සම්බුදු දහම ප්‍රඥාවෙන් දකින්න
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති
බුත්තල
ඤාණාධාර හිමි
මහ බෝසතාණෝ අවබෝධ කරගත් ධර්මය ප්‍රඥාගෝචර වූවකි. ලොව යථාර්ථය පිළිබඳ ව ඇති කරගත්
මෙම ප්‍රඥාව ක්‍රමානුකූල ව අවබෝධ කරගත යුත්තකි. ඒ සඳහා අනුගමනය කළ යුතු
ප්‍රතිපදාවක් පෙන්වා දී තිබේ.
ඒ අනුව බුදුදහමේ අවසානික පරමාර්ථය වන ප්‍රඥාවබෝධය තුළින් නිවන් සුවය ළඟා කරගත හැකි
ය.
එහෙත් ප්‍රඥා සංකල්පය පිළිබඳ ප්‍රභේදයෝ නා නා විධ ය. ධර්මයන්ගේ ඇති තතු අවබෝධ කිරීම
වශයෙන් එකවිධ ය. ලෞකික - ලෝකෝත්තර ආදී වශයෙන් ද්විවිධ ය. චින්තාමය - සූතමය -
භාවනාමය ආය කොසල්ලඤාණ- උපාය කොසල්ලඤාණ යනාදී වශයෙන් ත්‍රිවිධ ය. චතුරාර්ය
සත්‍යයන්ගේ වශයෙන් හා ප්‍රතිසම්භිදාවන්ගේ වශයෙන් ද චතුර්විධ ය.
චින්තාමය ප්‍රඥා
අන් කිසිවකුගෙන් නො අසා සිය සිතින් කල්පනා කිරීම් වශයෙන් ලැබගන්නා නුවණ “චින්තාමය
පඤ්ඤා” නම් වේ. යම් කිසිවක් ගැන හරි වැරදි කල්පනා කිරීම් ඈ විසින් සිතන්නට පුරුදු
තැනැත්තාහට මේ චින්තාමය ප්‍රඥාව ලබා ගැනීම අමාරු නැත. යමකුට සිතීමේ ශක්තියක් හෝ
සිතන්නට පුරුද්දක් හෝ නැත්නම්, ඔහුට කවර විෂයකින්වත් විශේෂ දියුණුවක් ලබා ගැනීමට නො
පිළිවන්ය. “නාචින්තයන්තො පුරිසො - විසේසමධිගච්ඡති” යි පැවැසෙන්නේ එහෙයිනි.
සුමේධ පණ්ඩිතයන් නිවනක් තිබිය යුතු යයි දැනැ ගත්තේත් මහෞෂධ පණ්ඩිතයන් දුටුවන් පුදුම
කරවන උමඟක් සහ විදුලිය ආදී නොයෙක් දේ ඇති කරන ලද්දේත් චින්තාවෙනි. වත්මන්හි සඳ හිරු
ආදී තාරකාවන් සොයා යාහැකි තරම් පොහොසත් නා නා විධ යන්ත්‍රාදිය නිපදවා ඇත්තේ මේ
චින්තාමය ප්‍රඥාවේ බලයෙනි.
යම්කිසි කරුණක් ඔස්සේ සිතා එහි ඇති තතු දැන ගැනීමට පුරුදුවීම සිතන්නාගේ නුවණ වැඩීමට
හේතු වන්නාක් මෙන් ම ලෝකයෙහි ශිල්ප ශාස්ත්‍රාදිය පිළිබඳ දියුණුවටත් එක ම මාර්ගය
වන්නේ ය. යම් යම් දේ ඔස්සේ සිතු චින්තකයෝ නොවූවාහු නම්, කවර දෙයක් පිළිබඳ වුවත් අද
දක්නට ලැබෙන විශාල දියුණුව කෙසේවත් දක්නට ලැබෙන්නේ නැත. ඉගෙනීමට බස්නා ශිෂ්‍යයන්
ගුරු මුවින් අසා දැනගත් පමණෙකින් හෝ පත පොතේ තිබෙන පමණෙකින් හෝ සෑහීමට පත් නොවී සිය
නුවණ මෙහෙයවා කල්පනා කිරීම චින්තාමය ප්‍රඥාව ලැබ ගැනුමට මහත්ම රුකුලෙකි.
ශ්‍රැතමය ප්‍රඥාව
පත්පොත් කියැවීමෙන් ද, බණ දහම් ආදිය ඇසීමෙන් ද, ප්‍රශ්න කිරීමෙන් ද, නොයෙක් දේ ගැන
සාකච්ඡා කිරීමෙන් ද, මේ ශ්‍රැතමය ප්‍රඥාව ලැබෙන්නේ ය. ශ්‍රැතමය ප්‍රඥාව දියුණු වූ
පමණට ම බහුශ්‍රැතත්වය ද දියුණු වේ. පත් පොත් කියැවීමෙන් ප්‍රඥාව දියුණුවතුදු
කියැවීමට පත්පොත් තෝරා ගැනීමේ දී කල්පනා සහගත විය යුතු ය. හොඳීන් බුද්ධිය වැඩුණු
කල්හි නම් කෙබඳු අසභ්‍ය පතක් පොතක් කියැවුව ද එයින් නොමඟ නොයාදී රැකෙනු දුෂ්කර
නොවේ. බුද්ධිය මුහුකුරා නොගිය තරුණ තරුණියන්ගේ ඉඳුරන් කුලප්පු කොට නො මඟට යොමු
කරනසුලු පත පොත කියැවීමෙන් නුවණ දියුණු නොවන්නේ ය. ඉතා ම සුළු වශයෙන් දියුණු වුව ද
එයින් සිදුවන මහත් පිරිහීම ගැන සියල්ලන් විසින් සැලකුව මනා ය.
බණ ඇසීමත්, වෙනත් නොයෙක් ශාස්ත්‍රීය කථා ඇසීමත්, ඒ ඇසූ දෑ ඔස්සේ නොයෙකුත් ප්‍රශ්න
නඟා සාකච්ඡා පැවැත්වීමත් නුවණ දියුණුවට අතිශයෝපකාර වේ. බුදු දහම පිළිබඳ යම් සැකයක්
- විමතියක් පහළවේ නම්, ඒ ගැන ප්‍රශ්න නඟන්නට බුදුදහමින් ඉඩ සලසා තිබේ. බුද්ධ
ධර්මයෙහි ප්‍රකාශ වන හැමෙකක් ම අන්ධ භක්තියෙන් පිළිගැනීමට වඩා ඒ අනුව සාකච්ඡා
පවත්වා අදහස් පිරිසිදු කර ගැනීමට බුදු දහමින් තහනමක් නැත. බුදු දහමෙහි රැවටීමක් හෝ
අන් සමයයන්හි මෙන් පත්පොත් බැලීමට තහනමක් හෝ නැත. “ජින්න - පිළොතික” යනුවෙන් බුදු
දහම්හි වෙසෙසා තිබෙන්නේ සිත් සේ ප්‍රශ්න අසමින් කාරණය හොඳීන් පැහැදිලි කරගෙන දැන ගත
යුතු හෙයිනි. එබැවින් කවරක් ගැන හෝ ප්‍රශ්න කිරීම් නුවණ දියුණුවට හේතුවන බව සිත්හි
තබාගත යුතු ය.
භාවනාමය ප්‍රඥාව
සම සතළිස් කමටහන් අතුරෙන් යම්කිසි කමටහනක් වඩන්නවූනට හෝ, විදර්ශනා භාවනා කරන්න වූනට
හෝ, ඒ ඒ අවස්ථා වශයෙන් ලැබෙන නුවණ භාවනාමය ප්‍රඥා නමි. භාවනාවෙන් කෙරෙන්නේ සිත්
සතන් නොයෙක් තැන විසිර යා නොදී එක අරමුණක බැඳ තබාගෙන ඒ ඔස්සේ නැවත නැවත සිතීමයි.
එයින් නුවණ වැඩේ. “පඤ්ඤා නත්ථි අඣායතො” ධ්‍යාන (භාවනා) නො කරන්නා හට ප්‍රඥාවක් නො
ලැබෙතැයි දේශනා කළ හෙයින් ප්‍රඥා ලාභය පිණිස භාවනාව අවශ්‍යයෙන් ම පුරුදු කළ යුත්තක්
ය. සාමාන්‍ය දෙයක් ගැන වුවත් ඒ ඔස්සේ සිතා මතා නුවණ දියුණු කර ගැනීම කාටත්
ප්‍රයෝජනවත් ය.
ආයකෞශල්‍ය ඤාණය
දියුණුව උදාකර ගැනීමෙහි දක්ෂකම පිළිබඳ නුවණයි. එය ද අයහපත නැති කිරීම ය, යහපත ඇති
කිරීම ය කියා දෙයාකාර ය. මේ මේ ධර්ම මෙනෙහි කරන්නහුට නුපන් අකුසල් නූපදිතැයි ද,
උපන් අකුසල් ගෙවීයෙතැයි ද, මේ ධර්ම මෙනෙහි කරත්ම නුපන් කුසල් උපදිතැයි ද උපන් කුසල්
දියුණු වෙතැයි ද සැලැකිය හැකි නුවණ යි. ආදායම් පක්ෂය දියුණු කර ගැනීමට සමත් වන නුවණ
ද මෙනමින් ගත නිවරැදි ය. එද මනුෂ්‍යයනට අත්‍යවශ්‍ය ය.
අපාය කෞශල්‍ය ඤාණය
පිරිහීම් කරුණු දැන ඉන් වැළකී සිටීමට පිළිවන් වන්නේ මේ නුවණිනි. දියුණුව කැමැත්තහු
විසින් පළමු කොට පිරිහීම් කරුණු දැනැ ඉන් වෙන්වුවමනා ය. නොඑසේ කල්හි දියුණුව උදාකරැ
ගැනුම උගහට ය. යම් බඳුනෙක්හි දිය පුරවා තැබුව මනා නම්, පළමු කොට ඒ බඳුන්හි සිදුරු
වසාලිය යුතු ය. ජලය සුරක්ෂිත ව රැඳෙන්නේ එවිටයි. සිදුරු සහිත බඳුන්හි බහාලන දිය නො
රැඳෙන්නා සේ පිරිහීම් දොරටු වසා නො ගත් කල්හි දියුණුවක් උදා නොවන්නේ ම ය. මත්පැන -
සූදුව - චිත්‍රපට දර්ශනය - පාප මිත්‍ර සේවනය යනාදී පිරිහීම් දොරටු වසාගෙන
ධනෝපාර්ජනය කරන්නහුට ධනය රැස්වන්නේ ය. එමෙන් ම නුවණ පිරිහීමට හෝ නො වැඩීමට හෝ හේතු
මොනවාදයි සිතාමතා ඒ ඒ හේතූන්ගෙන් වෙන්වීමට මේ අපාය කෞශල්‍ය ඤාණය අවශ්‍ය ය.
උපාය - කෞශල්‍ය ඤාණය
ස්ථානෝචිත ප්‍රඥා නමින් ද ගැණෙන, තැනට සුදුසු ලෙස ක්‍රියා කිරීමේ පිළිවෙළ තේරුම්
කැරැ ගත හැකි නුවණ උපාය කෞශල්‍ය ඥානය නමි. නුවණ මඳ පුද්ගලයනට තැනට ගැලපෙන සේ
ක්‍රියා කිරීමට හෝ කතා කිරීමට හෝ නො පිළිවන් ය. එවිට යහතින් චිරකාලයක් ජීවත්වන්නට
වත් සමගිය - දියුණුව - ගුණය යන මේ ආදිය රැකැගන්නට වත් නොසමත් ය.
කාටත් උපතින් ම ලැබෙන නුවණක් තිබේ. එය ජාති පඤ්ඤා - ජන්ම නුවණ නම්. “පිළිසිඳ නුවණැ
” යි ගැනෙන්නේත් මෙයමැයි. කර්මානුරූපව ලැබෙන මේ නුවණ බිජුවටක් මෙනි. බිජුවටක්
තෝතැන්නක වවා නිසි අයුරු සාත්තු සප්පායම් කොට දියුණු කැර ගත යුත්තේ යම් සේ ද, එමෙන්
ම පිළිසඳ නුවණ බීජය ද සිප් සතර නැමැති තෝතැනිවල වවා දිගා නො කොළොත් එය නිර්ථකව
වැනසී යනු සිරිති. එමෙන් ම යම් කෙනකුනට කර්මානුරූපව ලද නුවණ බිජුවටක් සේ සිප් සතර
හැදෑරීම් විසින් වවා ගැනීම තුළින් ප්‍රඥාව උපදවා ගැනීමේ හැකියාව ලැබේ. |