UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

වනගත යහගුණ

මිහිඳු මහ රහතන් වහන්සේ දෙවන පෑතිස් මහ රජු ප්‍රධාන පිරිසට ප්‍රථමයෙන් ම දේශනා කළ බුදු වදන චුල්ලහත්ථිපදෝපම සූත්‍රය යැයි මහාවංසයේ දාහතර වන පරිච්ඡේදයේ සඳහන් ය. ඇත් පා සටහන් පිරික්සා ඇතකු පිළිබඳ ව නිගමනයකට එළඹෙන අයුරු පහදා දෙන අයුරින් දේශිත එම සූත්‍රය සිරිලක වැසියනට ඉතා පහසුවෙන් අවබෝධ කැර ගත හැකි වූ බව එයින් ලැබුණු ප්‍රතිඵල අනුව පැහැදිලි වේ. චුල්ලහත්ථිපදෝපම සූත්‍රය සිරිලක වැසියනට පහසුවෙන් අවබෝධ කැර ගත හැකි වීමත්, එය සිරිලක වැසියනට ප්‍රථමයෙන් ම දේශනා කිරීමට මිහිඳු මහ රහතන් වහන්සේ තීරණය කිරීමත් අප ගේ අවධානයට යොමු විය යුතු කරුණකි. ඊට හේතු ව අන් කිසිවක් නො ව හෙළ ජන ජීවිතය සමඟ හස්තියාට තිබූ සබඳතාව ය. ඈත අතීතයේ පටන් පැවැති මේ අලි - මිනිස් සබඳතාව අද වන විට කුමන ස්වරූපයක් ගෙන තිබේදැයි පරිසර ඇමැති පාඨලී චම්පික රණවක මහතා විස්තර කැර ඇති අයුරු අප පාඨකයන් ගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමු.

“වනජීවී දෙපාර්තමේන්තුවට අනුව 2007 වසර තුළ රට පුරා වනගත අලි ඇතුන් 189 ක ගේ මරණ වාර්තා වී ඇත. මේ මරණ පරීක්‍ෂණ පවත් වන ලද ඒවා වේ. මේ අතුරින් වෙඩි පහරවල් නිසා 83 ක් ද, වසදීම නිසා, 06 ක් ද, හදිසි අනතුරු නිසා 07 ක් ද, බිම් බෝම්බ නිසා 04 ක් ද, මියගොස් ඇත. වෙනත් වචනවලින් කිවහොත් සෘජු මිනිස් ක්‍රියාකාරකම් නිසා බවට ඔප්පු වූ වනගත අලි ඇතුන් ගේ මරණ ගණන 116 කි. මළ සිරුරු දිරායෑම හෝ වෙනත් කරුණු නිසා හේතු හඳුනා නො ගත් ගණන 39 ක් වන අතර ලෙඩ රෝග ආදිය නිසා මිය ගියා යැයි සැලැකෙන ගණන 21 කි. පසුගිය දශකය දෙස බලද්දී වැඩිම අලි මරණ සංඛ්‍යාවක් සිදු වී ඇත්තේ වෙඩි තැබීම් නිසා ය. 1997 දී එය 100 ක් වූ අතර 2000 දී 88 ක් ද, 2006 දී 86 ක් ද, 2007 දී 83 ක් ද විය. වනජීවී දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු අනුව රට පුරා අලි ඇත්තු 4000 – 4200 ක් පමණ වාසය කැරෙති. ලංකාවේ සිටින හීලෑ අලි ඇතුන් ගණන 137 කි.”

මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙ රට අලි සම්පත විනාශ වන ආකාරය පරිසර අමාත්‍යවරයා ගේ එම ප්‍රකාශයෙන් පැහැදිලි කැරේ. එ සේ වූව ද වර්තමානයේ සිදුවන මිනිස් ඝාතන හා කාම අපරාධ ආදිය සමඟ සසඳා බලන කල අලි - මිනිස් ගැටුම එ තරම් වැදගත් නැතැයි ද යමකුට සිතෙන්නට පුළුවන. එහෙත් අතීතයේ දී අප සතු ව පැවැති යහගුණ තරමක් හෝ ශේෂ වී තිබේ නම් එ ලෙස කල්පනා කළ නො හැකි ය. අලි සම්පත රැක ගැනීමට අප ගේ මුතුන්මිත්තන් එදා ක්‍රියා කළ ආකාරය මෙහි දී සිහිපත් කිරීම වැදගත් ය. දාහත් වන සියවසේ දී සිංහල රජු ගේ සිරකරුවකු බවට පත් ව සිටි ඉංගී‍්‍රසි ජාතික රොබට් නොක්ස් විසින් ලියන ලද ලංකාවේ ඉතිහාස කථාන්තරය නමැති කෘතියෙහි මෙ සේ සඳහන් කැර තිබේ.

“ඇතැම් විට ‘රජ’ ඇත්තු ගම්වැද, ධාන්‍ය විනාශ කොට වගා පාගා දමා පොල් පැල ආදිය උදුරා දමා ඇතැම් විට ගෙවල් දොරවල් කඩා දමා ගම්වලට හා ගම්මුන් හට අනෙකවිධ අලාභ හානි සිදු කැරෙති. එහෙත් ඇතුන් හට අතක් එ සැවීමට, ඔවුන් හට හිංසා කිරීමට ඔවුන් හට අවසරයක් නැත්තේ ය

” අලි සම්පත රැක ගැනීම සඳහා එදා එ බඳු පියවර ගැනීමට හේතුව මානව සම්පත නො වැදගත් යැයි සිතීම නො වේ. බුදු දහමෙන් පෝෂිත ඇතැම් සංස්කෘතික අංග මෙන් ම මානව ගරුත්වය ද ආරක්‍ෂා කැර ගැනීමට එ බඳු පියවර අවශ්‍ය වීම ඊට හේතුවයි.

එහෙත් අද මිනිස්කම සතුන් හමුවේ පරාජය වී හමාර ය.

  මැදින් පුර අටවක පෝය

   මාර්තු 14 වැනිදා සිකුරාදා පූර්ව භාග 05.17 ට ලබයි.
15 වැනිදා සෙනසුරාදා
පූර්වභාග 06.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 14 වැනිදා සිකුරාදාය.

මී ළඟ පෝය මාර්තු 21 වැනිදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 21

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]