[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුදු සසුන සුරකිනු පිණිස...

සම්බුදු සසුන සුරකිනු පිණිස...

විනය පිටකයෙහි චුල්ලවග්ග පාලියෙහි ප්‍රථම ධර්ම සංගායනාව පිළිබඳ වූ වාර්තාව හමුවෙයි.

එහි සඳහන් වන පරිදි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ භික්ෂූන් මෙසේ ඇමතූ සේක. “ඇවැත්නි, මම එක් දවසක පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේ ද සමඟ පාවා නුවරින් කුසිනාරා නුවර කරා දිවෙන දීර්ඝ මාර්ගයකට පිවිසුණෙමි. ඉක්බිතිව මම මඟින් ඉවත්ව ගසක් මුල හුන්නෙමි. එහිදී එක්තරා ආජීවකයෙක් මදාරා මලක් අතින් ගෙන කුසිනාරා නුවර සිට පාවා නුවර කරා දිවෙන මෙකී මාර්ගයට ම පිවිසියේ ය. පැමිණෙන්නැවූ එම ආජීවකයා මම දුරදීම දුටුවෙමි. දැක මෙසේ ඇසීමි.

“ඇවැත්නි, අපගේ ශාස්තෘන් වහන්සේ දන්නෙහි ද? එසේය දනිමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනිවී අදට සත් දවසෙකි. ම විසින් මෙම මදාරා මල එතැනින් ගන්නා ලදී.

මෙලෙස ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණය සැළ වූ එහි සිටි භික්ෂූන් වහන්සේ අතර ඇතැමෙක් අවීතරාගීහු (මාර්ගඵල නොලැබූ) වූහ. ඒ අතරින් ද ඇතැමෙක් ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ලෝකයෙහි ඇස අතුරුදන් වූයේ යැයි කියමින් හිසෙහි අත්බැඳ හඬති. සිඳලූ දෙයක් බිමට වැටෙන්නාක් මෙන් වැටෙති. එහි සිටි වීතරාගී භික්ෂූන් වහන්සේ සංස්කාරයෝ අනිත්‍යයහ. සංස්කාරයන්ගේ ස්ථිර පැවැත්මක් කොහි ලැබිය හැකි දැයි සලකා මනා සිහියෙන් හා නුවණින් යුතු ව මෙම සිදුවීම ඉවසූහ. අනතුරුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙකී භික්ෂු සමූහයාට මෙසේ වදාළහ.

ඇවැත්නි, කම් නැත. ශෝක නො කරවු. නො වැළපෙවු. පි‍්‍රයමනාප වූ සියල්ලෙන් ම වෙනස්වීම, වෙන්වීම වෙනත් ආකාරයක දෙයක් සිදුවීම වන්නේ ය, යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ නො වේ ද? යමක් උපන්නේ ද, හට ගත්තේ ද, ලෞකික වූයේ ද, නැසෙනසුළු වේ ද? එය ඒකාන්තයෙන් නො නැසේවා යි, යන මෙය කොහි ලැබිය හැකි වේද? ලැබිය හැකි නොවේ ම ය.

‘සුභද්‍ර’ නම් වූ මහලුව පැවිදි වූවෙක් මෙම පිරිස අතර සිටියේ ය. ඉක්බිති එම පැවිද්දා භික්ෂූන් වහන්සේ අමතා මෙසේ කීය.

ඇවැත්නි, කම් නැත. ශෝක නො කරවු. නො වැළපෙවු. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මනාව මිදුණේ වෙමු. මෙය තොපට කැප ය. මෙය තොපට නො කැප යැයි කීමෙන් උපද්‍රවයට ද පත් කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමති නම්, එය කරන්නෙමු. යමක් නො කැමැත්තෙමු නම් එය නො කරන්නෙමු.

මෙම දැඩි විනය විරෝධී ප්‍රකාශය හමුවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තීරණය කළේ අධර්මය බැබළීමටත්, ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්මවාදීන් බලවත්වීමටත් ධර්මවාදීන් අබල වීමටත් පෙර අවිනයවාදීන් බලවත් වීමටත් විනයවාදීන් දුබල වීමටත් පෙර ධර්මය ද, විනය ද සංගායනා කළ යුතු බව යි.

සුභද්‍ර හා සමාන ආකල්පවලින් යුතු පසුතලයක පිහිටා සිට ක්‍රියා කළ දුර්වල පුද්ගලයන් රැසක් හා ඔවුන් හා අනුගත ව සිටි අනුගාමිකයන් රැසක් ද එකල සිටියහ. දේවදත්ත, සාතිය, අස්සජි, පුනබ්බසුක, සුනක්ඛත්ත, යනාදී භික්ෂූහු බුදුරදුන් ධරමාණයෙහි දීම ධර්ම විනය තම තම රුචි අරුචිකම් අනුව විග්‍රහ කිරීමට පෙළඹුණහ. බුදුරජාණන් වහන්සේ හමුවේ ඒවා යටපත් වුව ද සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පශ්චිම ජනතාව ජනතාවගේ අවබෝධය සඳහා ධර්ම විනය සුරක්ෂිත කොට තැබීම ශාසනාභාරධාරී මහ තෙරුන් වහන්සේගේ වගකීමක් ව පැවතිණ. ඒ අනුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුර්මත නිරාකරණය පිණිසත්, බුදුරජාණන් වහන්සේ ඒ ඒ ස්ථානවල දී දේශනා කළ නා නා වර්ගවලට අයත් ධර්ම කොට්ඨාස ක්‍රමානුකූල ව සකස් කොට බොහෝ කල් පවත්වා ගැනීම පිණිසත්, ධර්ම සංගායනාවක අවශ්‍යතාව තීරණය කළහ.

ධර්ම සංගයානාවට සහභාගි වීම සඳහා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පන්සිය නමක් ම රහතන් වහන්සේ එක් රැස් කිරීමට තීරණය කළහ. ඉක්බිති භික්ෂූහු ආනන්ද තෙරුන්ගෙන් තොරව සංගායනාව නො කළ හැකි බව දැන මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේට මෙසේ කීහ.

“මහ තෙරුන් වහන්ස, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වීතරාගී නො වුණත් ඡන්දයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, බයෙන් අගතියට නො යති. උන්වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේට සමීපයෙහි බොහෝ ධර්මය ද විනය ද උගන්නා ලදහ. එබැවින් ආනන්ද ස්ථවරයන් වහන්සේ ද මීට තෝරා ගන්නා සේක්වා වදාළ කල්හි” මහා කාශ්‍යප තෙරණුවෝ භික්ෂූන් වහන්සේගේ අනුමැතියෙන් ආනන්ද තෙරණුවන් ද සංගායනාවට තෝරා ගත්හ.

මෙසේ ආනන්ද හිමි තෝරා ගැනීමත් සමඟ ධර්ම සංගායනාවට භික්ෂුන් වහන්සේලා පන්සිය නමක් වූහ. එබැවින් මෙය පංචසතිකා විනය සංගීතිය නම් විය.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පූ.භා. 09.09න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 9.47න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]