UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවන් පිළිවෙත

දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය නමින් හැඳින්වෙන පරිදි දුක නැති කිරීම වෙත ගෙනයන ප්‍රතිපදාව “මාර්ග සත්‍යය” නම් වෙයි. එනම්, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා දියුණු කර පරිපූර්ණත්වයට පැමිණීම මෙම අංග අටෙන් අදහස් වෙයි.

1. සම්මා දිට්ඨි
2. සම්මා සංකප්ප (ප්‍රඥා)
3. සම්මා වාචා
4.සම්මා කම්මන්ත
5.සම්මා ආජීව(සීල)
6. සම්මා වායාම
7. සම්මා සති
8. සම්මා සමාධි(සමාධි)

පන්සාලිස් වසක් පුරාම බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය මෙම මාර්ගය අරමුණු කොට පවතියි. නගර සූත්‍රයේදී (ස.නි) බුදුරදුන් දේශනා කර ඇත්තේ අංග අටකින් යුත් මෙම මාර්ගය පෙර විසූ බුදුවරුන් විසින් ද අනුගමනය කරන ලද මාර්ගයක් බවත්, තමන් වහන්සේ ද නැවතත් එම මාර්ගය සොයා ගෙන එය ලෝකයාට අවබෝධ කරවා දෙන බවත් ය.

එය වඩාත් සරලව මෙසේ පැහැදිලි කර ඇත. “මහණෙනි, මහ වනයෙහි හැසිරෙන මිනිසෙක් පෙර විසූ මිනිසුන් ගමන්ගත් පැරැණි මාර්ගයක් දකියි. ඒ අනුව ඉදිරියට යන ඔහුට මල්වතු, වන උයන්, පොකුණු හා පවුරු සහිත රමණීය පුරාණ නගරයක් හමුවෙයි. එසේ දුටු ඔහු තම රජුට හෝ මහ ඇමතියාට තමන් දුටු මාර්ගයත්, පැරැණි නුවර හා ජනපදය ගැනත්, විස්තර කර දෙයි. ඒ බස් අසා රජු හෝ මහඇමති එය නගරයක් බවට පත් කරයි. ඒ නගරය පසුව සියලු සැප සම්පත්වලින් පිරුණු බොහෝ දෙනාට ඉතා ප්‍රයෝජනවත් වූ ජනාකීර්ණ දියුණු තත්ත්වයකට පත්වෙයි. ඒ ආකාරයට මම ද පැරැණි බුදුවරයන් විසින් අනුගමනය කරන ලද පුරාණ මාර්ගයක් දුටුවෙමි. එය අනුගමනය කොට මම ද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළෙමි.

බුදු සසුනෙහි හැර වෙනත් කිසි සසුනක මෙබඳු මගක් නොමැති බව මෙහිදී වෙසෙසින් සඳහන් කළ යුතු ය. බුදුරදුන් වෙත පැමිණි ඒ ඒ පුද්ගලයන් ගේ දියුණුවේ ප්‍රමාණයත්, ධර්මය තේරුම් ගෙන එය පිළිපැදීමට ඔවුන් තුළ පැවැති හැකියාවන් අනුව නොයෙක් ආකාරයෙන් ද නොයෙක් වචනවලින් ද, උන්වහන්සේ මෙම මාර්ගය විස්තර කර දුන්හ.

ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැර කර ඇති බැවිනි. විමුක්තිය ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය යන අදහස ගත් කාමසුඛල්ලිකානුයෝගයත්, විමුක්තිය ලැබීමට නම් ශරීරයට දැඩි ලෙස දුක් දිය යුතුය යන අදහස ගත් අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව නම් වෙයි.

1. සම්මා දිට්ඨි

සම්මා දිට්ඨිය නම් ‘නිවැරැදි දැකීමයි’ යම් කිසිවක් ඇති පරිද්දෙන් දැකීම මින් අදහස් වෙයි. එසේ දැකගත හැකි වන්නේ චතුරාර්ය සත්‍යය මගිනි. මෙම දැකීම සිවු ආකාරයකට පෙන්වා දී ඇත. එනම්,

1. දුක දන්නා නුවණ
2. දුක හට ගැනීම
දන්නා නුවණ
3. දුක නැති කිරීම
දන්නා නුවණ
4. දුක නැති කිරීමේ
මග දන්නා නුවණ යනුවෙනි.

2.සම්මා සංකප්ප

චත්තාරීසක සූත්‍රයට අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පළමු අංග එයට පසුව එන අංගවලට හේතුවන බව පැහැදිලි කර ඇත. ඒ අනුව සම්මා දිට්ඨිය ඇති තැනැත්තා ගේ කල්පනා නිවැරැදි වෙයි. එය ‘සම්මා සංකප්ප’ නම් වේ. එය තෙවැදෑරුම් ය.

1. නෙක්ඛම්ම සංකප්ප (කාම සංකල්පනවලින් වෙන්වීම)
2. අව්‍යා පාද සංකප්ප (කෝප සහගත සංකල්පවලින් වෙන්වීම)
3. අවිහිංසා සංකප්ප(හිංසාකාරී කල්පනාවලින් වෙන්වීම) මේ තුළින් මනස නිවන් මගට නතු කරවීමක් සිදු වෙයි.

3. සම්මා වාචා

සම්මා සංකප්ප නිසා සම්මා වාචා ඇති වෙයි. යහපත් කල්පනා ඇතිවිට කතා කරන වචන ද යහපත් වන බැවිනි. මෙහි සම්මා වාචා නම්,

1. මුසාවාදය (බොරු කීම)
2. පිසුණාවාචා (පුද්ගලයන් අතර හෝ පිරිස් අතර හෝ වෛරය, අසමඟිය ඇතිවීමට හේතුවන කේලාම් කීම)
3. ඵරුසා වාචා (සිත් රිදවන නපුරු රළු වචන කීම)
4. සම්ඵප්පලාප (වැඩකට නැති හිස් වචන කතා කිරීම) යන අහිතකර වචනවලින් වැළකී සිටීමයි.

4. සම්මා කම්මන්ත.

සම්මා කම්මන්ත යනු “කාය සුචරිතයයි”. එනම් තමන්ටත්, අනුන්ටත්, යහපත සැලසෙන නිවැරැදි ක්‍රියාවන් හි යෙදීම යි. ත්‍රිවිධ කාය දුශ්චරිතයන් ගෙන් වැළකීම මින් අදහස් කෙරේ. එනම්,

1. ප්‍රාණඝාත (දිවි තොර කිරීම)
2. අදත්තාදාන (සොරකම් ඇතුළු වංක වැඩවල යෙදීම)
3. කාමමිථ්‍යාචාර (කාමයෙහි නොනිසි ලෙස හැසිරීම)

සම්මා වාචා හා සම්මා කම්මන්ත යන මාර්ගාංග දෙකම “විරති” හෙවත් “වැළකීම්” වශයෙන් උගන්වා ඇත.

5. සම්මා ආජීව

සම්මා ආජීව යනු “යහපත් දිවි පැවැත්ම” යි. වැරැදි ජීවිකාව අතහැර නිවැරැදි අන්දමින් දැහැමින් සෙමෙන් ජීවත් වේ නම් එය සම්මා ආජීවයයි.

මෙමගින් මාරක අවි ආයුධ වෙළඳාම, මත් ද්‍රව්‍ය වෙළඳාම, විෂ වෙළඳාම, මස් පිණිස සතුන් විකිණීම, මස් වෙළඳාම කූට ව්‍යාපාර යනාදී වශයෙන් අනුන්ගේ විපතට හේතුවන රැකියාවල නොයෙදී දැහැමි, නොකිලිටි, රැකියාවක යෙදිය යුතු බව ඉගැන්වේ. කෘෂි කර්මාන්තය, වෙළඳාම, රාජ්‍ය සේවය ආදිය බුදුදහම අනුමත කළ දැහැමි රැකියාවන් ය.

6. සම්මා වායාම

සම්මා වායාම යනු නිවැරැදි උත්සාහයයි. සතර සම්‍යක් ප්‍රධන් වීර්යය මෙයින් අදහස් කෙරේ. එනම්,

1. නූපන් අකුසල් නොඉපදීමට කරන උත්සාහය.
2. උපන් අකුසල් නැති කරනු පිණිස ගන්නා උත්සාහය.
3. නූපන් කුසල් ඉපදීම සඳහා කරන උත්සාහය.
4. උපන් කුසල් වැඩිදියුණු කරනු පිණිස ගන්නා උත්සාහය යන සතරයි.

7. සම්මා සති

සිහිය මනාකොට පිහිටුවා ගැනීම නම් වූ සතර සතිපට්ඨානය “සම්මා සති” යන්නෙන් අදහස් කෙරේ. එනම්

1. කායානුපස්සනා - කය හා වචනයේ පැවැත්ම පිළිබදව සිහිය පිහිටුවා ගැනීම.
2.වේදනානුපස්සනා - සුඛ, දුක්ඛ, උපේක්‍ඛා යන වේදනාවන් අනුව සිහිය පිහිටුවා ගැනීම.
3. චිත්තානුපස්සනා - සිතේ හැසිරීම අනුව සිහිය පිහිටුවා ගැනීම.
4.ධම්මානුපස්සනා - සත්තිස් බෝධි පාක්ෂිත ධර්ම අනුව සිත පිහිටුවා ගැනීමයි.
 

8. සම්මා සමාධි

රූප ධ්‍යාන සතර වඩා එමඟින් පංච නීවරණ හෙවත් නිවන් මග අවහිර කරන ධර්ම තාවකාලිකව යටපත් කොට සිත සමාධිගත කරගැනීම (එකඟ කිරීම) සම්මා සමාධි නම් වේ.

රූප ධ්‍යාන සතර -

1. විතක්ක, විචාර, පීති, සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යාන සිත
2. පීති සුඛ ඒකග්ගතා සහිත ද්විතීය ධ්‍යාන සිත
3. සුඛ ඒකග්ගතා සහිත තෘතීය ධ්‍යාන සිත
4. උපේක්‍ඛා ඒකග්ගතා සහිත චතුර්ථ

ධ්‍යාන සිත

කෙලෙස් දැවීමත්, සිත වැඩීමත් ධ්‍යාන යන්නෙන් අදහස් කෙරේ. ඒ අනුව ප්‍රථම ධ්‍යානය කොටස් 05 කින් යුක්ත ය. භාවනා, අරමුණක් කෙරෙහි සිත නැඹුරු කරවීම “විතක්කය” යි. එම අරමුණෙහි සිත හැසිරවීම “විචාර” යන්නෙහි අදහසයි. පංච නීවරණ යටපත් වන නිසා සිත ඉන් පිනායාම “පීති” යයි එම පී‍්‍රතිය කරණ කොට ගෙන ඇතිවන නිරාමිස සුවය “සුඛය” යි තාවකාලිකව කෙලෙස් යටපත්වීමෙන් සිතෙහි ඇතිවන එකඟතාව “ඒකග්ගතාව“ යි.ද්විතීය ධ්‍යානයේ දී විතක්ක, විචාර දෙක යටපත් වේ. තෘතීය ධ්‍යානයේ දී පීතිය යටපත් වන අතර චතුර්ථ ධ්‍යානයේ දී සුඛ, දුක්ඛ, වේදනා යටපත් කර සොම්නස හා දොම්නස යන දෙකම නැතිව උපේක්‍ෂාවෙන් වෙසෙයි. මෙහි පංච නීවරණ යනු නිවන් මග අවහිර කරන ධර්ම පහක් බව කියැවිණි. එම පංච නීවරණ නම්,

1. කාමච්ඡන්ද (කාමරාගය)
2. ව්‍යාපාද (ක්‍රෝධය)
3. ථීන මිද්ධ (සිතේ හා කයේ මැලිබව)
4. උද්දච්ච කුක්කුච්ච (නොසන්සුන් බව )
5. විචිකිච්ඡාව (සැකය) යන නිවරණයි

නිවන් මග අවහිර කරන මෙම ධර්මයන් රූප ධ්‍යාන මගින් මැඩ පවත්වයි. මෙසේ අනුක්‍රමයෙන් සමාධියට පත්වීමේ දී නිවන මග අවබෝධ කර ගැනීමට යෝග්‍ය මානසික පසුබිම සකස් වෙයි.

ථෙරවාදී, මහායාන භේදයකින් තොරව සෑම බෞද්ධ රටකම විශේෂ අවස්ථාවන්හිදී පවත්වන විසිතුරු උත්සව හා පෙරහර පවතියි. එහෙත් ඒවා මෙම මාර්ග සත්‍යයට සම්බන්ධ නැත. ඒවායෙහි පරමාර්ථය වනුයේ, මානසික දියුණුවෙන් අඩු පුද්ගලයන් අතර බුදු සමය නිරන්තරයෙන් රඳවා තැබීමත්, අනු ක්‍රමයෙන් ඔවුනට ද මෙම ආර්ය මාර්ගය පෙන්වාදීමත් ය.

  මැදින් පුර අටවක පෝය

   මාර්තු 14 වැනිදා සිකුරාදා පූර්ව භාග 05.17 ට ලබයි.
15 වැනිදා සෙනසුරාදා
පූර්වභාග 06.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 14 වැනිදා සිකුරාදාය.

මී ළඟ පෝය මාර්තු 21 වැනිදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 21

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]