|
නිකිණි පුර පසළොස්වක පෝ දා
2026-08-27
නිවී ගිය මිණි පහන
සුපිළිපන් භික්ෂු ජීවිතයකට, සුපසන් මඟ කියා දෙමින් තමන් වහන්සේට මහා ශක්තියක් වූ
ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ, ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ ගැන අපවත්වී
වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ මා හිමියන් වහන්සේ එක් අවස්ථාවක මෙවැනි සටහනක් තැබූහ.
ඉණි මං බඳින හැටි බැණ බැණ කියාදිදී
ඉණි මං නඟින හැටි බැලුවා සිනාසිසී
ජීවන මඟ පෙන්වන්නකුගේ, ගුරු උතුමකුගේ ශ්‍රේෂ්ඨත්වය, මුදිතා ගුණය පවසන මේ පදවැල
සංයමයෙන් කියවන කවරකුගේ වුව දෙනෙතට කඳුළු නැඟෙන තරමට සංවේදී ය. කෙනකුගේ දියුණුව
හමුවේ සතුටු වන්නට තරම් පොහොසත් හදවත් මෙකල දුර්ලභ වන නිසා ය. ඒ මුදිතා ගුණයට පද
වැලකින් දැක්වූ කෘතවේදීත්වය මනරම් ය. ඒ උතුම් ගුණ පිරිපුන්, ලාංකේය සුභාවිත ගීත
සාහිත්‍යය වෙනුවෙන් ප්‍රමාණය කළ නොහැකි මෙහෙවරක් ඉටු කළ සම්මානනීය ගේය පද රචක
පූජනීය රඹුකන සිද්ධාර්ථ මාහිමිපාණන් වහන්සේගේ නික්මයෑම උන්වහන්සේගේ ගී පද වින්දනය
කළ සෑම මිනිස් සිතක ම පහන් සංවේග උපදවන්නේ ය.
සම්බුදු දහමේ ඉගැන්වෙන මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව යන සිව්බඹ විහරණ ගුණෙන්
සුසැදි ආකල්පයන්ගෙන් මානව සමාජය සුපොහොසත් කරන්නට උන්වහන්සේගේ ගී පද ආදරණීය
ආමන්ත්‍රණයකි.
අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිරිකී මේ සසර මඟ ඉපදෙන මිය යන චක්‍රයක කැරකෙන අසරණ
සත්වගට ඇවැසි නිවීම බවත්, ඒ නිවීමට යන මග දුර වූයේ කුමක් නිසා ද යන බවත්,
බුදුහාමුදුරුවො අපිත් දකින් නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ ලෙසින් ගීයට නඟන්නේ බුදුමඟට ඇරයුම් කරමිනි.
ලාංකේය ඉතිහාසය, ආදරය, කරුණාව ආදී පුද්ගල හැඟීම් සේ ම ඒ හා බැඳුණු මානව සම්බන්ධතා ද
උන්වහන්සේගේ ගීතවලට පසුබිම් විය. ලෝභ, ද්වේෂ, මෝහාදී අකුසල මූල නිසා හටගන්නා
සිතිවිලිවල අරගලය සංසිඳුවන්නට බුදුබණ පදවලින් උන්වහන්සේ මිනිස් හදවත්තුළට
ආමන්ත්‍රණය කළහ.
බෞද්ධ සමාජයේ මව්පිය දූ දරු සබඳතා රැක ගන්නට, අඹුසැමි සබඳතා ශක්තිමත් කරන්නට,
මිනිස්කම් රැක ගන්නට ආරාධනා කරන්නට උන්වහන්සේ රචනා කළ ගීත අපමණ ය. ඒ උත්සාහය යහපත්
සමාජයකට දොරගුළු විවර කරන්නට සිදුකළ මෙහෙවරක් ම විය.
බෞද්ධ දර්ශනය මැනවින් හදාළ උන්වහන්සේ ඒ පිළිබඳ ගෞරව උපාධිධාරී වූහ. පාලි හා සංස්කෘත
පිළිබඳ මනා කියවීමක්, විශිෂ්ට හැදෑරීමක් උන්වහන්සේ සතු විය. උන්වහන්සේගේ ගීපද
අර්ථාන්විත ව පබැඳෙන්නට ඒ දැනුම් සම්භාරය ද ඉවහල් වන්නට ඇත. සද්ධර්ම මකරන්ද පද
රශ්මි ධාරා, හිමි සනරාමර, බණ කියන රටක්, ලා දලු බෝපත්, වෙහෙරක් වගේ, සසර දනව්වේ,
මවයි පියයි එකතුවෙලා, පිපෙනා මලකට, සඳවතුරක් සේ ඇතුළු අපමණ ගීත ඒ බව ප්‍රකට කරයි.
සුමට, සුගම හෙළ වදනින් හෙළ සාහිත කෙත සරු කළ රඹුකන සිද්ධාර්ථ මාහිමිපාණන් වහන්සේ
එහිදී අපේකම, ගැමිකම අමතක නොකළහ. පහත උදෘතය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස
නාහිමිපාණන් වහන්සේ රඹුකන සිද්ධාර්ථ හිමියන් ගැන තැබූ සටහනකිනි.
“උන්වහන්සේගේ කවිත්වයේ ඉතා වැදගත් ලක්ෂණය වන්නේ භික්ෂුත්වයේ සීමා උල්ලංඝනය නොකරමින්
ගීත රචනා කිරීම ය. එසේම අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පැනෙන චින්තා කවි, සුතකවි,
අත්ථකවි හා පටිභාන කවි යන කවියන් අතර වංගීස තෙරුන් වන් එකෙනෙහි පැන නඟින අදහසක් ගේය
පදයන්ගෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව දරාගත් ප්‍රතිභාණ කවිත්වයක් උන්වහන්සේ සතුව
පැවතිණ”.
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. |