[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහනුවර ඇසළ පෙරහර අපේ අනන්‍යතාවයි

මහනුවර ඇසළ පෙරහර අපේ අනන්‍යතාවයි

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල

ශී‍්‍ර දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය හොබවනු ලබන්නේ මල්වතු අස්ගිරි උභය මහ විහාරයීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම ය. ගිහි භාරකාරත්වය දරන්නේ දියවඩන නිලමේතුමන් ය. වසර 2005 සිට දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය හොබවන ප්‍රදීප් නිලංග දෑල මහතා මෙවර සංවිධාන කරන්නේ දළදා මාලිගාවේ 22 වැනි ඇසළ පෙරහරයි. දළදා වහන්සේ සහ සතර සිව් මහා දෙවිවරුන් වෙනුවෙන් පවත්වන පූජෝත්සවයක් වන මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සාර්ථක ව පවත්වා අවසන් කිරීම දියවඩන නිලමේතුමන්ගේ ප්‍රධාන වගකීමකි. මෙවර ඇසළ පෙරහර සංවිධානය සම්බන්ධයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

මහනුවර ඇසළ පෙරහර ජාත්‍යන්තර ව පවා ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ හෙළයේ විචිත්‍රවත් මහා කලා මංගල්‍යය ලෙසින්. මහනුවර ඇසළ පෙරහර මෙතරම් සුවිශේෂී වන්නේ ඇයි?

දළදා වහන්සේ මහනුවරට වැඩම කිරීමට පෙර දේවාල පෙරහර පවත්වා තිබෙන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමි සියම් දේශයෙන් උපසම්පදාව මෙරටට ගෙන ඒමෙන් පසු දළදා පෙරහර, දේවාල පෙරහර හා එක්ව තිබෙනවා. දළදා වහන්සේ උදෙසා පෙරහර ඇතුළු පූජෝපහාර පැවැත්වීම උන් වහන්සේ මෙරටට වැඩම කළ දා පටන් ම සිදු කෙරෙනවා. මෙය දළදා වහන්සේ හා සිව් මහ දෙවිවරුන් වෙනුවෙන් කරන්නා වූ පූජෝපහාරයක්.

දළදා වහන්සේ තමයි බෞද්ධයන්ට ලෝකයේ ඇති වටිනාම වස්තුව. අපේ රටේ ජනතාව දළදා වහන්සේ සැලකුවේ රාජ්‍යත්වයේ සංකේතය ලෙසයි. මේ නිසා රජවරුන් උන් වහන්සේ උදෙසා කරන්නා වූ පූජෝත්සව විශිෂ්ටතම අයුරින් සිදු කරන්නට පියවර ගත්තා. පෙරහරට සම්බන්ධ වූ කලාකරුවන්ට රජවරු ඉඩකඩම් දීලා රාජකාරි පැවරුවා. ඒ පාරම්පරික පවුල්වල පිරිස් අදත් ඉන්නවා. දළදා මාලිගාවේ හා සතර මහ දේවාල පෙරහරට කලාකරුවන් 2000ක් පමණ සහභාගි වෙනවා. අලි ඇතුන් 70ක් 80ක් පමණ සම්බන්ධ කෙරෙනවා. අතීතයේ පටන් පැවත එන පෞරාණික චාරිත්‍ර ගරු කරමින් මේ උත්සවය සංවිධාන කරන්නේ. දවල් පෙරහරත් සමඟ අඛණ්ඩ ව දින 11ක් පෙරහර වීදි සංචාරය කරනවා. මේ සියල්ල නිසා මහනුවර ඇසළ මංගල්‍යය සුවිශේෂයි.

වාණිජකරණයේ බලපෑම පෙරහරටත් එල්ල වෙනවා. පෞරාණික චාරිත්‍ර ආරක්ෂා කර ගනිමින් එහි ඇති සාම්ප්‍රදායික වටිනාකම් ඒ ආකාරයෙන් ම පවත්වා ගැනීම අභියෝගයක් නේද?

ලංකාවේ බොහෝ පෙරහර කාලානුරූපී ව අද වන විට විශාල වෙනස්කම්වලට ලක්ව තිබෙනවා. මහනුවර ඇසළ පෙරහර කියන්නේ අපේ අනන්‍යතාව කිව්වොත් නිවැරැදියි. මම 2005 දියවඩන නිලමේ ධුරයට පත්වෙලා මාසයක් ඇතුළත තමයි පෙරහර කළේ. මම වසරින් වසර පෙරහරේ සාම්ප්‍රදායික ලක්ෂණ යළි මතු කරන්නත්, නර්තන ශිල්පීන්ගේ දක්ෂතා වර්ධනය කරන්නත් කටයුතු කළා. ශිල්පීන් කැමැතියි ආකර්ෂණය ගන්න නොයෙක් තද වර්ණ, සී ක්වින්ස් වැනි දිලිසෙන දේවල් තමන්ගේ ඇඳුම්වලට එකතු කර ගන්න. මම දළදා මාලිගාවේ පෙරහරට එක්වන ශිල්පීන්ට හැම විටම උපදෙස් දෙන්නේ අපි සම්ප්‍රදාය ආරක්ෂා කර ගන්න ඕනෑ කියලයි. සිව් මහා දේවාල බස්නායක නිලමේවරුත් මේ ස්ථාවරයේ සිටිමින් තමයි පෙරහර සංවිධාන කරන්නේ.

දළදා මාලිගා පෙරහරේ ගමන් කරන අලි ඇතුන්ට අවශ්‍ය හස්ති වස්ත්‍ර පූජා කරන්න ජනතාවගේ විශාල උනන්දුවක් තිබෙනවා නේද?

දළදා වහන්සේ උදෙසා මුළුතැන් පූජාවක් ලබා ගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක් තරමට දුෂ්කරයි. මොකද අතීතයේ සිටම මේ මුළුතැන් පූජාව ලබා ගත් අය එය අත්නොහැර පවත්වා ගෙන එනවා. ඒ නිසා අලුතින් කෙනකුට මුළුතැන් පූජාවක් ලබා ගැනීම හරිම දුෂ්කරයි.

අද වන විට හස්ති වස්ත්‍ර පූජා කිරීමත් ඒ තත්ත්වයට පත්වෙලා. මෙයට දශක තුනකට පමණ ඉහතදී තුසිත විජයසේන මහතා කරඬුව වැඩම කරන ඇතාට ඇඳුම් පූජා කර තියෙනවා. ඒ වනවිට අලි ඇඳුම්වල ව්‍යාපාරික වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් පවා දකින්න ලැබුණා. පූජා කළ පුද්ගලයාගේ හෝ ඔහුට අයත් ව්‍යාපාරයේ හෝ නම ඇඳුමේ සඳහන් කළා. තුසිත් විජයසේන මහතා මෙය නතර කරන්නට හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා සමඟ එකතු වී මුල් ආරම්භයක් දුන්නා. එදා පටන් තුසිත විජයසේන මහතා වඩම්මන ඇතාට ඇඳුම් පූජා කිරීම හැම අවුරුද්දේ ම කළා. මම 2005 දියවඩන නිලමේ ධුරයට පත් වුණා ම මාලිගාවේ පෙරහරේ අලි ඇතුන්ට ඇඳුම් මාලිගාවේ වියදමින් මහන්න පටන් ගත්තා. පසුව 2012 දී අලි ඇඳුම් පූජා කරන්න ජනතාවට අවස්ථාව ලබා දීමට අපි තීරණය කළේ ඔවුන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙනයි. මෙවර හස්ති වස්ත්‍ර 70ක් පූජා කළා. කරඬුව වඩමවන ඇතාට ඇඳුමක් පූජා කරන්න මට අවුරුදු දෙකක් බලාගෙන ඉන්න සිදුවුණා. අවසානයේ තුසිත විජයසේන මහතාගෙන් ඉල්ලීමක් කරලා තමයි අන්තිම දවසේ කරඬුව වඩමවන ඇතාට අන්දන්න ඇඳුම පූජා කරන්න අවස්ථාව ලබා ගත්තේ. මේ වන විට අඛණ්ඩ ව හස්ති වස්ත්‍ර පූජා කරන පිරිසක් ඉන්නවා. අනෙක් අයට අවස්ථාව දෙන්න පුළුවන් වෙන්නේ ඒ අයට ප්‍රමුඛස්ථානය දීලයි.

පෙරහරට අවශ්‍ය අලි ඇතුන්ගේ හිඟය තාමත් තිබෙනවාද?

ඔව්. මේ ප්‍රශ්නය තාමත් ඒ විදිහට ම තිබෙනවා. දැන් මුළු රටේ ම ඉන්නේ හීලෑ අලි ඇතුන් 93යි. දළදා මාලිගාවේ ඇත් පන්තියේ අලි ඇතුන් 12ක් ඉන්නවා. ඒ ටික ගියාම පිට ඉන්නේ අලි ඇත්තු 81යි. දැනට ඉන්න අලි ඇතුන් අතරින් වැඩි දෙනෙක් අවුරුදු 50 ඉක්මවූ අය. ඉදිරියේ දී අලුතින් අලි ඇතුන් හීලෑ අලි සංචිතයට එකතු නොවුණොත් තවත් අවුරුදු 10ක් යනකොට අපේ අලි සම්පත 25ක් දක්වා අඩු වෙනවා. කරඬුව වැඩම කරන්න දළදා මාලිගාවේ ඉන්දි රාජා ඇතා ඉන්නවා. දැනට ඒකට ඉන්න සුදුසු ම ඇතා ඉන්දි රාජා.

මෙයට අමතරව කතරගම වාසනා ඇතාත් කරඬුව වැඩම කරනවා. දළදා පෙරහරේ වැඩිම වාර ගණනක් කරඬුව වැඩම කරන්නේ ඉන්දි රාජා. 2009 අවුරුද්දේ පෙරහර 10ම එක දිගට ඉන්දි රාජා කරඬුව වැඩම කළා. මාලිගාවේ ඇත් පන්තියේ තවත් ඇතුන් කිහිප දෙනෙක් මේ කටයුත්තට ඉන්නවා. මේ ඇත්තු වයසට යනකොට ඒ අඩුව පුරවන්න හොඳ දළ ඇත්තු නැති වුණොත් අපට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැනට ඉන්න අලි ඇත්තු සංඛ්‍යාව අඩු නිසා තෝරා ගැනීමක් කරන්න අපට ඉඩක් නැහැ. ඒ නිසා පෙරහරේ ගෙනියන්න සුදුසු නැති අලි පවා ගෙනියන්න වෙලා. සාමාන්‍යයෙන් අවුරුදු 30 ඉක්මවා තරුණ වයස පහු කරන අලි ඇතුන් තමයි පෙරහරක ගෙනියන්න වඩාත් ම සුදුසු. මොකද තරුණ අලි තරමක් දඩබ්බරයි. වයස සතුන් ද පෙරහරේ ගෙනයෑම සුදුසු නැහැ. කොහොමත් කලබලකාරි අලි ඇතුන් ඉන්නවා. ඒ අයත් පෙරහරට එක්කර ගැනීම අවදානම්. මම 2005 පළමු පෙරහර කරන කොට අලි ඇතුන් 113ක් පෙරහරේ ගියා. අපිට තෝරා ගැනීමට තරම් හොඳ අලි සංචිතයක් තිබුණා. අද ඒක නැහැ.

මහනුවර ඇසළ පෙරහරට රජයේ දායකත්වය ලැබෙන්නේ කොහොමද?

රාජ්‍ය උත්සවයක් ලෙස මහනුවර ඇසළ පෙරහර ගැසට් කර තිබෙන්නේ. මේ වෙනුවෙන් රජය විශාල පිරිවැයක් දරනවා. පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ 8000ක් පමණ ආරක්ෂාව වෙනුවෙන් යොදවනවා. මෙයට අමතර ව ප්‍රවාහනය, ජල විදුලිය, දුරකතන ආදී සියලු ක්ෂේත්‍රවලට අදාළ පහසුකම් රජය විසින් ඒ ඒ ආයතන හරහා ලබා දෙනවා. නගරය පිරිසිදු කිරීම ඇතුළු අංශ ගණනාවක් මහනුවර නගර සභාවෙන් සිදු කරනවා.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පූ.භා. 09.09න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 9.47න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]