UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුලත ගැන අරුත

උද්භිත සන්තතියට අයත් ශාක විශේෂයක් වන බුලත්වල උද්භිද නාමය වනුයේ “ පිබර් බීට්ල් “ නම් වේ. බුලත් ද්‍රවිඩ භාෂාවෙන් වෙත්තිල යනුවෙන්ද, ඉංගී‍්‍රසි භාෂාවෙන් “ බීට්ල්” (Betel) යනුවෙන්ද හදුන්වනු ලැබේ. ආදිවාසින් විසින් එයට පැඟිරි කොළ යනුවෙන් නම් කර තිබේ.

බුලත් පිළිබඳ විවිධ ජනප්‍රවාද අප අතර පවතී. එක් ජනප්‍රවාදයකට අනුව අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුබව ලැබීමට පෙර බෝධි සම්භාර ධර්මයන් පුරනා කළ එක්තරා “ සා” කුලයක උපන්හ. මේ සාවාගේ ශීලය පරීක්ෂා කරනු වස් ශක්‍රදේවේන්ද්‍රයා පැවිදි වෙසක් මවාගෙන ගොස් තමාගේ කුසගින්න නිවාගැනීමට යමක් අයද සිටියහ. ඒ අවස්ථාවේදී සාවාට දීමට කිසිම දෙයක් නොවු බැවින් තම ශරීර මාංශ දීමට සිතා ගින්නට බිළිවීමට සූදානම් විය. මේ බව දිවසින් දුටු සක්දෙවිඳු සාවාගේ සීලය ගැන පැහැදී ලොව පවතින තාක්කල් අමතක නොවනසේ හාවාගේ රුව සඳමත්තෙහි සිත්තම් කළහ. අනතුරුව එය සිත්තම් කළ තෙළි කූර (පින්සල) බිමට දැමු අතර එය නාලොව නා රජු ගේ අසපුව ලඟ වැටීම නිසා ඔහු එය ගිළින ලද්දේය. මේ හේතුවෙන් නාග රාජයා මිය ගියහ. නා රජුගේ සිරුර දවාලන ලදුව ඉතිරි වු අළුවලින්, කඳින් වැලත් , දෙපසින් කොළත්, සිහින් දල්ලක් වූයේ යයි දළුමුර උපත නම් ශාන්ති කර්මයේදී කියනු ලබන කවිවලින් විස්තර කෙරේ.

චුලෝදර - මහෝදර නා රජුන් දෙදෙනා අතර කැලණියේ පැවැති සටනේදී නා ලොවින් මනුලොවට බුලත් ගෙනෙන ලදී. ඒ අවස්ථාවේ උමා දේවිය විසින් බුලත් වැලක් රෝපණය කරනු ලැබීමෙන් අනතුරුව ලොව පුරා බෝකර හැරියාය. එවිට පොලෝ මහී කාන්තාව මෙම ශාක විශේෂය භූමියෙන් ලත් බැවින් (බු +ලත්) බුලත් යන්න ව්‍යවහාර කළ බව කියති.

අතීතයේ මෙන්ම වර්තමානයේද සැදැහැවත්තු මෙය සංකේත කරනු වස් මෑතක් වන තුරුම බුලත් සමග පුවක් මලක් කැලණි විහාරයට පූජා කළෝය.

බුලත් උපත පිළිබඳව තවත් ජනප්‍රවාදයක් මෙසේය. එනම් මහා සම්මත රජු දවස මැණික්පාල බිසොවුන්ට බුලත් කෑමට දොළක් ඇති වුවාය. ඒ පිළිබඳව නාලොව නා රජුට සැලකළ ඇරැයුමෙන් අනතුරුව නාරජු විසින් බුලත් කොලයක් රැගෙන එන ලද බවය. බුලත රැගෙන ආවේ දෙකළවර කටේ තබා ගෙනය. මේ හේතුව නිසා අද පවා බුලත් විටක් කෑමට පෙර බුලතෙහි ;දකෙළවර කඩා දමනු ලබයි.

ආගමික සිරිත් අතර බුදුන් වහන්සේට හා උන්වහන්සේ ගෙන් පැවත එන සියලුම භික්ෂූන් වහන්සේට දැහැත් පිදීමේදී මෙන්ම බෝධි පූජා වලත් නවග්‍රහ පූජාවලදීත්, පිරිත් දේශනා කටයුතු සඳහාත් බුලත් උපයෝගී කරගනු ලැබේ. ධර්මය ශ්‍රවණය කරන අතරතුර , බුලත් සැපීමේ නරක පුරුද්ද ගැනද, යම් පුද්ගලයෙකු මිය ගිය අවස්ථාවේදී අවසන් කටයුතු කරන දිනයේදී හාල් තුණපහ බුලත් සමග රැගෙන ගිය බව දක්වා ඇත. එදා මරණ දඩුවමට නියමවූ වැරැදකරුවකු එල්ලා මැරීමට ගෙන යන අවස්ථාවේදී අවට බලා සිටින පිරිස විසින් ඔහුට බුලත් දුන් බැව් විශුද්ධි මාර්ගයේ සඳහන්ව ඇත.

අද අපට දක්නට නොලැබුණත් මල් ඇගැ යන නමින් බුලත් තොරණක් පිළිබඳව පූජාවලියේ සඳහන්ව ඇත. මඳ නොකොට , අධික නොකොට පමණ දැන සුණු කෑ කල්හි යහපත්ව යෙදෙන බුලතක් සේ යනුවෙන් බුත්සරණ කතු කියා ඇති අතර “ බත් කා අන්තයෙහි බුලත් කා “ යන්න සද්ධර්මරත්නාවලිය පහදා දෙයි. දොළොස්වන සියවසට අයත් සෙල්ලිපියක පස් පලවත සමග බුලත් කෑ බව සඳහන් කොට ඇත.

සංඛ්‍යා නාම සුචියේ පස්පලවත වශයෙන් දක්වා ඇත්තේ කපුරු, තකුරු , පුවක් , බුලත් , මුඛාවාසගන්ධ ආදියයි. යෝග රත්නාකරයේ පස්පලවත වශයෙන් දක්වා ඇත්තේ සාදික්කා තකුල්, හීන්එන්සාල් , අරළු හා පුවක් වේ.

පැරැණියෝ දිනපතා නෑම , දත මැදීම , බුලත් සැපීම , ආදියට ඇබ්බැහි වූයේ ඉන් ලැබෙන ශාරීරික මානසික සනීපය බලාපොරොත්තු වෙන් මේ කරුණු පිළිබඳව විද්‍යාචක්‍රවර්තීහු බුත්සරණෙහි මෙසේ පවසති.

“ තවද මේ ශරීරය ...එක දවසක් නොනෑව , එක දවසක් නොඉළුව , එක දවසක් දත නොමැද්ද , පැයක් බුලත් නොකෑව තෙමේ තම හට අසූචි වලක් සේ වැටහෙයි”

දුටුගැමුණු රජතුමා දාගැබක ධාතු නිධානෝත්සවයකට පසු කළ මහා සංග්‍රහයකදී බුලත් ඇතුලත්ව තිබූ බව ථූපවංශයේ සඳහන් වෙයි. “ දුටුගැමුණු මහරජද එවේලේ සතර වාසල් දොර දුප්පත් මිනිසුනට අනුභව කරනු පිනිස මියුරුවූ ආහාරද , කැවුම් ද, මී පැණි, උක්පැණි, කසපැන්ද , මල් සුවඳ පිළි පළඳනාවක්ද, පස් පලවතින් යුක්ත බුලත් පුවක් කඩද මේ සියල්ල තැබීය.

රාජාවලිය නමැති පැරැණි ග්‍රන්ථයේ සඳහන් වන ලෙස සුබ රජ සෙනෙවියාගේ මෙත්තා නම් භාර්යාව සිය ඥාති කුමරකුගේ දිවි බේරා ගැනීමේ උපායක් වශයෙන් ස්වාමියාට මගදී කණු පිණිස හුණු නැති බුලත් විටක් දී අනාගත රජතුමකුගේ දිවි ආරක්ෂා කරගෙන ඇත.

හැඬීමෙන් මිලානව සිටි පබාවතීගේ මුහුණට ඒ වනතුරු නිසලව සිටි කුස රජ බුලත් සපා පිඹින ලදි පසුව දෙදෙනා අතර පේ‍්‍රමාදර බැල්මකට ඉඩ සැලසූ බව කවි සිළුමිණ පහදා දෙයි. හෙළයේ පැරැණි මහා වෛද්‍ය ඇදුරාණන් වූ බුද්ධදාස රජතුමා පව කටට ප්‍රියමනාප රසයක් සහ මහඟු ඔසුවක් වන බුලත් සැපීම කෙරෙහි අනුබල දුන් බවත්, සතරවෙනි මිහිඳු රජ ගිලන් වූ භික්ෂූන්ට බුලත් සැපීමට පූජා කළයුතු බව පැරණි ග්‍රන්ථවල ලියැවී ඇත.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියු කාව්‍යශේඛරයේ :- “ වැළදී තුරු දෝතලු - බුලත් ලියෙන් සිත්කලු “ යන්නෙන් සේනක කුමරු බරණැසින් තක්සලාවට යන විට තමන් දුටු දෑ මෙසේ පැවසූහ.

කෝට්ටේ යුගයේ රචිත සන්දේශ කාව්‍යවල බුලත් ගැන සඳහන් වී ඇත. විටෙක ඔවුහු එය ආර්ථික වගාවක් වශයෙන් දුටුවහ.

එක් අවස්ථාවක එය සිංහල සංස්කෘතිය රැකගැනීමේ අත්‍යවශ්‍යම දෙයක් වශයෙන් සැලකූහ. කාන්තාවකගේ රූසිරිය වර්ණනා කිරීමේදී දෙතොල් ඔපය බුලතින් පෙන්වීමට වග බලා ගත්හ. බුලත් සපා තොල් රතු වූ කාන්තාවන් ගැන කොවුල් සන්දේශයේ විස්තර වෙයි.

බුලත් වනාහී ශ්‍රී ලාංකේය ගෝවීන්ගේ ආර්ථික බෝගයකි. බුලත් මිල ඉහළ යන්නේත් බුලත් හිඟ වන්නේත්, බුලත් වැඩි වැඩියෙන් පරිභෝජනය වන්නේත් බක් මාසයේ සිංහල අවුරුදු උදාවෙන් පසුවය. බුලත් අතක් පිරිනමා වසරක් තුළ සිඳුවූ වැරැදි අතොත් කමාකර ගැනීම , එසේ වරදක් නොවූවත් ගෞරවයක් වශයෙන් බුලත් පිරිනැමීම අභාවයට යා නොදී රැකගත යුතු ගෞරවණීය චාරිත්‍රයකි.

දියුණුවක් ආයුෂ වැඩිවීමත් පතා වැඩිහිටියන් බුලත් අත (හුරුල්ල කොළ 40 ) දෝතින් පිළිගනිති. සමාව අයැදීමත්, ආශිර්වාදය ලැබීමත් බුලත් පිළිගන්වන හා පිළිගන්නා කාගේ හෝ පැතීමයි.

බක්පුර පසළොස්වක පෝය

    බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා අපර භාග 02.08 ට ලබයි. 20 වැනිදා ඉරිදා අපර භාග අපර භාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 28 වැනි දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]