UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියෝ

දහනව වන සියවසදි ආගම භාෂාව ජාතික සිරිත් විරිත් ගුණධර්ම සිතුම් පැතුම් ඕනෑ එපාකම් අමුතුම විපිළිසර මඟකට යොමුවිය. සිංහල කම කුස්සියට පමණක් සීමා වූවාසේ ය. බෞද්ධයා එළිපිට බෞද්ධ යයි කීමට බියවූවා සේය. සිංහල භාෂාව මුළු ගැන්වූසේ ය. නොයෙක් ලෙස භේද භින්නව ගියේ බිහිසුණු අයුරින් විසිවන සියවස මුල් භාගය වන විට ජාතියේත්, ආගමේත් අනන්‍යතාවය බිඳ වැටෙමින් පරසිරිත් ගරු කරමින් අන්‍ය ආගම් වැළඳ ගනිමින්, වහල් බවෙන් පීඩිත වූ ජනතාවක් විවිධ මං ඔස්සේ දක්නට විය. පියදාස සිරිසේන ජී.එච්.පෙරේරා, ආනන්ද රාජකරුණා, එස්. මහින්ද හිමි ආදී ලේඛකයෝ ඒ තත්ත්වයෙන් ජනතාව මුණ ගැසීමේ උදාර පරමාර්ථයෙන් සිය පැන මෙහෙයවූහ.

පරගැති සිරිතෙන් වැළකී, දේශීය සංස්කෘතිය සිරිත් විරිත් අගය පෙන්වා දෙමින්, සාරධර්ම අගයමින් බසට ප්‍රමුඛස්ථානය දෙමින්, දේශානුරාගය, ජාතිවාත්සල්‍යය, ජාතිකාභිමානය, වර්ධනය කරමින් නිදහස උදෙසා ප්‍රබල හැඟීම් සම්, මස්, ඇට නහර ලේ තුළට කා වද්දමින් ආගමික හැඟීම් වර්ධනය කරමින් ළදරු කළ සිට දරුවා නිසිමග යවමින් ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන් ගෙන ගිය මග ඇති උත්කෘෂ්ඨය.

එවන් කාර්යයේ ලා උත්සුක වූ ස්වදේශිකයන් අතර විජාතික එස්. මහින්ද හිමියෝ ස්වදේශිකයෙක් ලෙසින්ම ප්‍රමුඛව කැපී පෙනෙනවා විනා කිසිදු ලෙසකින් විජාතියෙකැයි කිව නොහැකි යයි කීම නිවැරැදී ය. උන්වහන්සේ විජාතිකයෙකුයි පෙනෙන්නේ නාමයට පූර්වයෙනි. ‘ටිබැට් ජාතික’ යන්න යෙදීමෙන් ම පමණි.

ව්‍යවහාර වර්ෂ 1901 දී ටිබෙට්හි සිකිම් දේශයේ ලොව විශිෂ්ට තනතුරු හෙබවූ වැදගත් ප්‍රභූපවුලක උපත ලද ‘තෂිනම් ගස්ලය’ නම් දරුවා දහතුන්වන වියේදී සිය පැවිදි සහෝදර පුර්ණජි හිමියන් හා ජර්මන් ජාතික ඤාණාලෝක මා හිමියන් සමග ලංකාවට පිවිසියේ ය. සුප්‍රසිද්ධ පොල්ගස්දුව ආරණ්‍යයේ ඤාණාලෝක හිමිපාණන් සමඟ වාසය කළ මෙම දරුවා ඤාණාලෝක හිමිපාණන්ගේ මෙහෙයීමෙන් රත්ගම සිරි චුල සුමනාභිධාන අමරපුර නිකායික මහා තෙරණුවන් වෙත විසුවේ අනතුරුව මහින්ද නමින් ප්‍රවුජ්‍යා භූමියට එළඹියේ ය. ටිබැට් ජාතික එස්. මහින්ද හිමි නමින් ලක්්දිව ප්‍රකට වූයේ ය.

ජාතිකාභිමානය, දේශවාන්සල්‍යය, දේශානුරාගය, ජත්‍යාලය, ආගමාලය, ජනිත කරවීමේලා මහින්ද හිමියන්ගෙන් වූ සේවාව සුළු පටු නොවේ. මහින්ද හිමියෝ අතීත ප්‍රෞඪත්වය නිරන්තර අගය කළහ. වර්තමානය හා මිශ්‍රකර අනාගතය සැපවත් කළ යුතු බව පෙන්වා දුන්හ.

අපේ ඉතිහාසයෙන් ගත යුතු පාඩම් ගැන අවධාරණය කළහ.

“පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ
ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ
එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ
එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ”

ඒ වීර පරාක්‍රම නාමය, ගජබා, රාජසිංහ ආදී රජවරුන්ගේ මෙහෙවර සිතට ගෙන අභිතව එඩිතරව විය හැඟීමෙන් බලාපොරොත්තු ඉටු කර ගත හැකි බව පෙන්වමින් එකාමෙන් එක පිම්මෙන් ම ඉදිරියට ආ යුතු බව ධාරණය කරයි.

නිදහසේ අගය නිරතුරු කියා පෑ මහින්ද හිමියෝ සැබෑ සිංහල කොල්ලෙකු නැත්තේ මන්දැයි ප්‍රශ්න කරති. එය අසනුයේ සම්බුද්ධ ශාසනය සුරක්‍ෂිතව තබා ගැනීම සඳහා ලංකාව රක්නා උපුල්වන් දෙවියන්ගෙනි.

“බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙනි ලූ ලුණු මෙන් පුපුරන්නෙකු කෝප විකාරෙන්
ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව් රජුනේ ලක රක්නා”

මහින්ද හිමියන්ගේ කෝපයෙන් දිලිහෙමින් ආවේගශීලී වාග් විලාශය සිංහල රට, බෞද්ධ රට ගැන කැක්කුම පෙන්වයි. ජාතිකානුරාගය පෙන්වන්නට ගත් වෑයමේ දී විජාතිකයන් පසු පස යමින් ඔවුනට ආ වඩමින්, ඔවුන්ට ගැතිකම් දක්වන සිංහල කම අමතක කොට ඉංගී‍්‍රසිය කර පින්නා ගන්නවුන් සිංහල පුතුන් දැයි කවිය, ප්‍රශ්න නගන්නේ හද පිරි ශෝකයෙනි. අධිරාජ්‍යවාදීන් කෙරේ ඇති කෝපය දැක්වීම සමගම ලංකා මාතාව කෙරේ ඇති ගෞරව භක්තිය ප්‍රකට කරයි. අන්ධානුකරණයෙන් මිදීම නොයෙක් තැන පෙන්වා දුන්හ.

“ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්

තම ලේ, රුධිරය, හෙළිය යුත්තේ තමන්ගේ ජාතිය උදෙසා බව අවධාරණය කරමින් විධානාත්මක ස්වරූපයෙන් කළ යුතු කරුණු පෙන්වා දෙයි. විජාතික වූවත්, සිංහල ජාතිය ගැන කියනුයේ සිංහලයෙකුට වඩා උද්වේග කර හැඟීමෙනි.

විදේශීය සිරිත් විරිත්වලට ඇබ්බැහි වී අපගේ සිරිත් විරිත් ගරහන, අමතක කරන අපේම සොහොයුරු සොහොයුරියන් වෙත දැඩි කර්කශ වේගවත් ප්‍රහාර එල්ල කරයි. අපේ ජාතික අනන්‍යතාවය මදකුදු නොසිතන ජාතියට සතුරු වූ අපේ වූන් ගැන දකින්නේ කෝපයෙනි.

“ අපේ රටට පිළිමල් වන සතුරු මල
අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

නොයෙක් තැන්හිදි සිංහලයාගේ හීන දීන ගති මැනවින් හඳුණන මහින්ද හිමියෝ ඒ සියල්ලට හෙන පහර ගසන්නාසේ පහර දෙති.

ළමා මනස මැනවින් තේරුම් ගත් මහින්ද හිමියෝ ළමා මනස සකස් කළේ අනාගතය ගැන සම්බන්ධවය. ජාතියේ වැදගත්කම දේශයේ වැදගත්කම දරුවාගේ මනසට කා වැදීමට උන්වහන්සේ ගත් ප්‍රයත්නය විවිධ ශෛලීන් ඔස්සේ විය. දේශය, ජාතිය රැක ගැන්මට නොවෙනස්වන මානසික ශක්තියක් මහින්ද හිමියන්ගේ කාව්‍ය රචනා තුළින් පෙනේ. ජාතිය වෙනුවෙන් යුද කොට මිය යාම පවා දෙව්ලොව සුරංගනාවියන් අත නැල වීමට හේතුවකැයි පෙන්වන උන්වහන්සේ බාල කල සිටම ජාතික හැඟීම්, සදාචාරාත්මක හැඟීම් රෝපණය කිරීමේ වැදගත්කම දුටහ. සිංහල රට, සිංහල දේශය සිංහල සංස්කෘතිය ගැන නිතර කියූ මහින්ද හිමියෝ කුඩා අවධියේ සිට ළමා මනස ශ්‍රේෂ්ඨ ජාතික වීරයෙකු බවට පත් කරලීමට සකස් කර ලන්නේ අපූර්ව අයුරිනි.

“නිදහස මහ මුහුදක් වේ – එහි උල්පත අත නුඹවේ
ඒ බව සිහිකොට මෙළොවේ – යුතුකම ඉටු කළ යුතු වේ”

ළමා සාහිත්‍යයක් ගොඩනංවීමට දැක්වූ ප්‍රතිභානය උසස් ය. නූතන ළමා පද රචකයින් අතර කැපීපෙනෙන කවියෙකි. මහින්ද හිමියෝ.

ජාතික තොටිල්ල, නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, ඔවා මුතුදම රත්නමාලි කාව්‍යය, නන්දන ගීතය, දහ අට වන්නම, සද්ධර්ම මාර්ගය, මහා පරාක්‍රමබාහු, කුසුමාංජලි ආදී මහින්ද හිමියන්ගේ සෑම ග්‍රන්ථයකින්ම ජාතිකාභිමානය කුළු ගැන්වීම, බුදු දහමේ අගය, සදාචාරාත්මක ගුණාංග පැහැදිලි කරලීම තුළින් ගෙන ගියේ උදාර සේවාවකි. සැබෑ සිංහලයෙකු ලෙසින්, සැබෑ බෞද්ධයෙකු ලෙසින් මගේ රට, මගේ ජාතිය මගේ ආගම, මගේ භාෂාව ගැන හඬ නැගූ මහින්ද හිමියෝ අපගේ භාග්‍යයට මෙරටට පිවිසියේ යැයි කිව යුතු ය. උන්වහන්සේගේ ක්‍රියාදාමය රටේ ඉදිරිගමන සැකසීමේ පිටුවහලක් විය. රට, ජාතිය, ආගම, භාෂාව, සංස්කෘතිය ආදී අනේක විධ කරුණු පිළිබඳ උන්වහන්සේ පෑ අදහස් ජනතාව සැකසීමේලා, සුවිශේෂී විය. උදාරතර මෙහෙයක් කළ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියෝ 1951 මාර්තු 16 දින අපවත් වී වදාළ නමුදු උන්වහන්සේගේ නාමය හා මෙහෙය එදත් අදත් හෙටත් එකසේ පවතින්නේ ය.

  මැදින් පුර අටවක පෝය

   මාර්තු 14 වැනිදා සිකුරාදා පූර්ව භාග 05.17 ට ලබයි.
15 වැනිදා සෙනසුරාදා
පූර්වභාග 06.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 14 වැනිදා සිකුරාදාය.

මී ළඟ පෝය මාර්තු 21 වැනිදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 21

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]