[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සතිමත් පියවරක්

සතිමත් පියවරක්

සතර සතිපට්ඨාන සූත්‍රයේ ඉරියාපත භාවනාව ගැන සඳහන් කිරීමේ දී ඉරියව් හතරක් ගැන සඳහන් වේ. අපි අවසන් ගමන් යන මොහොත තෙක් ප්‍රධාන ඉරියව් හතරක් ප්‍රයෝජනයට ගත්තෙමු. ඇවිදීම, හිඳගැනීම, හිටගැනීම හා නිදා ගැනීම යන ඉරියව් සඳහා අපි අපගේ කය හසුරුවනු ලබන්නෙමු.

එහෙත් එය සිහියෙන් නො කිරීම නිසා මුළු ජීවිතය ම අවුලෙන් අවුලට පත් වී ඇති බව බොහෝ දෙනා නො දනිති.

මෙහිදී ‘සක්මන’ හෙවත් ඇවිදීම යන ඉරියව්ව ගැන බුදුරජාණන් වහන්සේ වටිනා ආනිසංස පහක් දේශනා කළහ. සතිමත්ව සක්මනේ යෙදෙන්නන්ට දුර ගමන් පයින් අපහසුවකින් තොරව ගිය හැකියි. වෙහෙසකින් තොරව ඉතා සතුටින් ගමන නිමා කිරීමට හැකියි. මේ අදහස ප්‍රත්‍යක්‍ෂ ව දැන ගැනීමට ඔබ කැමැති නම් ටික දුරක් සතිමත්ව ඇවිද යන්න. ටික දිනක් ඇවිදින්න.

ආනන්ද හාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරික වුව ද රහත්වීමේ කුසලය වැඩී තිබුණේ නැත. උන්වහන්සේ පළමු වන ධර්ම සංගායනාවට පෙර දින බොහෝ සක්මන් කොට සැතපීම සඳහා සයනය මත ඇලවීම අතරතුර සතර ඉරියව්වෙන් තොරව රහත්භාවයට පත්වූහ.

ඒ සක්මන් කිරීමේ ප්‍රතිඵලයකි.

තුන්වන ආනිසංසය ලෙස බුදුපියාණන් වහන්සේ සඳහන් කරන්නේ “අප්පාබාධෝ” හෙවත් ලෙඩ රෝග අඩු කෙනෙක් වශයෙන් සතුටින් ජීවත්විය හැකි බවයි. ලෞකික, ලෝකෝත්තර ලෙඩ රෝග අඩුවීම ඉතාම වාසිදායක තත්ත්වයකි. සක්මන් කරන පුද්ගලයාගේ කායික හා මානසික සෞඛ්‍ය ඉතාම යහපත් වන බව වෛද්‍යවරුන් පවා පෙන්වා දෙයි.

හතරවන ආනිසංස ලෙස “චංකමානි සංස” සුත්‍රයේ දක්වා ඇත්තේ ඉතා පහසුවෙන් ආහාර දිරවීම සිදුවන බවයි. ආහාර හොඳීන් දිරවීම නිසා සිරුරට අවශ්‍ය ආහාර ඕජාව ඉතාම පහසුවෙන් අවශෝෂණය වේ.

ඒ නිසා ආහාර ගෙන විනාඩි 10 -15ක් වැනි සුළු වේලාවක් හෝ සක්මන් කිරීම යහපත් බව පැවසේ. එමෙන්ම ලෝකෝත්තර මාර්ගය වැඩීම ද එයට උපකාරියි. සක්මන ඔබ අපට ලැබුණු මහඟු දායාදයකි.

ඒ නිසා ඔබ දැන්ම සක්මන් කරන්න.

පස්වන ආනිසංසය ලෙස සඳහන් කර ඇත්තේ සක්මනේ දී උපයාගත් සමාධිය බොහෝ කලක් පවතින බවයි. සමාධිය දියුණු කර ගැනීමෙන් ධ්‍යාන මගඵල දක්වා සිත දියුණු කර ගත හැකි ය. බෝධිපාක්ෂික ධර්ම තුළ සඳහන් වන සම්මා සමාධිය, සමාධි ඉන්ද්‍රිය, සමාධි බල ධර්ම, සති සම්බොජ්ඣංග වැඩීම දක්වා සක්මන උපනිශ්‍රය වන නිසා සතිමත් සක්මන හුරුපුරුදු කර ගමු.

සක්මන අද බෞද්ධ ශ්‍රාවකයාගේ ප්‍රතිපදාව තුළ නොමැති නිසා ඔවුහු කායික හා මානසික සෞඛ්‍ය අතින් පිරිහීමකට බඳුන් වී ඇති බවක් පෙනීයයි.

ගිහි ජීවිතය ගතකරන ඔබටද සක්මන ඉතා පහසුවෙන් ම කළ හැකි ය. ආහාර ගැනීමෙන් පසුව විනාඩි කිහිපයක් සතිමත් සක්මනක් පටන් ගත්තේ නම්, ඔවුන්ගේ බොහෝමයක් ගැටලුවලට ඉන් පිළිතුරක් ලැබෙනු ඇත.

එවිට සිත සක්මන තුළ ඒකාග්‍රවීමට පටන් ගැනීම නිසා සක්මන කෙරෙහි කැමැත්තක් ඇතිවිය හැක. අසනීප අවස්ථාවක දී පියවර කිහිපයක් සතිමත් ව ඇවිද යන විට ඔබගේ කය කර්මනිය වී කයට අමුතු ශක්තියක් ජනනය වීමට පටන් ගනී. එම ජවයට ඔබගේ දිවිය සාර්ථකත්වය කරා පැමිණිය හැකි වේ. පියවර 30 - 40ක් පමණ ඇවිද බලන්න. පයින් යන විට සතිමත් ව පාද තැබීමට උත්සාහ දැරීම තුළ ඔබගේ මොළය සහ බොහෝ ඉන්ද්‍රියයන් සක්‍රීය වන බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත. එය සුවිශේෂිී අපූරු ක්‍රියාදාමයකි. මෙය ඔබ කර බලන්න.

එමෙන්ම සතිමත් සක්මන නිසා සිරුරේ ගබඩා වී ඇති මේදය දහනය වීමට පටන්ගෙන අනවශ්‍ය බර අඩුවෙන බව වෛද්‍ය මතය යි. සතිමත් සක්මන නිසා සිරුරට අත්‍යවශ්‍ය හෝමෝන ඉහළ යන බව කියැවේ.

බණ ඇසීමටත්, දන් දීමටත්, භාවනා කිරීමටත් සිත් තුළ ආසාවක් ඇත. මෙම සතුටට පණ දිය යුතු ය. ඒ සඳහා කල්‍යාණ මිත්‍ර ඇසුර අත්‍යවශ්‍ය වේ. එදිනෙදා වැඩ කරන විට අවධානයෙන් යුතු ව එම කරන වැඩ කොටස කෙරෙහි තම සිත යොදවන්නේ කෙසේදැයි පුරුදු පුහුණු විය යුතු ය. වෙන තැනක්, වෙන දෙයක්, වෙන කෙනෙක් ගැන සිත නොයොදා සතියෙන් යුතු ව වර්තමාන මොහොත තුළ ජීවත්වීමේ කලාව ඔබ තුළ ගොඩනැඟෙනු ඇත. මෙවැනි ආනිසංස රැසක් සක්මන තුළින් ඔබ තුළ ගොඩනැඟෙනු ඇත.

ඒ සඳහා සක්මන බහුල ව කළ යුතු ය. ලෞකික වශයෙන් ලැබෙන කායික හා මානසික සෞඛ්‍යයට අමතරව බුදුදහමේ අවසාන ඉලක්කය වන “නිවන” කරා යන මාර්ගය මේ තුළින් ඉස්මතු වේ. ඔබත් අදම සක්මන් භාවනාව ප්‍රගුණ කරන්න.

මැදින් පුර පසළොස්වක

මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න්
පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]