිණිස මේ තත්ත්වය යොදා ගැනීමට සියල්ලන් ගේ අවධානය යොමු විය යුතු ය.

බක්පුර පසළොස්වක පෝය

    බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා අපර භාග 02.08 ට ලබයි. 20 වැනිදා ඉරිදා අපර භාග අපර භාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 28 වැනි දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]