[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ජීවිතයට භාවනාව 03: මේ මොහොත තුළ සිහිය පවත්වමු

ජීවිතයට භාවනාව 03:

මේ මොහොත තුළ සිහිය පවත්වමු

කායානුපස්සනාවේ තුන්වෙනි භාවනාව සම්පජඤ්ඤ භාවනාවයි. මෙහිදී අපේක්ෂා කරන්නේ සියලු ක්‍රියාකාරකම් සිහියෙන් යුතු ව සිදුකිරීමයි.

තවද මෙම භාවනාව චතු සම්පජඤ්ඤ වශයෙන් විස්තරකොට ඇත. එනම්,

සාත්ථක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය හා අසම්මෝහ සම්පජඤ්ඤය යනුවෙනි.

මේ අනුව යාම් ඊම් ආදී කටයුතු කිරීමට කැමැත්තක් ඇතිවුව ද, එක්වරම එය සිදු නොකොට එය කිරීමෙන් ඇති වන ප්‍රතිඵලය, ප්‍රයෝජනය සලකා ප්‍රයෝජනවත් නම් පමණක් සිදුකිරීම සාත්ථක සම්පජඤ්ඤය යි. එසේම ප්‍රයෝජනවත් කටයුත්තක් වුව ද, එය සිදුකිරීම සුදුසු ද, නුසුදුසු දැයි මනා නුවණින් සලකා බලා සුදුසු යැයි වැටහේ නම් පමණක් එය සිදුකිරීම සප්පාය සම්පජඤ්ඤය යි. උදාහරණයක් වශයෙන් වටිනා ස්ථානයක් වන්දනා කිරීමට යාමේ දී කාලවේලාව නිවැරැදි ව තෝරාගත යුතු ය. ජනතාව අධික ව ගැවසෙන අවස්ථාවක නිදහසේ වැඳපුදා ගැනීමට හෝ භාවනාවක් කර ගැනීමට අවස්ථාවක් නොමැති හෙයින් එවැනි වේලාවල් බුද්ධිමත් පුද්ගලයා තෝරා නොගනී.

ගෝචර සම්පජඤ්ඤය යනු ගෝචර කර ගැනීම හෙවත් වැඩිපුර භාවිත කිරීම වශයෙන් සැලකිය යුතු ය. විශේෂයෙන් තම භාවනා අරමුණෙහි, භාවිතෝ බහුලීකතෝ යන අයුරින් නිරන්තරයෙන් නුවණින් සිත යොදවාගෙන කටයුතු කිරීම අදහස් කරයි. අසම්මෝහ සම්පජඤ්ඤය නම් මුළානොවී සිහිනුවණින් යුතු ව භාවනා අරමුණෙහි කටයුතු කිරීමයි.

සම්පජඤ්ඤ භාවනාව පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ඇවිදීම, හිඳගැනීම, නැඟිට සිටීම, වැතිරීම හෙවත් නිදාගැනීම යන සතර ඉරියව්වලට වඩා විහිදුනු, පැතිරුණු අවස්ථාවක් පිළිබඳ භාවනා වඩන්නාට සිත යොමුකිරීමට සිදුවේ. ඉරියාපථ භාවනාව වඩා සිහිය දියුණු කොට ඇති බැවින් යෝගාවචරයාට මෙම භාවනාව කෙරෙහි සිත යෙදවීම පහසු වනු ඇත. මෙහිදී ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරිපස බැලීම, වෙනත් පැති බැලීම, අතපය නැමීම, දිගහැරීම, යන එන, හිඳීන, සිටින, නැඟිටින, නිදියන, නොනිදා සිටින, කථාකරන, කථානොකරන සහ සිවුරු පිරිකර පරිහරණය කිරීම, වැසිකිළි කැසිකිළි සිදුකිරීම පවා ඇතුළත්වන සෑම ක්‍රියාකාරකමක් ම මීට අදාළ වේ.

සරලව සලකා බැලුවහොත් සිහියෙන් වැඩකිරීම, එළඹසිටි සිහිය, මේ මොහොතේ සිත රඳවා ගැනීම, යෝනිසෝ මනසිකාරය, සතිමත් භාවය, සම්පජඤ්ඤ භාවනාව, යන විවිධ වචනවලින් හඳුන්වන්නේ, එකම අදහසකි. විශේෂයෙන් වර්තමාන සමාජයේ ළදරු පාසල් යන දරුවාගේ පටන් වයසක, මහලු පුද්ගලයා දක්වා සෑම කෙනකුටම සතිමත්භාවය හෙවත් සිහියෙන් වැඩකිරීම ගැටලුවක් වී ඇත.

අධ්‍යාපනික ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, පවුල් ජීවිතයේ ප්‍රශ්න, ක්‍රීඩාවට අදාළ ප්‍රශ්න, ව්‍යාපාරික ප්‍රශ්න, බණ භාවනා පිළිබඳ ප්‍රශ්න, ධර්මය පිළිබඳ ප්‍රශ්න, බුදුරජාණන් වහන්සේ වැඩසිටි රට පිළිබඳ ප්‍රශ්න ආදී වූ විවිධාකාර ගැටලු අපට ඇතිවී තිබෙන්නේ සතිමත්භාවය අඩුකම නිසා ය. ධර්මයට අනුව මේ මොහොතේ නුවණින් යුතු ව කටයුතු කරන්නේ නම්, දිනපතා සිදුවන අනතුරු කලකෝලාහල, මානසික අසහන ඇතුලු සියලු ම ගැටලු දුරුකර ගෙන පුදුමාකාර නිවීමකින්, සැනසීමකින්, සැහැල්ලුවකින් කටයුතු කිරීමට අප සැම දෙනාට හැකි වනු ඇත.

තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරනවා සහ ශාසනය

නඟා සිටුවනවා යනු මිනිසාගේ සිත තුළ ධර්මය පිහිටුවීමයි. එනම්, විශේෂයෙන් සතිපට්ඨානය පුහුණු කරන ජනතාවක් ඇති කිරීම මෙම ව්‍යායාමයේ අපේක්ෂාවයි. මේ පිළිබඳ සෑමදෙනාගේ ම විශේෂ අවධානය යොමු වෙත්වා.

මැදින් පුර පසළොස්වක

මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න්
පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]