සැදැහැවත් රූමතියගේ දහම් දෙසුම
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අතීත ලංකාද්වීපයේ අනුරාධපුර රාජධානිය පැවති කාලයේ ඒ නගරයට බස්නාහිර දිශාවේ තිබුණා
එතරම් ප්‍රසිද්ධියක් නැති ගම්මානයක්. මේ ගමේ ජීවත් වුණා, ඉතාම දුප්පත් ඒ වුණත් උසස්
ගුණ තියෙන තරුණයෙක්.
සුළු රැකියා කටයුතු කරමින් හිටිය මේ තරුණයා ටික කාලයකින් විවාහ ජීවිතයට ඇතුළත්
වුණා. ඔහුගේ බිරිඳට නොබෝ කාලයකින් ම හරිම ලස්සන දියණියක් ලැබුණා. ඇගේ රූපය හරියට
රත්තරන් කඳක් වගෙයි. ඉතාම ලස්සනට බබළනවා. හරියට කවිකාරයෝ වර්ණනා කරන කුමාරිකාවක්
වගෙයි. මේ නිසාම ගමේ පිරිස ඇයට කිව්වේ රත්තරන් කෙල්ල කියලා.
මේ ප්‍රසිද්ධිය ගැන හිතලා මවුපියන් පුංචි දුවට නමක් තිබ්බා ‘හේමා’ කියලා. හේම
කියන්නේ ඉතිං රත්තරන් කියන එකනේ. ඒ නම හොඳට ම ගැලපුණා. මේ පුංචි කිරිකැටි කුමරිය
ළදරු කාලය ගෙවා දමා, ළමා කාලයට ආවා. ඉතිං හරි හරියට සෙල්ලම් කරමින් ජීවත් වුණා.
තරුණ වයසටත් පත් වුණා. මේ හැම කාලයක ම ඇය කරපු, කියපු හැම දෙයක් ම විශිෂ්ට
ප්‍රඥාවකින් තමා කළේ. එක වතාවක් එක දෙයක් ඇහුවොත් ඒ දෙය අවුරුදු සියයක් ගියත් හොඳට
මතක හිටින මතක ශක්තියකුත්, හොඳ බුද්ධියකුත් ලැබී තිබුණා. ඇගේ මවුපියන් හරිම
ශ්‍රද්ධා සම්පන්න නිසා නිතර නිතර විහාරයට ගිහින් පින්කම්වල යෙදුණා. බණ ඇහුවා. ඒ
විතරක් නෙවේ. ඒ ධර්මය අනුව ජීවත් වුණා.
දවසක් මේ පුංචි කුමාරිකාව පියතුමා එක්ක විහාරයට ගිය වෙලාවක ඇයට අහන්න ලැබෙනවා
දම්සක් පැවතුම් සූත්‍රය. එදා ඒ භික්ෂූන් වහන්සේ ඒ දේශනාව සිද්ධ කළේ අටුවා ටීකාත්
එක්ක විස්තර කරමින්. අධික මතක ශක්තියක් තිබුණු මේ හේමා කුමාරිකාව ඒකශ්‍රැතියෙන්
දේශනා කරපු සියල්ල ම ධාරණය කර ගත්තා.
මේ ගමට නිතර නිතර වෙළෙන්දන් එන්න යන්න පටන් ගෙන තිබුණා. දවසක් ‘මාවටුපටුන‘ නම්
දිවයිනෙන් ගමට වෙළෙඳාමේ ආවා ලස්සන කඩවසම් තරුණයෙක්. වෙළෙඳාම් කටයුතුවල දී ඔහුට මේ
හේමා තරුණියව දැක ගන්න ලැබුණා. ඔහුට ඇය කෙරෙහි පිළිබඳ සිතක් පහළ වෙලා නිතර නිතර ඇගේ
හිත ගන්න කටයුතු කළා. හේමා තරුණියත් ඔහුගේ ආලවන්තකම්වලට ආදරය කළා. දෙදෙනා අතර
ආදරයක් ඇති වෙලා විවාහ ජීවිතයට ඇතුළු වුණා. මේ තරුණයත්, තරුණියත් මවුපියන්ගේ නිවෙසේ
වාසය කරන කොට ටිකෙන් ටික අගහිඟකම් එන්න පටන් ගත්තා. ගමට ගෙන ආපු වෙළෙඳ බඩු එහෙමත්
අවසන් වුණා. ආයෙත් තමන්ගේ ගම් පියසට ගිහින් වෙළෙඳ භාණ්ඩ ගෙන එන්න ඕන බව බිරිඳටත්,
මාමාටත්, නැන්දාටත් පවසලා නැවතත් ගමට ගියා. දවස් දෙක, තුන, හතර පහ ගෙවිලා සති ගණන්
ඉක්මවලා ගියා, මාස ගණන් ඉක්මවා ගියා ඒත් අර තරුණයා නැවතත් බිරිඳ හොයාගෙන ආවේ නෑ. ඒ
නිසා හේමාට ඕන වුණා තම සැමියාට මොකද වුණේ කියලා දැනගන්න. අලුත විවාහ වුණ හේමා
කුමරියට හැමදාම මෙහෙම ඉවසගෙන ඉන්න පුළුවන් වුණේ නෑ. සැමියාගේ නැවත පැමිණීම
අපේක්ෂාවෙන් ඉඳල බැරිම තැන තීරණය කළා මවුපියන්ට හොරෙන් ගෙදරින් පිටත් වෙලා ගිහින්
සැමියා හොයා ගන්න ඕන කියලා. දවසක් මධ්‍යම රාත්‍රියේ කිසිම බියක්, සැකක් නැතිව ධෛර්ය
හිතේ රඳවගෙන අලි, කොටි, වලස්සු, නයි පොළඟුන් ඉන්න මහා වනාන්තරයක් මැදින් වැටිලා
තිබුණ මාර්ගයෙන් ‘මාවටුපටුන හොයාගෙන යන්න ගියා. මේ වෙළෙඳ නගරය පිහිටලා තිබුණේ
මුහුදු දිය පීනාගෙන ගිහින් එගොඩ වෙන්න ඕන දිවයිනක. ඇය බියක් සැකක් නැතිව මුහුදු
වෙරළට රාත්‍රියේ ම ළඟා වුණා. මුහුදට බැහැලා පීනන්න පටන් ගත්තා. ඔහොම පීනගෙන ගොඩ
බිමේ ඉඳලා සැතපුම් ගණනක් මුහුද මැදට ආවා. ඒ එන කොට මුහුදේ එහේ මෙහේ ගමන් කරන
නාගරාජයකුට ඇගේ ශරීරයේ කලවා යුවළ දකින්න ලැබුණා. මුලින් ම ඔහු හිතුවා මේ තියෙන්නේ
රත්තරන් කියලා. තව තවත් ළං වෙන කොට දැක්කා. දේවතාවියක් වගේ බබළන ශරීරයක්. ඒ නිසා
හිතුවා මේ නම් ඉන්නේ මුහුදට අධිපති මණිමේඛලා දේවතාවිය කියලා. තවතවත් ළං වෙනකොට
දකින්න ලැබුණා. මනුෂ්‍ය ස්ත්‍රියක් විදිහට. තවත් විටක දකින්න ලැබුණා. නාග කන්‍යාවක්
විදිහට. නා රජ්ජුරුවන්ට දැන් නිශ්චිත නිගමනයකට එළඹෙන්න බැරිව මෙහෙම කතා කළා.
‘එම්බා, සොඳුර ඔබ කවුද? දේවතාවියක් ද?, මනුෂ්‍ය ස්ත්‍රීයක් ද? නාග කන්‍යාවියක් ද?
කියලා. එතකොට හේමා තරුණිය කිසිදු බියක් සැකක් නැතිව උත්තර දෙනවා.
‘මම මනුෂ්‍ය ස්ත්‍රියක්, ඔබ කවුද? නා රජ්ජුරුවෝ කියනවා ‘මම නා රජ්ජුරුවෝ කියලා.
‘ඔබ මනුෂ්‍ය ලෝකයේ කොහේද? කියලා? එවිට උත්තර දෙනවා.
‘මම ලංකාද්වීපයේ, මගේ සැමියා හොයාගෙන ‘මාවටුපටුන කියන ගමට යන ගමන් යි කියලා. එතකොට
නා රජ්ජුරුවෝ කියනවා
‘ලංකාද්වීපවාසීන් හැම කෙනෙක් වගේම ධර්මය ටිකක් හරි දන්නවා කියලා මම අහලා තියෙනවා.
ඔබත් ධර්මය දන්නවාද? දන්නවා නම් මට බණ පදයක් හෝ කියා දෙන්න කියලා ඉල්ලා සිටියා.
එවිට හේමා තරුණිය උත්තර දෙනවා.
‘ඔව්, ලංකාද්වීපවාසී හැම කෙනෙක් ම වගේ බණ පදයක් හරි දන්නවා, මමත් දන්නවා පිළිතුරු
දුන්නා. එහෙනම් මට බණ පදයක් කියල දෙන්න පුළුවන්ද? කියලා ඇහුවාම පුළුවන් බව මේ හේමා
තරුණිය ප්‍රකාශ කළා. එවෙලේම නා රජුගේ දිව්‍ය තේජසින් මුහුදේම අලංකාර ධර්ම මණ්ඩපයක්
සකස් කර ධර්මාසන අලංකාර
කර ඇයට ආරාධනා කළා ධර්මය දේශනා කරන්න කියලා. හේමා කුමරිය තමන් ධාරණය කරගෙන හිටිය
දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අටුවා, ටීකා, විස්තර, විවරණ සහිතව හොඳීන් පැහැදිලි
කරමින් ධර්මය දේශනා කළා. ඇයට පැහැදුණු නා රජ්ජුරුවෝ සිතූපැතූ සම්පත් දෙන මාණික්‍ය
රත්නයක් ඇයගේ දෑතෙහි තබා අවශ්‍ය සියලු සැප සම්පත් දිව්‍ය ආනුභාවයෙන් ම තමන්ගේ
සැමියාගේ ගෙදරට ම පමුණුව, නැවතත් නාග ලෝකයට ගියා. හේමා කුමරියගේ අතේ තිබෙන සිතූපැතූ
සම්පත් දෙන මාණික්‍ය ගැන රජතුමාට දැන ගන්නට ලැබුණා. සේවකයකු ලවා ඔහුගේ අතට ගන්නට
සැලැස් වූ බවත්, එවිට මාණික්‍ය පාෂාණයක් වූ බවත්, නැවතත් ඇයගේ අතට ගත් විට
මාණික්‍යයක් බවට පත් වී සිතූපැතූ සම්පත් දෙන තත්ත්වයට පත් වු බවත්, මේ නිසා ම ඇයට ම
එම මාණික්‍ය පවරා දී ඇයගේ ගම් පළාත ඇයට අයගම් කොට ලබා දුන් බවත් සඳහන්. පසුව ඇය
දානමානාදි පින්කම් කරමින් සුවසේ ජීවත් වූ බව සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.
බලන්න පින්වත්නි, සද්ධර්මය අසා ධාරණය කරගෙන තව කෙනකුට පැහැදිලි කර දීමේ විපාකයක
මහිම ය. ඒ නිසා ඔබ උගත් හෝ ධාරණය කර ගත් හෝ ධර්මය යහපත් ගුණ ධර්ම හෝ අන් අයට කියා
දෙන්න. අන් අයට අවබෝධ කරවන්න. එය ඔබට, ඔබ සිතන පතන සම්පත් දෙන අනර්ඝ මාණික්‍යයක්
බවට පත් වෙනවා. |