UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තලවතුගොඩ ගනේලන්ද සිරිනන්දනාරාම රජ මහා විහාරාධිපති

තලවතුගොඩ විමලධම්ම හිමියෝ

‘සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී’ ගෞරව නාම සහිත සීනාදී සිව් කෝරළයේ

උප ප්‍රධාන සංඝනායක පදවිය ලබති

අක්ත පත්‍ර ප්‍රදානය 27 දා කෝට්ටේ රජමහා විහාරයේ දී
පිළිගැනීමේ උත්සවය 28 දා ගණේලන්ද සිරි නන්දනාරාම රජ මහා විහාරයේ දී

 


සියලු කටයුතුවලදී ඉදිරි පෙළෙහි සිටින හිමිනමක්

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට අයත් ෂට් පාර්ශවයන්ගේ ගල්ගොඩ ශ්‍රී මහා විහාර පාර්ශ්වය අංක හතරවන තැනට වැටෙන්නේය. ගල්ගොඩ පාර්ශ්වය ද ගල්ගොඩ, විජයාරාම වශයෙන් විහාර පරම්පරා දෙකකට වෙන් වී තිබේ. විජයාරාම විහාර පරම්පරාවට අයත් තවත් වැදගත් විහාර පරපුරක මූලස්ථාන වන්නේ කොට්ටාව මහා විහාරස්ථානයයි. එම කොට්ටාව විහාර පරපුරේ ද තලවතුගොඩ සිරිනන්දනාරාම රජමහා විහාරය, කොට්ටාව මහා විහාර වශයෙන් මූලස්ථාන දෙකක් දක්නට ලැබෙයි. තලවතුගොඩ සිරිනන්දනාරාම රාජමහා විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපතීන් වහන්සේ තලවතුගොඩ විමලධම්ම ස්ථවිරයන් වහන්සේයි. කෝට්ටේ රාජධානි සමයේ මෙම ස්ථානය රාජකීය දේවාලයක් වශයෙන් පැවති බවට සාධක ලැබී ඇත. පසුව එය විහාරස්ථානයක් බවට පත් විය. තලවතුගොඩ සිරිනන්දනාරාම රාජමහා විහාරස්ථානය රාජමහා විහාරස්ථානයක ස්වරූපයට පත් කිරීමේ ගෞරවය ලැබෙන්නේ තලවතුගොඩ විමලධම්ම ස්ථවිරයන් වහන්සේටයි. සුවිශාල රමණීය භූ®මි භාගයක පිහිටා තිබෙන සිරිනන්දනාරාමය සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණ වී තිබේ. ඒ 1984 න් පසුව සිදු වූ මහා දියුණුවේ එක් අංගයකි.

තලවතුගොඩ - කලල්ගොඩ දෙගම්වාසීන් පමණක් නොව අවට ප්‍රදේශවාසීන් ද විහාරස්ථානය මධ්‍යස්ථාන කොට ගෙන සංවිධානය වී ඇත.

සියලු සමිති සංවිධාන ද සිරිනන්දනාරාමය මුල් කොට පිහිටුවා ඇති අතර ඒ සියල්ලේම නියමුවා බවට තලවතුගොඩ විමලධම්ම ස්ථවිරයන් පත්වී සිටිති. විහාරස්ථානයක කළමණාකරණය පිළිබඳව ඉතාම හොඳ නිදර්ශනයක් තලවතුගොඩ සිරිනන්දනාරාමය තුළින් ලබාගත හැකිය. තලවතුගොඩ විමලධම්ම ස්ථවරයන් වහන්සේ පිරිත් දේශකයන් වහන්සේ නමක් මෙන්ම ධර්ම දේශකයන් වහන්සේ නමක් වශයෙන් ප්‍රසිද්ධියක් ලබා සිටිති. ප්‍රදේශයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලා අතර මනා සංවිධානයෙහි ද දක්ෂතාවක් පෙන්නුම් කරන විමලධම්ම ස්ථවිරයන් ගිහිපැවිදිි දෙපාර්ශවයටම පැහැදිලි නායකත්වයක් ද සපයා ඇත. ශාසනික , ආගමික, ජාතික හා සාමාජික සියලු කටයුතුවල දී ඉදිරිපෙළේ සිටින තලවතුගොඩ විමලධම්ම ස්ථවරයන් වහන්සේ ගිහිිපැවිදිි දෙපක්ෂය විසින්ම නායකත්වය සඳහා තෝරා ගෙන, ඒ සඳහා සම්මත කොට ඇත්තේ දසක කීපයක සිටය. තලවතුගොඩ සිරිනන්දනාරාම රාජමහා විහාරාධිපති තලවතුගොඩ විමලධම්ම ස්ථවිරයන් සම්මා සම්බුද්ධ ශාසනයටත්, රටටත්, සමාජයටත් විශේෂ වශයෙන් කෝට්ටේ සංඝ සභාවටත් කර ඇති සේවාව අගය කරමින් සීනාදී සිව් කෝරළයේ උප ප්‍රධාන සංඝනායක පදවිය සම්මත කොට ඇත. ඒ පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය ඔක්තෝබර් මස 27 වෙනිදා කෝට්ටේ රාජමහා විහාර සිරිමංගල උපොසථාගාරයේ දී සිදු කෙරේ. එකම දිනයක ශාසනික පැවිදි ජීවිතයට ප්‍රවිෂ්ට වූ මම මගේ පැවිදි සහෝදර තලවතුගොඩ විමලධම්ම ස්ථවිරයන්ට මේ ප්‍රීතිමත් අවස්ථාවේ ඉත සිතින්ම ආශිර්වාද කරමි.

“සුඛී දීඝායුකො භව.”


 

සැරද නා හිමි සඳ!

“ බුද්ධානුශාසනයෙහි යෙදෙන භික්‍ෂුව කෙබඳු තරාතිරමක වුවද වළාකුළින් මිඳුණු සඳ මඩළ සේ ලොව බබුළුවන්නේය”

තලවතුගොඩ නායක හාමුදුරුවන් වහන්සේ මිනිස්කමින් පිරුණු ආදර්ශවත් මහ තෙරනමකි. ස්වකීය ජීවිතය කිළිටි වරදින් මුදවාගත් මිනිසුන් ලොව දුර්ලභ සමයෙක ඒ මිනිසත්කම අර්ථවත් කරන්නන් විරල සමයෙක අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ ආදර්ශය අපට අපේ ජීවිතවලට මහා දීප්තියක් පහන්ටැඹක් සේ ආලෝකය සපයන්නේය.

භික්‍ෂූන් වහන්සේ සතුවිය යුතු ගුණයන් අතර පිළිවෙළ වන්නේ සීලය ගුණය හා පඬිබවය. නාහිමියන්ගේ දිවිය ද ඒ පිළිවෙළ ලක්‍ෂණ වලින් යුක්තය. මුල්තැනට ශීලය ද දෙවැනිව සීලයෙක් පෝෂණය වූ මිනිස් ගුණය ද අනතුරුව උගත්කම් ද සෙවුණා වූ ඒ ජීවිතය සමස්ත භික්‍ෂු පරපුරටම ආදර්ශයකි. මිනිසුන්ගේ දුක ද ඔවුන්ගේ චර්යාවන් හා ස්වභාවයන්ද මනාව හඳුනාගත්, අත්දැකීමෙන් මිනිස් වර්ගයාගේ සිතුම් පැතුම් වටහාගත් අපේ නාහිමිපාණන් වහන්සේ, ඒ මිනිසුන් කෙරෙහි උපරිම දයාවද , අනුකම්පාවද කරුණාව ද පෑහ. එහෙයින්ම එතුමො ජනපි‍්‍රය භාවයටද පත්වූහ. ගරු බුහුමන් ද ලැබූහ. පැවිද්දෙන් වසර 50 ක් ඉක්මවා සසුන්කෙත බබුළුවන ආදර්ශවත් සංඝ පිතෘන් වහන්සේ නමක් ලෙස සංඝ සභාවෙන්ද , ගරු බුහුමන් ලබන්නේය. සංඝ නායක පදවියෙන් පිදුම් ලබන තලවතුගොඩ විමලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට චිරාත් කාලයක් ලො සසුන් වැඩ වැඩුමට නිදුක් නිරෝගී සුව සෙත පතමු.


 

කවදත් පොදු ජන ගෞරවයට පාත්‍ර වුනා

භික්ෂුව තමන්ගේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන්නේ නම් එය දියුණුවටම හේතු වන්නේය. තමන්ගේ දියුණුවට පමණක් නොව බොහෝ දෙනාගේ හිත සුව සඳහාත් හේතු වන්නේමය. අප සංඝ සභාවේ ගල්ගොඩ විහාර පාර්ශ්වයට අයත් තලවතුගොඩ ගනේලන්දේ සිරිනන්දනාරාම රජමහා විහාරාධිපති තලවතුගොඩ විමලධම්ම ස්ථවිරයන් තමන්ගේ ක්ෂේත්‍රය මනාසේ වටහා ගෙන කටයුතු කරන, පොදු මහත් ජනතාවගේ ආදරයට හා ගෞරවයට පාත්‍රව වැඩ සිටින තෙර නමකි.

ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයට ඉතා ආසන්නව පිහිටා තිබෙන ගනේලන්ද රාජමහා විහාරය සුවිශාල භූ®මි භාගයක පිහිටා තිබෙන ඓතිහාසික වශයෙන් ද වැදගත් සම්භාවණීය විහාරස්ථානයකි. එහි ඓතිහාසික අගය වටහා ගෙන ඊට සරිලන විහාරාංග සම්පූර්ණ කිරීමේ ගෞරවය ද තලවතුගොඩ විමලධම්ම ස්ථවිරයන්ට හිමි වේ. අද මේ වන විට විහාරස්ථානය අවට ප්‍රදේශය සැදැහැවත් බෞද්ධ ජනතාවගෙන් පිරී ඉතිරී පවතියි. ඒ ජනතාවගෙන් වැඩිම පිරිසක් තුනුරුවන කෙරෙහි භක්තියෙන් යුතු පොහොසත් ජනතාවය. එබඳු ජනතාවකගේ ප්‍රසාදය වැඩි දියුණුවන ආකාරයෙන් විමලධම්ම ස්ථවිරයන් කටයුතු කරනවා දකින්ට හා අසන්ට ලැබීම අප්‍රමාණ සතුටකි.

සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය කාලයක්ම හොබවන ලද්දේ තලවතුගොඩ මහා ස්ථවිර පාදයන් වහන්සේයි. උන්වහන්සේගේ දීප්තිමත් ශිෂ්‍යවරයකු වන තලවතුගොඩ විමලධම්ම ස්ථවිරයන්ට සීනාදී සිව් කෝරළයේ උප පදවිය පිරිනමන මෙම අවස්ථාවේ දී ඉතා සතුටු සිතින් මගේ ආශිර්වාදය මෙසේ පළ කරමි.


 

ජන සෙත සලසන නව නා හිමි

බුදුරදුන් අනුව ගිය, කෙළෙස් මඬ වතුර ඉක්මවූ ශ්‍රාවකයා , විටෙක නෙළුම් මලට උපමා කොට තිබේ. උසස් චරිත ඇති අය මඩදියෙන් ඉහළට මතු වී විකසිතව, පියකරුව, සුවඳවත්ව බබලන පියුම් හා සමවෙති. තලවතුගොඩ විමලධම්ම නාහිමියන් ද සසුන නමැති විලෙහි සුපිපි සුවඳ හමන නිර්මල මලක් බඳුය. උන් වහන්සේගේ ජීවිතය පුරාම හමන්නේ ගුණ සුවඳයි. රාජාංගනය වැනි ප්‍රදේශ වල ආරම්භ කළ සේවාවන් ජන සෙත සලසමින් අදත් ක්‍රියාත්මකවීම තුළින් එය පැහැදිලිවෙයි. එකල සිදු කල එම සුවිශේෂී සේවාව රාජාංගනය ප්‍රාදේශීය සංඝරත්නයෙහි හා ජනතාවගේ ඉමහත් ගෞරවයට ලක්ව තිබේ. තලවතුගොඩ ගණේලන්ද පුරාණ විහාරාධිපති පදවිය දරමින්ද එම ප්‍රදේශයේ ජාතික, ආගමික, අධ්‍යාපනික, හා සංස්කෘතික වශයෙන් උදාරතර මෙහෙවරක් සිදු කොට තිබේ.

භික්‍ෂුවකට අවශ්‍ය බහුශ්‍රැතකම, දේශනකුශලතාව , විනය ගරුක සංවරශීලි පැවැත්ම , නිහතමානීකම, ඍජු අදහස් ප‍්‍රකාශ කිරීම උන් වහන්සේගේ චරිතයේ කැපී පෙනෙන විශිෂ්ට ලක්‍ෂණයි. ශාසන ප්‍රගතිය වෙනුවෙන් දුක්ඛ දෝමනස්සයන්ට මැදිව උදාර සේවයක් කළ උන් වහන්සේ මෙතෙක් ආ ගමන් මග රතු විල්ලුද ඇතිරූ පලස්මතින් වැඩි ගමනක් නොවේ. අභියෝග , ඝට්ටන , හැලහැප්පීම්, බාධක, අභිබවා කටයුතු කළ හිමිනමකි.

උන් වහන්සේගේ ජාතික, ආගමික සේවාවන් අගයමින් සඟ නා පදවියක් පිරිනමමින් උපහාර දැක්වීම සකල ලක්වැසි ජනතාවගේම ප්‍රසාදයට හේතුවනු ඇත. සඟ නා පදවියෙන් පිදුම් ලබන තලවතුගොඩ විමලධම්ම නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවායි රත්නත්‍රයෙහි ආශීර්වාදය ප්‍රාර්ථනා කරමු.


 

උප සඟ නා පදවියෙන් පිදුම් ලබන

තලවතුගොඩ විමලධම්ම නාහිමි

භික්ෂුවගේ මූලික අරමුණ ජනතාවට දෙළොව යහපත උදාකරදීමයි. ඒ සඳහා ලාභ කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් තොරවම උන් වහන්සේලා කටයුතු කරති.

මෙය තම ජීවන දර්ශනය කරගත් වර්තමාන ශ්‍රී ලාංකික භික්‍ෂූන් අතර කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහ සංඝ සභාවෙන් උප ප්‍රධාන සංඝනායක පදවියකින් පිදුම් ලබන තලවතුගොඩ විමලධම්ම නාහිමියෝද විශේෂයෙන් කැපී පෙනෙන නිහඬ මහ යතිවරයාණන් වහන්සේ නමකි.

රාජාංගනය යාය 13 ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරස්ථානය තලවතුගොඩ සිරිනන්දාරාම පුරාණ රජමහ විහාරස්ථානය කේන්ද්‍ර කොටගෙන උන් වහන්සේ සිදු කළ සාමාජික ආගමික හා අධ්‍යාපනික සේවාව අතිඋදාරය .

සම්බුද්ධ ශාසනයෙහි උන්නතිය උදෙසා දර්ශනපති ගැමුණුපුර සෝමවංශ මොරාවත්තේ ධම්මිස්සර යන හිමිවරු ඇතුළු ශිෂ්‍ය පිරිසක් බිහි කිරීම ද විශේෂයෙන් සිහිපත් කළ යුතුය.

ශ්‍රී ලංකාවේ තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයෙහි නොමඳ ගෞරවයට පාත්‍ර වී සිටින තලවතුගොඩ විමලධම්ම නාහිමිපාණන් වහන්සේට උප සඟ නාපදවියත් පිරිනැමීමට ගෙන ඇති තීරණය ගිහි පැවිදි සියල්ලන්ගේම ප්‍රසාදයට ගෞරවයට හේතුවනු ඇත.

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.10 ට ලබයි.
26 වන දා සිකුරාදා පූර්ව භාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දාය


මී ළඟ පෝය නොවැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]