[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දළදා වහන්සේගේ භාරකාරිත්වය

දළදා වහන්සේගේ භාරකාරිත්වය

මහනුවර යුගයේ දළදා ඉතිහාසය සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලය (1742-1782) අතිශය වැදගත් ය. අභාවයට ගොස් තිබූ භික්‍ෂු උපසම්පදාව සියම් දේශයෙන් රැගෙන විත් ශ්‍රී ලංකා ද්වීපය තුළ බුද්ධ ශාසනය නැවත පිහිටුවීම උදෙසා අමිල මෙහෙයක් කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් ඉන් නොනැවතී වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජයන්ගේ උපදෙස් පරිදි දිවයින පුරා විසිරි පැවති පුරාණ විහාරයන් නැවත ප්‍රතිසංස්කරණය කරමින් හා නව විහාර කර්මායන්තයන් ආරම්භ කරමින් සම්බුද්ධ ශාසනයේ අභිවර්ධනය උදෙසා සිදු කරන්නට යෙදුනේ අතුල්‍ය සේවයකි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස දළදා වහන්සේගේ සුරක්‍ෂාව සහතික කිරීමට කටයුතු කරනු ලැබුවත් ඉන් අනතුරුව සිදුවු ලන්දේසී හා ඉංග්‍රිසී ආක්‍රමණයන් හමුවේ දළදා වහන්සේගේ සුරක්‍ෂාව උදෙසා චිරස්ථායි ආරක්‍ෂක විධිවිධානයන් සම්පාදනය කිරීමට මල්වතු-අස්ගිරි උභය මාහවිහාරීය මහනායක මාහිමිවරුන්ට සිදු විය. විශේෂයෙන් ම අභ්‍යන්තරික දේශපාලනික අර්බුද හමුවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍යත්වයෙන් පහකර බ්‍රිතාන්‍ය සිරකරුවකු බවට පත් වීමෙන් පසු එතෙක් පැවති සිංහල බෞද්ධ රජකුගේ රාජ්‍ය පාලනය වෙනුවට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ගේ ග්‍රහණයට ලක්දිව නතුවිය.

එකී සංසිද්ධීන්ගේ කූට ප්‍රාප්තිය 1815 උඩරට ගිවිසුමත් සමඟ ඇති විය. එතෙක් ලක්දිව පාලනය කළ සාම්ප්‍රදායික පාලන ව්‍යුහය දෙදෙරා ගොස් අධිරාජ්‍යවාදීනගේ පාලන තන්ත්‍රයට ලංකා රාජ්‍ය යටත් වීමත් සමඟ ම දළදාවේ භාරකරුවා රටේ උරුමක්කාරයා යන සාම්ප්‍රදායික ජනමතය අභියෝගයකට ලක්වන්නට විය. මෙම තීරණාත්මක අවස්ථාවේ දී දළදා වහන්සේගේ සුරක්‍ෂාව උදෙසා විචක්‍ෂණශීලි ක්‍රියා මාර්ගයක් ගැනීමට උභය-මහාවිහාරයන් දැරූ ප්‍රශස්ත උත්සාහයට මනා නිදර්ශනයක් ලෙස උඩරට ගිවිසුමේ 5 වැනි වගන්තිය දැක්විය හැකි ය.

එතෙක් රාජ්‍ය සම්ප්‍රදාය තුළින් පිළිගත් බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව සහතික කිරිමේ රාජ්‍ය වගකීම නෛතික රාමුවක් තුළට ඇතුළත් වීමේ ප්‍රාරම්භක අවස්ථාව ලෙස මෙය හැඳීන්විය හැකි ය.

බෞද්ධාගමික වත්පිළිවෙත් හෙළා දකිමින්, ඒවා ගර්හාවෙන් ප්‍රතික්‍ෂේප කළ බ්‍රිතාන්‍ය පාලයකයන් මෙවැනි සම්මුතියකට එකඟ වීමට පොළඹවා ගැනිම ම ලාංකිකයන් ලැබූ ජයග්‍රහණයක් බව සිතිය හැකි ය.

මල්වතු-අස්ගිරි උභය මහාවිහාරිය භික්‍ෂූන් මගින් දළදා වහන්සේගේ තිරසර සුරක්‍ෂාව උදෙසා ගන්නා ලද විචක්‍ෂණශීලී ම තීරණයක් ලෙස උඩරට ගිවිසුමෙහි පස්වැනි වගන්තිය හැඳීන්විය හැක. එමෙන් ම මල්වතු-අස්ගිරි උභය මහා විහාරයේ ඓතිහාසික බලය අවතක්සේරු කරමින් මෙරට පාලනය කිරිම සිදු කළ නොහැකි බවට බ්‍රිතාන්‍යයන් අවබෝධ කර ගත් අවස්ථාවක් ලෙස ද පස්වැනි වගන්තිය හැඳීන්විය හැකි ය.

රාජ්‍යත්වයේ සංකේතය ලෙස ජනතා හරසරට පත් දළදා වහන්සේගේ භාරකාරත්වයෙන් තොරව තමන් වෙත ලාංකිකයන්ගේ පාක්‍ෂිකත්වය ලබා ගත නොහැකි බව ඒ වන විට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් මෙන් ම මහනුවර ඒජන්ත ලෙස පත් කළ ජෝන් ඩොයිලි ද මැනවින් අවබෝධ කර ගෙන සිටියහ.

1815 වන විට රට තුළ පැවති ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් දළදා මාළිගාවෙන් පිටතට වැඩම කරවා සිටි දළදා වහන්සේ මහනුවරට වැඩම කරවීමට ගිවිසුම අත්සන් කළ තැන් පටන් බ්‍රිතාන්‍යයන් යුහුසුළු ව කටයුතු කරන්නට වූයේ ලාංකේය භූ දේශපාලන අධිකාරීයේ අසහාය සංකේතය වූයේ දළදා වහන්සේ වීම හේතුවෙනි. එහෙත් බ්‍රිතාන්‍යයන් විශ්වාස නොකළ උභය මහා විහාරීය මහානායක මාහිමිවරුන් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගෙන් තවදුරටත් බුද්ධාගම හා දළදා වහන්සේ ආරක්‍ෂා කරන බවට සහතිකයක් ලැබෙන තුරු දළදා වහන්සේ මහනුවරට වැඩම කරවීමට කටයුතු නොකළහ.

ඓතිහාසික වාර්තාවන්ගේ දැක්වෙන පරිදි ක්‍රි.ව 1815 ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කිරීමට ආසන්න කාලයේ දී දළදා වහන්සේ මහනුවර දළදා මාළිගාව තුළ වැඩ සිටිම දළදා වහන්සේගේ ආරක්‍ෂාවට හානියක් බව අවබෝධ කර ගත් මල්වතු-අස්ගිරි උභය මහා විහරීය මහානායක මාහිමිවරු දළදා වහන්සේ කොත්මලේ පුසුල්පිටිය විහාරයට වැඩම කරවූහ. ඩොයිලිගේ දිනපොතේ 1815 මාර්තු 10 වැනි දින සටහන මෙම කරුණ සනාථ කරන අතරම දළදා වහන්සේගේ ආරක්‍ෂාව උදෙසා මල්වතු-අස්ගිරි මහානායක මාහිමිවරුන් කොතරම් සැලකිලිමත් වී ද යන්නත් ඒ තුළින් මනාව ගම්‍යමාන වේ.

“...සවස සයට පමණ විහාර දෙකේ සංඝයා වහන්සේ දළදා මාළිගාවට පැමිණියෙන් සුදු ආණ්ඩුකාරතුමා ප්‍රථමයෙන් මල්වත්ත විහාරයේ භික්‍ෂූන් වහන්සේලාගේ සැපදුක් විචාළේ ය.

භික්‍ෂූහු :- අපට දැන් කිව යුතු තරම් කරදරයක් නැත. හොඳ සනීපෙන් පසුවෙමු.

ආණ්ඩුකරු :- මම එය බලවත් ප්‍රීතියෙන් අසමි.

භික්‍ෂූහු :- අප ගැන මෙසේ විමසීමට කාරුණික වීම ගැන අපි ආණ්ඩුකාරතුමාට අපගේ ප්‍රීතිය ප්‍රකාශ කරමු.

ආණ්ඩුකරු:- භික්‍ෂූන් වහන්සේට බ්‍රිතාන්‍ය රජයේ සම්පූර්ණ සුරක්‍ෂිත භාවය හා වගකීම් සහිත බව ලැබෙනු ඇතැයි, මම ගෞරවයෙන් දන්වනවා. උන්වහන්සේලාගේ විහාරස්ථාන පූජනීය වශයෙන් ද, ආගම ගෞරවාන්විත ලෙස ද, සලකනු ලැබේ. මෙම වාක්‍යය තේරුම් කර දීමේ දී, අදිකාරම් තම කථාවේ ශබ්ද වඩාත් උස් හඩින් දැක්වීය.

භික්‍ෂූහු:- විජය රජතුමාගේ පටන් පිළිවෙළින් දිවයිනේ රජ කළ රජවරු, බුදුදහම ආරක්‍ෂා කළහ. බුද්ධාගම නිසා, ලංකාව ලෝකයේ නොවැටෙන ජාතියක් වශයෙන් සුරක්‍ෂිත විය. තවද මෙරට රජවරුන්ගේ හා ජනතාවගේ සුභ සිද්ධියට ආගම ඉවහල් විය. ආගම නගා සිටුවීම නිසා, ඇතිවු සමෘද්ධතාව හේතු කොට ගෙන, රටේ රෝග උපද්‍රව ආදිය තුරන් විය.ලෝකයට සෙතක් විය. ඒ නිසා උතුමාණන් විසින් ආගම ආරක්‍ෂා කිරීමට දක්වන සැලකිල්ල අපට අතිශය සන්තෝෂයට හේතුවක් වී තිබේ.

ආණ්ඩුකරු:- බුද්ධාගමට තමාගේ සම්පූර්ණ ආරක්‍ෂාව ලැබෙන බව සහතික ලෙස නැවතත් පැවසීය. ආණ්ඩුකරු ඊළගට, අස්ගිරි විහාරයේ භික්‍ෂුන් වහන්සේලාගේ සුවදුක් විචාරා, පළමු සේ සතුටුදායක පිළිතුරු දුන්නේ ය. භික්‍ෂූන් පිටවී ගියෙන්, මම අදිකාරම්වරුන් හා ප්‍රභූන් සමඟ දළදා මාළිගාවට ගොස්, දළදා වහන්සේ ආපසු ගෙන ඒම සඳහා භික්‍ෂූන් ද සමඟ දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීමි. අපි සාමයික වස්තුවක් ලෙස දළදා වහන්සේ ආරක්‍ෂා කිරීම ගැන කතා කර ගෙන ඒවා භාර නායක අනුනායක යන නිලධරයන් පසු පස මඟුල් මඩුවට ගොස්...”

මේ අනූව පැහැදිලි වනුයේ පුසුල්පිටියේ සඟවා තිබූ දළදා වහන්සේ පිළිබඳ ඩොයිලිට තොරතුරක් ලබා ගත හැකි වන්නේත්, දළදා වහන්සේ නැවත මහනුවරට වැඩම කරවීමට උභය මහාවිහාරයේ මහානායක මාහිමිවරුන් ඇතුලු රදලවරුන් එකඟ කර ගැනිමට හැකි වන්නේත් බුදුදහම හා දළදා වහන්සේ ආරක්‍ෂා කරන බවට නිශ්චිත ප්‍රතිඥාවක් ලබා දීමෙන් අනතුරුව බවයි.

දළදා වහන්සේගේ සුරක්‍ෂාව උදෙසා ඕනෑම ප්‍රබල ආක්‍රමණිකයකු හමුවේ වුව ද එඩිතරව කටයුතු කරන්නට උභය මහාවිහාරය ශක්තිමත් වූ බවට මෙය කදිම නිදසුනකි.

මෙහි සම්පූර්ණ තොරතුරු සහිත ලිපිය නිකිණි අව අටවක පෝදා අන්තර්ජාල කලාපයේ පළ වේ.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පූ.භා. 09.09න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 9.47න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]