[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සෙංකඩගලපුර දළදා බුදුරැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ

සෙංකඩගලපුර දළදා බුදුරැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ

ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය හා අත්‍යන්ත සංයෝගයෙන් යුක්ත ආගමික සංකේතය වන්නේ දළදා වහන්සේ යි. යමෙක් සතු ව දළදා වහන්සේ පවතී ද, ඔහු රටේ රජතුමා ලෙස පිළිගැනීමට තරම් දළදා වහන්සේ පිළිබඳ ඉමහත් ගෞරවයෙන් යුතු ව කටයුතු කිරීමට ලක්වැසියෝ පුරුදු වී සිටියහ. දළදා වහන්සේ පිළිබඳ ලක්වැසියන් තුළ පැවති ඉමහත් ගෞරවයත්, පිළිගැනීමත් නිසා වෙනත් ආගමික සංකේතයකට නොමැති අතිසම්භාවනීය සාහිත්‍යයක් දළදා වහන්සේ මුල් කොට ගෙන රචනා වී ඇත.

ක්‍රි: ව: හතර වැනි සියවසේ කිත්සිරිමෙවන් රජ දවස හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ශ්‍රී ලංකාවට වැඩම කළ දළදා වහන්සේ පිළිබඳ පැවැත්විය යුතු චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් එළු දළදා වංසය නම් කාව්‍යයත්, පොලොන්නරු යුගයේ දී ධර්මකීර්තිපාදයන් විසින් රචිත දාඨාවංස නම් පාලි කාව්‍යයත්, කුරුණෑගල යුගයේ දෙව්රද දම්පසඟිනාවන් විසින් වෘත්ත ගන්ධි ශෛලියෙන් රචිත දළදා සිරිතත්, එම යුගයේ ම රචිත දළදා පූජාවලියත්, සෙන්කඩගල යුගයේ රචිත දළදා වරුණේ කාව්‍යයත් දහනව වැනි සියවසේ දී කේ. ඇම්. සිල්වාගේ දළදාවංස කාව්‍යයත්, තදනන්තරව රචනා වී ඇති දළදා හටන, දළදා වතුර, දංෂ්ට්‍රා ධාතු කතා නම් ගද්‍ය ග්‍රන්ථය, දළදා විසිතුරු කාව්‍ය, දළදා ශතකය නම් ග්‍රන්ථත් දළදා සාහිත්‍ය ලෙස ශ්‍රාවක පාඨක දෙපක්ෂයේ ම ඉමහත් ප්‍රසාදයටත්, ගෞරවයටත් පාත්‍ර වී ඇත.

ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘති ගණනාවක් දළදා වහන්සේ පිළිබඳ රචනා වී ඇත්තේ දළදා වහන්සේගෙන් ලක්වැසියන් වෙත ලැබුණු අසිරිමත් ආශිර්වාදය හේතු කොට ගෙන ය.

දළදා වහන්සේ පිළිබඳ මෙ පමණ ගෞරවයක් ඇතිවීමට හේතු වී ඇත්තේ බුදුන් වහන්සේ විසින් දේශිත අසූහාරදහසක් ධර්මස්කන්ධය හෙවත් සෑම බුද්ධ දේශනාවක් ම ස්පර්ශ කළ දැනට පවතින ජීවමාන සාධකය වන්නේ දළදා වහන්සේ හෙයිනි.

ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයේ සංකේතය ලෙස සලකන දළදා වහන්සේ වෙනුවෙන් කෙරෙන දළදා පෙරහර අනුරාධපුර යුගයේ සිට ම රාජ රාජ මහාමාත්‍යාදීන් හා රටවැසියන් විසින් මහත් හරසරින් පවත්වා ඇත්තේ යථෝක්ත හේතු සාධක මුල් කොට ගෙන ය.

ඉතා ඈත අතීතයේ සිට මෙසේ සම්භාවනීය ගද්‍ය පද්‍ය සාහිත්‍යයක් නිර්මාණය කිරීමටත්, එසේ ම දළදා වහන්සේ තේමා කොට ගීත රචනා කිරීමටත් හෙළයන් ඉමහත් ඇල්මක් දක්වා ඇත. ඒ සෑම සාහිත්‍යයක ම, ගීතයක ම ඇත්තේ දළදා වහන්සේ පිළිබඳ හදපත්ලෙන් නැඟෙන අසීමිත වූ ශ්‍රද්ධා චිත්තය යි. ලක්වැසියෝ එයින් සැනසීමකට පත් වූහ.

අරිසෙන් අහුබුදු සූරීන් විසින් රචිත, සරත් දසනායක සංගීතවත් කළ, අමිතා වැදිසිංහ ගායනා කරන පහත සඳහන් ගීතය දළදා වහන්සේ පිළිබඳ විශේෂ වූ ගෞරවයක් ඇති කරන ගීතයකි.

සෙංකඩගලපුර දළදා බුදුරැස්
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන් හට සිංහල දේශෙට
සරණයි දළදා සමිඳුන්ගේ

මෙහිදී කවියා පවසන්නේ ලක් දෙරණ තුළ දළදා වහන්සේ වැඩ සිටින තුරු දළදා බුදු රැස්වල ආනුභාවයෙන් ලක්වැසි ජනතාවගේ ජීවන ගමන් මඟ නිවී සැනහී, යහපතක් ම සිදුවන බවයි. කවියා මෙහිදී විශේෂ තොරතුරක් ව්‍යංගයෙන් පවසා ඇත. එනම් “සිංහල දේශෙට සරණයි දළදා සමිඳුන්ගේ” යන ගායනයෙන් ජාති,ආගම්, කුලමල භේද පසෙකලා සියලු ම ලක්වැසි ජනතාවට දළදා වහන්සේගේ ආශීර්වාදය ලැබී, දේශය තුළ සහජීවනයෙන්, සමානාත්මතාවෙන් යුතු ව ජීවත්වන බවයි.

සාධුු දළදා සමිඳු පුදන්නට
මේවරත් අපි නුවර යමු
සාමයේ මල් රටට පිපෙන්නට
දළදා සමිඳුට බාර වෙමු

ලක්වැසියන්ට ඇති වන දුක්ඛ දෝමනස්සයන් හමුවේ දළදා වහන්සේ වැඳ පුදා, එයින් පිහිටක් බලාපොරොත්තුවෙන් කටයුතු කිරීමට හෙළයින් පුරුදු පුහුණු වී සිටි බව කවියා මෙහිදී අවධාරණය කරයි. ඈත අතීතයේ සිට ලක්වැසියන්ට ඒ තරමට ම දළදා වහන්සේ සිය ජීවිතයට සමීපත ම ආගමික සංකේතයකි.

පෝයදාට දළදා සුදු බුදුරැස්
රට වට හත් වටයක් යන්නේ
එනිසයි ලක්දිව වෙරළේ වැලි කැට
මුතු කැට වාගේ බබළන්නේ

පුර පසළොස්වක පොහෝ දවසට සුදු සඳරැස් දළදා මාලිගාව වසාගත් විට එයින් ගිලිහී යන සුන්දරත්වය නිසා තුරුලතා ආදියෙන්, සොබාදහමෙන්, පරිසරයෙන් දිස්වන පියකරුබව ඒ දෙස බලන ඕනෑම කෙනකුට සිත් පහන් වන බව කවියා මෙම ගී පද මඟින් ධ්වනිත කරවයි.

දළදා බුදු රැස් මාලාවට වන්දනා කරන සුදු සඳරැස් නිසා සොබාදහමේ ගෞරවාන්විත වන්දනාව දළදා වහන්සේට හිමි වේ. පෝය දවසට දළදා බුදු රැස් ලක් දෙරණ වටා හත් වටයක් ගමන් කරන බව ලක්වැසියන් අසීමිත භක්තියෙන් විශ්වාස කළ ඓතිහාසික ව පැවති විශ්වාසයකි. ලක්දිව වෙරළ වටා ඇති සුදු වැලිකැට සුදු බුදු රැස් සමඟ, සුදු සඳරැස් ද එකතු වී පැතිරී යන විට ඒවා මුතු කැට මෙන් බබළන බව කවියා මෙම පද පේලි මඟින් සඳහන් කොට ඇත. එහි ඇති ව්‍යංග්‍යාර්ථය මුළු දිවයින ම වටකොට දළදා වහන්සේගේ ආශීර්වාදය නිසා රටවැසියන්ට ලැබෙන කායික හා මානසික සැනසීම යි.

ලක්දිව රක්නා සම්දිටු දෙවියන්
පෙරහර කාලෙට රැස් වෙන්නේ
කැප්පිටිපොළ දෙවියන්දෝ හිමියනි
එසබේ මුලසුන හොබවන්නේ

කවියා මෙහිදී බුදුන් වහන්සේට අසීමිත ගෞරවයෙන් පවත්වන දළදා ඇසළ පෙරහර තම සදාදරණීය ශ්‍රාවකයාට සිහිගන්වයි. ලක් දෙරණට අධිගෘහිත සම්‍යක් දෘෂ්ටික දෙවිවරු පෙරහර පවත්වන කාලයට සිය විශේෂ අවධානයෙන් කටයුතු කරන බව තම ශ්‍රාවකයාට සිහිගන්වන්නේ දෙවියන් තුළ පවතින අසීමිත බුද්ධ ගෞරවය කෙතරම් නම් ආනුභාවයෙන් යුක්ත ද යන්න පැවසීමටයි.

මේ ඇසළ පෙරහර සමයයි. දිවයිනේ ජාතික මහා කලා මංගල්‍ය දළදා පෙරහර යි. දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය යි. එකී සත්‍ය විශ්වාස කරන තුරු

“සෙංකඩගලපුර දළදා බුදු රැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ”

අපට නොවරදින්නේ ම ය.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පූ.භා. 09.09න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 9.47න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]