[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතයයි

දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතයයි

මේඝවර්ණ රාජ සමයේ හේමමාලා සහ දන්ත කුමරුන් විසින් මෙරටට වැඩමවා ගෙන එන ලද වාම ශ්‍රී දළදා වහන්සේ එම රජතුමා විසින් ඉතා හරසරින් පිළිගෙන ධම්මචක්කගේහ හෙවත් ප්‍රථම දළදා මැඳුරෙහි වඩා හිඳුවා, අභයගිරි වාසී භික්ෂූන් වහන්සේට එහි පුදසිරිත් භාර කළ බව ඉතිහාසයේ සඳහන් වේ. දළදා වහන්සේ මෙරටට වැඩමවීමෙන් ලද අසීමිත ප්‍රීතියෙන් මුසපත් වූ රජතුමා තම රාජාසනය මත දළදා වහන්සේ වැඩහොවා, දළදා වහන්සේ උදෙසා කළ හැකි උත්තම පූජාවක් වශයෙන් මේ රට ම දළදා වහන්සේට පූජා කරන බව ප්‍රකාශ කළේ ය. මෙය වනාහි දළදා වහන්සේ වැඩම වූ මුල් අවදියේ සිට ම ඒ කෙරෙහි මෙරට රජතුමාගෙන් ලද සුවිශේෂ අනුග්‍රහය සංකේතවත් කරන්නකි.

අනුරාධපුර රාජ සමයෙහි විසූ විවිධ රජවරු දළදා වහන්සේ විෂයයෙහි ස්වකීය ගෞරවය ප්‍රකට කරනු පිණිස විවිධ පූජා, චාරිත්‍ර සිදු කළ බව ඉතිහාසය තුළ මොනවට සඳහන් වේ. දළදා පෙරහර පැවැත්වීම, දළදා ප්‍රදර්ශන පැවැත්වීම හා දළදා පූජෝපහාර පැවැත්වීම වැනි දළදා වහන්සේ මුල් කර ගත් අනේකවිධ පූදසිරිත් රැසක් ගොඩනැඟුණේ මේ නිසා ය. ශ්‍රී ලාංකේය මූලාශ්‍ර පමණක් නොව විදේශීය මූලාශ්‍ර පවා සනාථ කරන දළදා වහන්සේ විෂයයෙහි මේ දක්වන ලද සුවිශේෂ ගෞරවය ආරම්භයේ සිට ම පැවත එන්නක් බව මින් පැහැදිලි වේ.

දළදා ඉතිහාසයේ සුවිශේෂී කාල පරිච්ඡේදයක් උදාවන්නේ පොලොන්නරු රාජ සමය තුළ යි. පස්වැනි මිහිඳු රජුගෙන් අවසන් වූ අනුරාධපුර රාජධානිය එකොළොස් වැනි සියවසෙහි නැවත පොළොන්නරුවේ ස්ථාපිත වන්නේ මහා විජයබාහු රජතුමාගෙනි. අනුරාධපුර යුගයෙහි පශ්චිම භාගයෙහි දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් විසින් විනාශයට පත් කළ වෙහෙර විහාර සහ බෞද්ධ පුදසිරිත් යළි ගොඩනැඟීමට මෙතුමා බොහෝ සේ කැප වී කටයුතු කළේ ය. අටදාගෙය නමින් විශේෂ මන්දිරයක් ඉදිකරවා එහි දළදා වහන්සේ වඩා හිඳුවමින් විශේෂ පූජෝපහාර දැක්වීමට මෙතුමා කටයුතු කළේ දළදා වහන්සේ පූජ්‍යත්වයේ පමණක් නොව මේ වන විට රාජ්‍යත්වයේ ද සංකේතයක් ලෙස පිළිගෙන තිබුණු නිසාවෙනි.

මෙරට රජවරු දළදා වහන්සේ විෂයයෙහි තරගකාරී ස්වරූපයෙන් විවිධ පුද පුජා හා චාරිත්‍ර ඉටු කිරීමට උත්සුක වූයේ, හුදෙක් දළදා වහන්සේ විෂයයෙහි පැවති ගෞරවය නිසා පමණක් නොව දළදා වහන්සේ ආරක්ෂා කොට පෝෂණය කිරීම රජුගේ පරම වගකීම වූ නිසාවෙනි. එබැවින් පොලොන්නරු රාජධානි සමය දළදා පූජෝපහාරවල ද සුවිශේෂී කාල පරිච්ඡේදයකි. අටදාගෙය, වටදාගෙය, සැටදාගෙය නමින් දළදා මැඳුරු තුනක් ම මෙකී රාජධානි සමයෙහි ඉදිවීම ද මෙහිලා කදිම නිදසුනකි. එමෙන්ම අනේකවිධ දළදා පූජෝපහාර ද ඉතා විසිතුරු අන්දමින් රාජකීය අනුග්‍රහය යටතේ සිදු වූයේ ද දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස පැවති නිසාවෙනි.

ඉන් අනතුරුව දඹදෙණිය, යාපහුව, කුරුණෑගල වැනි රාජ්‍ය සමයන් හි ද දළදා වහන්සේ ඒ ඒ රාජධානිවලට වැඩම කරවමින් රජ මාලිගාව සමීපයෙහි දළදා මැඳුරු ඉදි කොට ආරක්ෂා කිරීමට අතීත රජවරුන් කටයුතු කළ ආකාරය ලංකා ඉතිහාසයේ කැපී පෙනෙන ලක්ෂණයකි.

කෝට්ටේ රාජධානි සමය ද එලෙස ම දළදා වහන්සේ උදෙසා තුන් මහල් ප්‍රසාදයක් ඉදි කරවා දළදා වහන්සේ එහි වඩා හිඳුවා දක්වන ලද සුවිශේෂී රාජකීය අනුග්‍රහය සමකාලීන සාහිත්‍ය කෘතිවලින් පවා මොනවට ප්‍රකට වේ. සය වැනි පරාක්‍රමබාහු රජ සමය දළදා ඉතිහාසයෙහි සුවිශේෂී බවක් උසුලන්නේ එතුමා ද දළදා වහන්සේ ස්වකීය රාජ්‍යත්වයට ප්‍රබල සාධකයක් සේ සලකා ආරක්ෂා කළ නිසයි.

1505 දී පෘතුගීසි ආගමනයත් සමඟ ලංකා දේශපාලනයේ ඇති වූ ව්‍යාකූල භාවය හමුවේ වුව ද දළදා වහන්සේ ආරක්ෂා කොට පවත්වා ගෙන යාම තම පරම වගකීම සේ අතීත පාලකයෝ සැලකූහ. මේ නිසා රහසිගත ව දළදා වහන්සේ විවිධ ස්ථානවල තැන්පත් කොට ආරක්ෂා කිරීමට ඔවුන් කටයුතු කළේ මෙරට ඇති අග්‍රගන්‍ය පූජ්‍ය වස්තුව නිසා මෙන් ම, ඒ වන විට දළදා වහන්සේ රාජ්‍ය සතු උතුම් ම වස්තුවක් ලෙස රජවරුන් සැලකූ නිසා ම ය.

සිංහලයේ අන්තිම රාජධානිය උදා වන්නේ දහසය වැනි සියවසේ අග භාගයේ දී ය. පළමු වැනි විමලධර්මසූරිය රජු 1592 දී පමණ මහනුවර රජවීමත් සමඟ සිය දේශපාලන ස්ථාවර භාවය ආරක්ෂා කර ගත්තේ මූලික කරුණු දෙකක් මතයි. එතෙක් දෙල්ගමු විහාරයෙහි සුරක්ෂිත ව වැඩ සිටි දළදා වහන්සේ නැවත මහනුවරට වැඩමවා දළදා වහන්සේ තමන් සන්තකයට ගත් බව රට වැසියාට ප්‍රකට කිරීමත් නිසා ය. එතැන් සිට මහනුවර විසූ රජවරුන් නව දෙනා ම තම රාජ්‍යත්වයේ ස්ථාවරත්වය ඇති කර ගත්තේ දළදා වහන්සේ තමා සන්තකයෙහි තබා ගැනීමෙනි.

දෙවැනි රාජසිංහ රජු සමයෙහි එල්ල වූ පෘතුගීසි ආක්‍රමණ අවස්ථාවේ රජතුමා අන් කිසි දේකටත් වඩා දළදා වහන්සේ රැගෙන දුර්ග ස්ථානයක ආරක්ෂාව පිණිස සැඟවුණේ තමා සන්තකයේ ඇති වටිනාම වස්තුව දළදා වහන්සේ වූ බැවිනි. එම අවස්ථාවේ පෘතුගීසීන් දළදා මැඳුර ගිනි තබා, මහනුවර නගරය ද විනාශ කොට නැවත මුහුදුකරයට පසු බැස්ස බව ඉතිහාසයේ සඳහන් වේ.

මෙවැනි ආක්‍රමණ රැසක් පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආදී බටහිර රටවලින් මහනුවර රාජධානියට එල්ල වූ අවස්ථා අපට දැක ගත හැකි ය. ඒ සෑම අවස්ථාවක ම මහනුවර විසූ සෑම රජ කෙනෙක් ම පළමු කොට දළදා වහන්සේ සුරක්ෂිත කිරීමට කටයුතු කළේ ය.

මෙකල කීර්ති ශ්‍රී රාජසිංහ වැනි රජවරුන් දළදා වහන්සේ විෂයයෙහි සිදුකළ විවිධ පූජෝපහාර පිළිබඳ සැලකීමේ දී දළදා වහන්සේට ඔවුන් දැක්වූ සැලකිල්ල තේරුම් ගත හැකි ය. වඩුග සම්භවයක් ඇති මහනුවර විසූ අවසන් රජවරුන් සිව් දෙනා ම දළදා වහන්සේ විෂයයෙහි එකිනෙකාට දෙවැනි නොවන සේවාවක් සිදුකළ අතර, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා වර්තමානයේ දළදා මාලිගාවේ පවත්වන සියලු පූජා චාරිත්‍ර මෙලෙස ක්‍රමවත් කළ අයෙකි.

1815 මහනුවර රාජ්‍ය ඉංග්‍රීසීන් යටත් කර ගන්නා විටත් දළදා වහන්සේ ආරක්ෂාව පිණීස පුසුල්පිටිය විහාරස්ථානයේ වඩා හිඳුවා තිබිණි. 1815 උඩරට ගිවිසුමෙන් මෙරට රාජ්‍ය පාලනය ඉංග්‍රීසීන් භාර ගත්ත ද, ඔවුහු පවා තම පාලනය ශක්තිමත් කර ගැනීමට නම් දළදා වහන්සේ තමන් සන්තකයේ තිබිය යුතු බව විශ්වාස කළහ. මේ නිසා උභය මහා විහාරයේ මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැ දැක දළදා වහන්සේ නැවත මහනුවර දළදා මාලිගයට වැඩමවන ලෙස ඉල්ලා සිටියහ.

උඩරට ගිවිසුමේ පස්‌වැනි වගන්තියෙන් පෙර විසූ රජවරුන් සම්බුද්ධ ශාසනයට හිමි විය යුතු රාජ්‍ය අනුග්‍රහය කඩ නොකොට ඉටු කිරීමට ඉංග්‍රීසීහු පොරොන්දු වූහ. එය ඔවුන් විසින් නොසලකා හැරීම හේතුවෙන් 1818 ඇති වූ ප්‍රථම නිදහස් අරගලය ආරම්භ විය. එකල තේවාව භාරව සිටි අස්ගිරි මහා විහාරයේ වැඩ විසූ වාරියපොළ ශ්‍රී සුමංගල අනුනාහිමියන් ඉතා රහසිගත ව දළදා වහන්සේ රැගෙන ගියේ දළදා වහන්සේගේ භාරකාරීත්වය හිමි යමකුට ද, ඔහු රටේ රාජ්‍ය නායකයා සේ පිළිගැනීමට තරම් ජනතා විශ්වාසය ප්‍රබල ලෙස ගොඩනැඟී තිබු නිසාවෙනි.

1853 දී දළදා වහන්සේ අස්ගිරි මල්වතු උභය මහා විහාරයේ මහානායක මාහිමිවරුන් දෙනමට සහ ගිහි භාරකරුවාණන් ලෙස දියවඩන නිලමේවරයාට ද නෛතික වශයෙන් භාර දුන් අතර, එතැන් සිට මේ දක්වා දළදා වහන්සේගේ භාරකාරීත්වය පවතින්නේ උන්වහන්සේ දෙනම සහ දියවඩන නිලමේතුමා වෙත යි.

එනමුත් දළදා වහන්සේ මෙරටට වැඩම කළ හතර වැනි සියවසේ මේඝවර්ණ රාජ සමයේ සිට මෙරට සිටි සෑම රජ කෙනෙක් ම තම හස්තසාර පූජා වස්තුවක් ලෙස ආරක්ෂා කළ ආකාරයත්, එය මෙරට රාජ්‍ය පාලනය විෂයයෙහි ඇති කර තිබූ ප්‍රබල බලපෑමත් මේ තුළින් අපට තේරුම් ගත හැකි ය.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පූ.භා. 09.09න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 9.47න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]