සතුටක රහස
අනුරාධපුර ලංකාරාමාධිකාරි
රැළපනාවේ ධම්මජෝති නාහිමි
“තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං”
තෘෂ්ණාව නිසා ශෝකය උපදියි, තෘෂ්ණාව නිසා භය උපදියි, තණ්හාවෙන් මිදුණු තැනැත්තාට
ශෝකයත්, බයත් නැත. මේ සසර බිය ජනක ය. සසර කෙළවරක් නොදැකිය හැක. සත්වයා සසර ඉපදෙමින්
මැරෙමින් සුගතියේත්, දුගතියේත් ඉපිදෙයි .
මෙයට ප්‍රධාන හේතුව අවිද්‍යාව හා තෘෂ්ණාව පිළිබඳ නොදැනීමයි. අවිද්‍යාව නම්
නොදැනීමයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඇති සැටියෙන් නොදැනීම අවිද්‍යාවයි.
අපේ බුද්ධිය අවිද්‍යාව නම් වූ ඝන අඳුරින් වැසී තිබෙන තුරු දහමේ සත්‍ය නොවැටහේ.
සසර පුරුදු පුහුණු කරගත් ඥානයක් අපිට තිබිය යුතු ය. ”පඤ්ඤා නරානං රතනං “මිනිසුන්ට
ප්‍රඥාව රත්නයක් යැයි දේශනා කළේ එබැවිනි. ප්‍රඥාවන්තයා ඥානය උපයෝගී කර ගනිමින්
සංස්කාර, නාම රූප, ස්පර්ශය, තෘෂ්ණාව යන මේ පටිච්ච සමුප්පාදය ගැන සොයමින් ප්‍රගුණ
කරමින් ජරා, මරණ, ශෝක, වැළපීම් යන කායික මානසික දුක් නැති කර ගනිමින් කටයුතු කරයි .
මහා නිදාන සූත්‍රයේ බුදුහිමියෝ ආනන්ද හිමියන්ට මෙසේ දේශනා කළහ. “ආනන්දයෙනි විඳීම
හේතුවෙන් තෘෂ්ණාව හටගනී. තෘෂ්ණාව හේතුවෙන් සොයයි. සෙවීම හේතුවෙන් ලැබෙයි. ලැබීම
හේතුවෙන් ලැබුණු දේ ගැන විනිශ්චයකට යයි. විනිශ්චය කිරීමෙන් ආසාවන් ඇවිළෙයි. ආසාවන්
ඇවිළීම තමන්ගේ කියා එහි සිත බැසගනී. එහි සිත බැසගැනීම හේතුවෙන් එය සිතින් අයත් කර
ගනී. ඉන්පසු මසුරු භව ඇති වෙයි. මසුරු බව හේතුවෙන් එය රැක ගන්නට ගොස් දඬු මුගුරු
ගනී. අවි ආයුධ, කෝලාහල, වාද විවාද කර ගනී. කේලම්, බොරු කියයි, එබැවින් තෘෂ්ණාව හා
අනිටු විපාක ගෙන දෙයි.
අධි පරිභෝජනය නිසා හැම පුද්ගලයකු ම තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට මහන්සි ගනී. මහ
මුහුදට කොතෙක් ජලය ගලා ගියද සෑහීමකට පත් නොවන්නාක් මෙනි. සමහරු තම ධනය රකින්නේ විලට
අරක්ගත් බහිරවයන් ලෙසිනි. ටික කලක් ජීවත් වන අප අධි පරිභෝජනයට හුරු නොවී කරන කියන
රැකීයා අනුව සරල දිවි පෙවෙතක් ගත කරන්නට උත්සාහ ගත යුතු ය.
තමන් පරිභෝග කරන වස්තූන් කොටස් හතරකට බෙදා එයින් එක් කොටසක් තම ආහාරපන සඳහාත්,
දෙකොටසක් තම කර්මාන්ත සඳහාත්, හතරවැනි කොටස විපතක දී ගැනීමටත් තැන්පත් කරගත යුතු
ය.මේ උපදේශනය ධාර්මික ජීවනෝපාය මාර්ගයකට මූලාරම්භය සපයයි. සරලව ජීවත්වීමට පුරුදු
පුද්ගලයාට රැකිය යුතු ධනයක් නැති නිසා සැක බය නැතිව හොඳීන් ජීවත් වෙයි. හොඳීන්
ආහාරපාන ගනී. සුව සේ නිදා ගනියි. ජලයෙන්, ගින්නෙන්, සොරුන්ගෙන්, රජුන්ගෙන් රකින්නට
ගොඩගසා ගත් වස්තුවක් නැති නිසා මධ්‍යස්ථ ව ජීවත් වෙයි.
පෙර කාර්ය බහුල වූ රජකු නිදහස, සතුට නොමැතිකමින් පීඩාවට පත්ව සිටියා.ඔහුට තිබුණු
ප්‍රධානම පීඩනය නම් සුව නින්දක් සහ සතුටක් නොමැතිකමයි.දිනක් ඇමතියන් කැඳවා මේ ගැන
කීවා. මේ රටේ සතුටින් සිටින, සුව සේ නිදියන කෙනකු වේ නම් හොයාගෙන එන්න කියා ඇමතියන්
බොහෝ දෙනකුගෙන් මේ ගැන විමසූ විට ඔවුන් පැවසුවේ රන්,රිදී, මුතු, මැණික් ධන ධාන්‍ය
ගෙවල් දොරවල්, වතු පිටි, හරකා බාන මිල මුදල් ආදී නිසා අපි නිදිමරමින්, සැකෙන්,
බයෙන්, අසහනයෙන් අසතුටින් ජීවත්වන බවයි.
ඔවුහු ඊළඟට ගියේ ගසක් යට වැතිරී සිටින අයකු වෙත ය. ඔහු වෙත ගොස් ඔබ සතුටින් සුව සේ
නිදමින් සිටිනවා දැයි ඇසීය. ඔව් යනුවෙන් පිළිතුරු ලැබිණ. එයට හේතුව කුමක්දැයි
විමසීය.මට මගේ කියා රකින්නට ලොකු දෙයක් නැත. මා සතුව ඇත්තේ මේ සරමත්, බැනියමත්
පමණි. ඒ නිසා මම බහුභාණ්ඩික නොවී චාම්ව, සරල ව සුව සේ නිදා ගනිමින් සිටිනවා යැයි
කීය.
ඇමතිවරු රජු වෙත ගොස් මේ පුවත කී පසු ඔහු කැඳවා සතුටට පත්ව ඒ උපදේශනය පිළිගනිමින්
එතැන් පටන් රජු ද චාම් ව, සරල ව වැඩි බර කරට නොගෙන කටයුතු කළේ ය. මේ නිසා ඔහුට ද
රාත්‍රී සුව නින්දක් ලැබුණි.
එබැවින් අප ද ලද දෙයින් සතුටට පත්වි කටයුතු කිරීමට පුරුදු පුහුණු කර ගත යුතු ය. |