බෞද්ධයාගේ අභිමානය

බෞද්ධයාගේ අභිමානය

වරක් එක් සෙන් ශිෂ්‍යයෙක් තමාගේ ගුරුවරයා වෙත පැමිණ මෙසේ ඇසීය. “ගුරුතුමනි, මම ඉතාම ලස්සන, සශ්‍රීක රටක උපන් කෙනෙක්.

මම දන්නවා අපේ රටේ ඉතිහාසය, උරුමය සහ සංස්කෘතිය ඉතා උතුම් බව. එහෙත් සෙන් දහම මට උගන්වන්නේ සියල්ල අනිත්‍ය බවත්, කිසිවකටත් බැඳීමක් නොතිබිය යුතු බවත් ය. එසේ නම් මා මව්බිම කෙරෙහි අභිමානයක් දැක්විය යුතු ද?”

සෙන් ගුරුවරයා කිසිවක් නොකියාම ශිෂ්‍යයා උද්‍යානයට කැඳවාගෙන ගියේ ය. එහි තිබූ පැරණි ගසක් පෙන්වා මෙසේ ඇසීය.

“මේ ගස බලන්න. මේ ගස මේ පොළොවේ ම මුල් බැසගෙන තිබේ. එය වෙනත් තැනකට යන්නට උත්සාහ කරන්නේ නැත. එහෙත් එය සූර්යයා දෙසට අතු විහිදුවා මුළු ලෝකයට ම සෙවණ සලසයි. මෙය අනිත්‍ය බව දන්නා නිසා ගස තමන්ගේ මුල් උගුල්ලාගෙන මිය යන්නේ නැත.”

පසුව ගුරුවරයා මෙසේ පැවසීය:

“ඔබ උපන් බිම යනු ඔබේ මුල් (Roots) ය. ඔබේ අභිමානය යනු එම මුල්වලට දක්වන ගෞරවය යි. ඔබේ මනස මුළු විශ්වය පුරා පැතිරෙන්නට ඉඩ හරින්න, නමුත් ඔබේ පාද තමන් උපන් පොළොව මත ස්ථිර ව තබන්න. තමන් උපන් බිම අමතක කරන තැනැත්තා මුල් කැපූ ගසක් වැනි ය. ඔහුට අන් අයට සෙවණක් වීමට නොහැක.”

භූගෝලීය පදනම, එහි පාරිසරික වටිනාකම, සංස්කෘතික හරධර්ම, වටිනාකම් සියල්ල රටයි. ඒ නිසයි කෙනකුට තම උපන් රට වටිනා රටක් වන්නේ. තමන් උපන් භූමිය හෙවත් මාතෘ භූමිය පිළිබඳ ව අභිමානයක් තිබීම ඉතා වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. එය හුදෙක් හැඟීම්බර වීමක් පමණක් නොව, පුද්ගලයකුගේ අනන්‍යතාව සහ වගකීම හා බැඳුණු කරුණක්.

මාතෘ භූමිය ගැන අභිමානයක් තිබිය යුතු ප්‍රධාන හේතු කිහිපයක් වෙයි. අනන්‍යතාව සහ අයිතිවාසිකම එහි පළමු වැන්නයි. සෑම පුද්ගලයකුටම ලෝකය තුළ නිශ්චිත අනන්‍යතාවක් ලැබෙන්නේ තමන් උපන් රට, එහි සංස්කෘතිය සහ උරුමය හරහායි.

තමන්ගේ මුල් (Roots) පිළිබඳ ආඩම්බර විය හැකි පුද්ගලයකුට ඕනෑම තැනක ආත්ම විශ්වාසයෙන් යුතුව පෙනී සිටිය හැකියි.

කෘතගුණ සැලකීම දෙවැන්නයි. අප හුස්ම ගන්නා වාතය, බොන ජලය සහ අපව පෝෂණය කළ පස අපට ලැබුණේ මේ පොළොවෙන්. අපේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ රැකවරණය සඳහා මව්බිමෙන් ලැබුණු දායකත්වයට ගරු කිරීම උතුම් මනුෂ්‍ය ගුණාංගයකි.

රටේ අභිවෘද්ධියට පෙළඹවීම තෙවැන්නයි. තම රට ගැන ආදරයක් සහ අභිමානයක් ඇති පුරවැසියා කිසිවිටෙකත් රටට හානියක් කරන්නේ නැහැ. ඒ වෙනුවට, රටේ දියුණුව වෙනුවෙන් උපරිමයෙන් කැපවීමටත්, රටේ සම්පත් ආරක්ෂා කිරීමටත් ඔහු පෙළඹෙයි.

සංස්කෘතික හා ඓතිහාසික උරුමය රැක ගැනීම සිව්වැන්නයි. අපට උරුම වූ අතීත වික්‍රමයන්, කලා ශිල්ප සහ සාරධර්ම අනාගත පරපුරට දායාද කළ හැක්කේ ඒ පිළිබඳ අප තුළ අභිමානයක් පවතින්නේ නම් පමණයි. අභිමානය යනු අන් රටවල් හෝ ජාතීන් හෝ පහත් කොට සැලකීම නොවේ. සැබෑ දේශප්‍රේමියා යනු තම රටට ආදරය කරන අතරම අනෙක් රටවලට සහ සංස්කෘතීන්ට ද ගරු කරන්නෙකි.

රාමායනය වැනි පැරැණි ග්‍රන්ථයන්හි දක්වා ඇත්තේ තමන්ගේ මවත්, උපන් රටත් ස්වර්ගයට වඩා වටිනා බවයි. තම රටට ආදරය කරන පුද්ගලයා මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ම සේවය කිරීමට පෙළඹෙන බව මහත්මා ගාන්ධි ප්‍රකාශ කරයි. සංස්කෘතික අනන්‍යතාව” සහ තමන් හැදුණු වැඩුණු පරිසරයට ඇති ලැදියාව මානව විද්‍යාත්මක අවශ්‍යතාවක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් දකියි.

“ඔබේ රට ඔබට කුමක් කරනු ඇත්දැයි නොඅසන්න, ඔබ රට වෙනුවෙන් කුමක් කරන්නේ දැයි අසන්න” අමෙරිකන් ජනාධිපතිවරයකු වූ ජෝන් කෙනඩිගේ මේ ප්‍රකාශය ද රටට සෑම පුරවැසියකු ම ආදරය කළ යුතු බව දක්වයි.

මව්බිම යනු අපගේ භාෂාව සහ සිතීමේ ක්‍රමය හැඩගස්වන කැඩපතයි යන්න සාත්‍රෙ නම් වියතා කියයි.

ටී. එස්. එලියට් නම් කවියා කියනුයේ සංස්කෘතිය යනු ජීවත්වීමට වටිනා දෙයක් බවට පත් කරන සාධකයයි. එය උපන් බිම හා බැඳී පවතී.

මහගම සේකරයන් ද මෙසේ කියා ඇත. මිනිසාගේ ආත්මය පෝෂණය කරන ජීවමාන වස්තුව මව්බිමයි.

බුදුදහම යනු විශ්වීය දහමකි. සීමා මායිම් යොදා භූමිය බෙදීම අනුමත නොකරයි. උපන් ආකාරය පදනම් කොටගෙන මිනිසුන් නොබෙදයි. එනමුත් බුදුරජාණන් වහන්සේ තම උපන් බිම සහ වර්ගයා කෙරෙහි දැක්විය යුතු යුතුකම් හා ගෞරවය පිළිබඳ ප්‍රායෝගික ආදර්ශ දේශනා රැසක දක්නට ලැබෙයි.

බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව තම ඥාතීන්ට දහම් දෙසීමට මහ සඟ පිරිසක් සමඟ කිඹුල්වත් පුරයට වැඩම වීම උපන් බිමට හා තම ඥාතීන්ට දැක්වු ගෞරවයේ අවස්ථාවකි. මංගල සූත්‍ර දේශනාවෙහි දී උන්වහන්සේ පතිරූපදෙස වාසො’ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම, ‘ඤාතකානංච සංගහෝ’ ඤාතීන්ට සංග්‍රහ කිරීම දියුණුව සඳහා පවතින චර්යාවන් බව දක්වයි. යම් පුද්ගලයෙක් තමන් උපන් රටට සහ ජාතියට ද්‍රෝහී වන්නේ නම් හෝ අකෘතඥ වන්නේ නම්, එය පිරිහීමට හෝ කරුණක් ලෙස අංගුත්තර නිකායේ දී දක්වයි. බුදුදහමට අනුව, මාතෘ භූමිය කෙරෙහි ඇති අභිමානය යනු “කෘතවේදීත්වය” නම් උතුම් ගුණයයි. තමන් හැදී වැඩුණු පොළොවට, ජලයට සහ සංස්කෘතියට ගරු කිරීමත්, එය ආරක්ෂා කිරීමත් බෞද්ධයකුගේ යුතුකමකි.

“පුඤ්ඤානං පරමං ධම්මං - ජනනී ජන්ම භූමිච” පින් කිරීමට ඇති උතුම්ම තැන මව සහ උපන් බිම යන්න බෞද්ධයාගේ පිළිගැනීමකි. විඪූඩභ රජු කිඹුල්වත් නුවර ආක්‍රමණය කරන්නට ආ විට උන්වහන්සේ දේශනා කරනුයේ කිඹුල්වතින් එන සුළඟත් සුවයක් බවයි.අංගුත්තර නිකායේ දුක නිපාතයේ අකතඤ්ඤු සූත්‍රයේ දී කෘතවේදිත්වය නැත්තා අකෘතඥයකු ලෙස දක්වයි. කෘතවේදිත්වය ඇත්තා සත්පුරුෂයෙකි.

පුද්ගලයකු හැදී වැඩුණු පරිසරය, ඔහුට රැකවරණය දුන් දේශය සහ ජාතිය ඔහුට කරන ලද මහා උපකාරයකි. එම උපකාරය අමතක කිරීම අසත්පුරුෂ ලක්ෂණයක් ලෙසත්, එය අගය කිරීම,අභිමානයෙන් යුතු ව සැලකීම උතුම් සත්පුරුෂ ගුණයක් ලෙසත් බුදුදහම උගන්වයි.

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ තුළ දක්නට ලැබෙන භද්දසාල ජාතකය මේ සඳහා කදිම

නිදසුනකි. මෙම ජාතක කතාවේ දී බුදුරජාණන් වහන්සේ පෙර ආත්මභවයක “භද්දසාල” නම් වෘක්ෂ දේවතාවකුව ඉපදී සිටියහ. බ්‍රහ්මදත්ත රජු තම මාලිගය තැනීමට වනාන්තරයේ තිබූ විශාලතම සල් ගස (භද්දසාල වෘක්ෂය) කැපීමට නියම කළේ ය. එහිදී එම වෘක්ෂ දේවතාවා රජුගෙන් ඉල්ලා සිටියේ තමන් ව කොටස් වශයෙන් කපන ලෙසයි. එසේ කළහොත් තමන් වැටෙන විට අවට ඇති කුඩා පැළෑටි සහ වෘක්ෂ ආරක්ෂා වන බව ඔහු පැවසීය.

මෙයින් පෙන්වා දෙන්නේ තම වාසියට වඩා තමන් උපන් වනාන්තරයේ (භූමියේ) අනාගත පරපුර සහ සම්පත් රැක ගැනීමට ඇති කැපවීමයි.

බෝසත් චරිතය තුළ තම රට වෙනුවෙන්, තම වර්ගයා වෙනුවෙන් එතුමන් කළ සේවාව දක්වා ඇත. උම්මග්ග ජාතකයෙහි මහෞෂධ පඬිතුමා එක්සිය එකක් රජවරුන්ගෙන් තම මාතෘ භූමිය වූ මියුලු නම් කුඩා නගරය රැක ගන්නට කටයුතු කරනුයේ රට පිළිබඳ ව ගොඩනඟාගත් ප්‍රේමය නිසා ය. මෝඩ, බියසුළු, කාමුක රජෙකි. තනතුරු ලාභයෙන් උදම් වූ උපදේශකයන් ය. එවන් රාජ්‍යයක් හා එහි පුරවැසියන් ආරක්ෂා කර ගැනීම පිණිස මහෞෂධ පඬිතුමා මහත් කැපවීමෙන් කටයුතු කරයි. ඒ නිසාම තම ජීවිතයට හානියක් වීමට අවස්ථා ද එළඹේ. රට අතහැර යන්නට සිදු වේ. එහෙත් ඔහු තුළ වු රට කෙරෙහි ආදරය පදනම් කොටගෙන රටරාජ්‍යය, රජු, පුරවැසියන් සියල්ල ආරක්ෂා කර ගනියි. ඔහු මියුලු නුවරට ආදරය කළේ නැත්නම් ඔහුගේ බුද්ධිබලය පදනම් කොට ගෙන වෙනත් රාජ්‍යයක ද උපදේශකයකු වීමට හැකියාව පැවතුණි. පඤ්චාල නුවර බ්‍රහ්මදත්ත රජු ඔහුට ඒ සඳහා ආරාධනා කරයි. එහෙත් ඔහු එම ආරාධනාව පිළි නොගෙන මියුලු නුවර ම සිටියි. දේශාභිමානය යනු එයයි.

බුදු දහම තුළ පමණක් නොව ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආගම් තුළ ද උපන් බිමට ආදරය කළ යුතු බව දක්වයි. මව්බිමට ආදරය කිරීම ඉස්ලාම් ආගමේ ඇදහිල්ලේ ම කොටසකි. හින්දු ආගම උපන් භූමිය දේවත්වයෙන් සලකයි. තම රටෙහි යහපත සදහා කටයුතු කිරීම සාමය ආරක්ෂා කිරීම ක්‍රිස්තු භක්තිකයකුගේ වගකීමක් ලෙස දක්වා ඇත.

ටිබෙට් රට සිකිම් දේශයෙහි උපන් එස්. මහින්ද නම් කිවියර ථෙර නමකගේ කවියකින් මෙම ලිපිය අවසන් කරමි.

පෙරදිග ලෝකයේ බබළන මුතු ඇට ය
පණ ඇති මහා සමුදුරු පවුරෙන් වට ය
හෙළ දිවයින මගෙයි මා ඉපදුණ රට ය
ලොව අන් සියලු දිවයින් මේකට යට ය

භූගෝලීය පිහිටීම, පාරිසරික සෞන්දර්යය, කාලගුණික, දේශගුණික තත්ත්වයන් හා කලට වැසි වැසීම, ජලය, පස, වායුව, හිරු එළිය වැනි සම්පත් හි සමතුලිත බව, මැණික් ආදී විවිධ ඛනිජ සම්පත්, මහ මුහුද, අහස, බුදු දහම ප්‍රමුඛ ලොව පහළ වූ සියලු ආගමික ශාස්තෘන්ගේ දහම පැවතීම, සංවේදී මිනිස්සු, මේ ආදි බොහෝ දේ තුළින් අප පොහොසත් මෙන් ම සුවිශාලය. එනමුත් යළි අපට නැඟී සිටිය හැක. එහෙයින් අපේ රට අපට වටී. එය රැක ගැනීම සැමගේ වගකීමකි.

බක් පුර අටවක

මාර්තු 25 බදාදා අ.භා. 01.54න් පුර අටවක ලබා 26 බ්‍රහපතින්දා පූ.භා. 11.53න් ගෙවේ.
25 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]