සමාධියෙන් තොර ප්‍රඥාවක් නොමැත

සමාධියෙන් තොර ප්‍රඥාවක් නොමැත

මහ බෝසතාණන් වහන්සේ පූරිත පාරමී බල මහිමයෙන් මහා ප්‍රඥාවෙන් අවබෝධ කොට, පන්සාළිස් වසක් පුරා ලෝක සත්වයා කෙරෙහි පතළා වූ මහා කරුණාවෙන් සුදේශිත ශ්‍රී සද්ධර්මය අනුපූර්ව ප්‍රතිපදාවෙකින් අනුගමනය කිරීමෙන් හා වැඩීමෙන් අවබෝධ කර ගත යුතු ය.

එකී ධර්මය තුළින් ලොවුතුරා දහමින් සිත සනසා ගැනීමෙන් සත්වයාගේ චිත්ත සන්තානයෙන් සකල ක්ලේෂයන් මුලිනුපුටා දමා නිවන් සුවයෙන් සැනසීම උදාකර ගනී. මෙකී නිවන් සුව උපදවා ගැනීමට බලාපොරොත්තු වන සැම දෙනා විසින් සිය ශික්‍ෂණය සඳහා දේශිත ශික්ෂා මාර්ගය (හික්මිය යුතු පිළිවෙළ) අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා, අධිප්‍රඥා ශික්ෂා යන වශයෙන් තුන් ආකාර වෙයි. ආර්යය අෂ්ටාංගික මාර්ගය වශයෙන් ගැනෙන්නේ ද සප්ත විශුද්ධිය ලෙස පෙන්වා දෙන්නේ ද මෙකී තුන ම ය.

අධිශීල ශික්‍ෂාව යනු උසස් ශිලයෙහි හික්මීම යි. ගිහියකු විසින් නිත්‍ය ශීලය වශයෙන් රැක්ක මනා - රැකිය යුතු ම වූ ශීලය පංචශීලය යි. එබැවින් ගිහියකුට පංචශීලය අධිශීලයෙකි. තවත් උත්සාහ ඇත්නම්, අටසිල් රැකිය හැකි ය. අටසිල් රකින්නාට පංචශීලය ශීලයෙකි. අට ශීලය අධි ශීලයෙකි. ගිහි දසසිල් රක්නාට දසසිල් අධි ශීලයෙකි. අටසිල් ශීලයෙකි. උපසම්පදා ශීලයෙහි ලා ගැනෙන ශීලය ම අධි ශීලයයි. එයට වඩා උසස් ශීලයක් නොමැත. මේ අනුව කය, වචන, සංවරය තුළින් උපදවා ගනු ලබන ශික්‍ෂණය හේතුවෙන් සිය චිත්ත සන්තානයේ සංවරය ඇති කර ගනු ලැබේ.

අධිචිත්ත ශික්ෂාව නමින් හඳුන්වනු ලබන්නේ මේ සමාධිය යි. චිත්ත විසුද්ධිය යනුවෙන් ද හැඳීන්වෙන්නේ මෙම සමාධිය ම වේ. එහෙයින් සමාධිය යි කී කල බුදුරජාණන් වහන්සේ විසින් පෙන්නුම් කොට වදාළ ශික්ෂා ක්‍රමයෙහි තුනෙන් එකක් ගැණෙන බව පැහැදිලි ය.

බුද්ධඝෝෂාචාර්යපාදයන් වහන්සේ විසින් ලියන ලද විශුද්ධි මාර්ග නම් මහා ග්‍රන්ථයෙන් පරිච්ඡේද 9 ක් ම වෙන් කොට ඇත්තේ මෙම සමාධිය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ය.

සමාධිය නම් කුසල චිත්තේකාග්‍රතාව යි. “කුසල චිත්තස්ස ඒකග්ගතා සමාධි” යන්නෙන් එය පැහැදිලි වේ. කුසල් සිත පිළිබඳ එකඟ බවයි. එකම කුසල් අරමුණෙහි සිත පිහිටා සිටීම යි. එය සුළඟ නැති තැනෙක දැල්වෙන පහනක් සේ නිශ්චල ය. සමාධි නම් වූ මේ ඒකග්ගතාවය සෑම කුසලයකට ම ප්‍රධාන වන දහමකි. නිවසක් සැකසීමේ දී පළමුව දමනු ලබන අත්තිවාරම හා ශීලය හෙවත් අධි චිත්ත නමින් හැඳීන්වේ. එකී අත්තිවාරම මත ගොඩනැඟෙන බිත්ති සේ සමාධිය පෙන්වා දිය හැකි ය. එසේ නොමැති නම් වහලයක් ගැසීමේ දී ගොණැස්ස හෙවත් මුදුන් ලීය යම් සේ ප්‍රධාන වන්නේ ද, හැම පරාළයක් ම එය පිහිට කොට ඇත්තේ යම් සේ ද, එසේම සමාධිය හැම කුසලයට පිහිට ය. රජතුමා සිවුරඟ සෙනඟට ප්‍රධාන වන්නාක් මෙන් සමාධිය හැම කුසලයට ප්‍රධාන ය.

මෙම සමාධිය ප්‍රධාන වශයෙන්,

ලෞකික සමාධිය

ලෝකෝත්තර සමාධිය යනුවෙන් දෙයාකාර ය.

ත්‍රි ශික්ෂාවෙහි පෙන්වා දෙන සමාධිය මේ අතුරෙන් ලෞකික සමාධිය යි. ඒ ලෞකික සමාධිය ද,

රූපාවචර සමාධිය,

අරූපාවචර සමාධි යනුවෙන් දෙ පරිදි ය.

අෂ්ට සමාපත්තිහු නම් ඒ රූපාවචර සමාධි සතර සහ අරූපාවචර සමාධි සතර ය. මෙයින් රූපාවචර සමාධි සතර වන ප්‍රථම ධ්‍යාන සමාධිය, ද්විතීය ධ්‍යාන සමාධිය, තෘතිය ධ්‍යාන සමාධිය, චතුර්ථ ධ්‍යාන සමාධිය යන සතර පමණක් සමාධිය පෙන්නුම් කොට ඇති බොහෝ තන්හි දක්වා ඇත. එසේ ඒ සතර පමණක් දක්වා ඇත්තේ අරූපාවචර සමාධි නැතත් රූපාවචර සමාධිලාභියකුට ප්‍රඥාව වැඩිය හැකි හෙයිනි.

මෙකී රූපාවචර සමාධිය ලැබීමට නම් පළමු කොට ශීලයෙහි පිහිටා සුපරිශුද්ධ සිල්වතකු වශයෙන් වෙසෙමින් ආවාසාදි දශ පළිබෝධ (බාධක ධර්ම) දුරු කොට කමටහන් දෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් කරා ගොස් සම සතළිස් කමටහන් අතුරින් තම චරිතයට ගැලපෙන්නා වූ කර්මස්ථානයක් ලබාගෙන සමාධි භාවනාවට අයෝග්‍ය ස්ථාන හැරදමා යෝග්‍ය ස්ථානයෙක්හි වෙසෙමින් සුලු පළිබෝධ ද දුරුකොට භාවනාවට නියම විධි සියල්ල සම්පූර්ණ කරමින් තෙරුවන් ගුණ හා කාමාදීනවත් සලකා භාවනා කළ යුතු ය.

මෙසේ බොහෝ කාලයක් භාවනා කරත්ම පරිකර්ම - උපචාර - අනුලෝම - ගොත්‍රභූ - අර්පණා යන චිත්ත වීථියෙහි පස්වැන්න වශයෙන් ලැබෙන්නේ ප්‍රථම ධ්‍යාන සිත හෙවත් ප්‍රථම ධ්‍යාන සමාධිය යි. එම ප්‍රථම ධ්‍යානය විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන පංචාංගයෙන් යුතු ය. ඒ පංචාංගයේ බලයෙන් නීවරණ ධර්ම යටපත් වන්නේ ය. එකග්ගතාවෙන් කාමච්ඡන්දයත්, ප්‍රීතියෙන් ව්‍යාපාදයත්, විතර්කයෙන් ථීන මිද්ධයත්, සුඛයෙන් උද්ධච්ච කුක්කුච්චයත්, විචාරයෙන් විචිකිච්ඡාවත් යටපත් වන්නේ ය. මෙකී නීවරණ ධර්ම යටපත් නොවී බලපවත්නා කල්හි විදර්ශනා භාවනාවට ඉඩ නොලැබෙයි. මොවුනට නීවරණ යන නම ලැබෙන්නේ නිර්වාණ මාර්ගය වසන ධර්ම යන අරුතෙනි. එසේම අකුසල රාශි - අකුසල් ගොඩ යයි ද, පඤ්ඤාය දුබ්බලිකරණ - විදර්ශනා ප්‍රඥාව සහ මාර්ග ප්‍රඥාව පහළ වීමට නොදීම් වශයෙන් දුර්වල කරන ධර්ම යැයි ද දේශනා කොට ඇත.

අධිප්‍රඥා වශයෙන් පෙන්වාදෙන තෙවන අවස්ථාව වන විදර්ශනාව

දියුණු කිරීමට නම් පළමු කොට ප්‍රථම ධ්‍යානයෙන් නීවරණ යටපත් කළ යුතු ය. එසේ යටපත් කොට ගත් නීවරණ ඇති ඒ යෝගාවචරයාට වුවත් විදර්ශනා භාවනාව පුරුදු කොට මාර්ග ඵලාවබෝධය කළ හැකි හෙයින් “පඨමම්පහං භික්ඛවෙ ඣානං නිස්සාය ආසවානං ඛයං වදාමි” මහණෙනි, ප්‍රථම ධ්‍යානය ඇසුරු කොට ගෙන ද ආශ්‍රවක්ෂය - රහත්වීම පවසමියි වදාළ සේක.

දෙවන - තෙවන - සිව්වන ධ්‍යානයන් ඇසුරු කොටත් ආශ්‍රවක්ෂය ප්‍රකාශ කරමියි වදාළ සේක. මේ පිළිබඳ තවදුරටත් විස්තර කොට වදාළ නොයෙක් තැන් ඇත.

“සම්මා සමාධිම්හි අසති සම්මා සමාධි විපන්නස්ස හතූපනිසං හොති යථාභූත ඤාණදස්සනං”යි සම්මා සමාධිය නැති කල්හි ඒ සම්මා සමාධියෙන් තොර වූවහුට යථාභූත ඤාණ දස්සනය නො ලැබේ යැයි ප්‍රකාශිත යි. මෙහිලා ගැනෙන යථාභූත ඤාණ දස්සනය නම් තරුණ විපස්සනාව යි.

මේ අනුව ධ්‍යාන වශයෙන් ලැබගත් සමාධි අතුරින් යටත් පිරිසෙයින් ප්‍රථම ධ්‍යාන සමාධියවත් උපදවා නො ගත් කෙනකුට විදර්ශනා මාර්ගයක් උදා නො වන බව ඉතා පැහැදිලි ය. එහෙයින් අධිචිත්ත ශික්ෂාව වශයෙන් ගැනෙන සමාධිය ලබාගෙනම විදර්ශනාවට බැසිය යුතු ය. විදර්ශනාවට බැස විදර්ශනාව දියුණු කරත්ම එය රූප මුඛ, අරූප මුඛ වශයෙන් දෙයාකාරයකින් විදර්ශනාව වැඩිය හැකි ය. කලින් උපදවාගෙන තිබුණු ධ්‍යානය විදර්ශනා පිණිස නුපදවා (ධ්‍යානය පාදක නොකොට) රූප මුඛයෙන් විදර්ශනා වඩන්නා වූ යෝගාවචරයාගේ විපස්සනාව ධ්‍යානයෙන් තෙත් නොවූ නිසා ම ඔහු “විපස්සනායානික - සුද්ධ විපස්සක” යන නම්වලින් හඳුන්වනු ලබයි. අනෙක් තැනැත්තා විදර්ශනාවට බැස ධ්‍යානාංග මෙනෙහි කරමින් අරූප මුඛ වශයෙන් විදර්ශනා භාවනා කරයි. මේ කවර අයුරකින් විදර්ශනා භාවනාවට බැසීමට වුවත් සමාධියෙහි පිහිටියකුට ම එම විදර්ශනාව ලැබෙන බව කිව යුතු ය. සමාධියෙන් තොරව ප්‍රඥාවක් නො ලැබේ මැ ය. ශීලය සමාධියටත්, සමාධිය ප්‍රඥාවටත් එකිනෙක උපකාරක ධර්ම හෙයිනි

බක් පුර අටවක

මාර්තු 25 බදාදා අ.භා. 01.54න් පුර අටවක ලබා 26 බ්‍රහපතින්දා පූ.භා. 11.53න් ගෙවේ.
25 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]