පුරපෑලවිය සඳ - 28 කොටස
බඩල්ගම විපුලසිරි හිමි
සාමණේරයන් වහන්සේ නමකගේ
ජීවිතය අලලා ලියැවුණු නවකතාව
“අනේ සුදු මාමේ, අර කලු තට්ටයා මට ගැහුවා .. “ කියමින් ළමයා තවත් හයියෙන් හඬන්නට
විය.
ධම්මාලංකාර හිමියන් ඔරවා සාමණේරයන් දෙස බැලුවේ ය. නන්ද හිමියන් එහි නො සිටියා නම්
සාමණේරයන්ට විසුමක් නොවන්නට ඉඩ තිබිණි.
සුදු බබා යනු ධම්මාලංකාර හිමියන්ගේ අක්කාගේ බාල පුතා ය.
වයස 13 ක් පමණ වන ඔහු පාසල් යෑමට ද ප්‍රිය නො කරයි. ගියෝතින් පාසලේ ද රණ්ඩු දබර ය.
හැමදාම පැමිණිලි ය.
මීට හේතුව කුමක්දැයි සෙවීමට දේවාල කීපයකට ම ගියේ ය. ඒ සෑම තැනකින් ම කීවේ දරුවාට
බොහෝම අපල ඇති බවකි. ළමයාගේ දෙමාපියන් කේන්දරය බැලීවීමට සිතුවේ ඒ නිසා ය.
කේන්දරය බැලූ ගුරුන්නාන්සේ පැවසූයේ ද දරුවාට මාරක අපල ඇති බවකි. දරුවාගේ හතර
කේන්දරය ම පාළුය. ඒ අතර සෙනසුරු ඒරාෂ්ටකයක් ද මොකක්දත් යෙදී තිබෙන බව කීවා ය.
මින් මිදීමට නම් බෝ සෙවණේ හෝ නා සෙවණේ සිටිය යුතු ම ය. මාරකය අවසන් වන තෙක් පැවිදි
කොට තැබීම ද වඩා හොඳය. එවිට අපල කාලය මඟ හරවා ගත හැකි ය.
නන්ද හිමියන් සහ දමිත සාමණේරයන් පිරිවෙනට වැඩි අහුවස්සේ ධම්මාලංකාර හිමියන්ගේ
අක්කා ද, මස්සිනා ද විහාරස්ථානයට පැමිණ තිබිණි. ලොකු හාමුදුරුවන් වහන්සේ පන්සලේ
නොමැති අවස්ථාවක වුව ද ධම්මාලංකාර හිමියෝ දරුවා පන්සලේ නවතා ගන්නට කටයුතු කළේ ය. ඒ
ඥාති සංග්‍රහය ශාසනික ප්‍රතිපදාවට වඩා උන්වහන්සේ උසස් කොට සලකන නිසා වන්නට පිළිවන.
බුද්ධි හාමුදුරුවන් බෝධි පූජාව පිණිස වැඩම කළ විට ධම්මාලංකාර හිමියෝ ද
මඳක් සැතපෙන්නටය කියා ආවාසයට වැඩම කළේ ය. ඒ යනවිට සුදු බබාට පැවසූයේ ආවාසයට
කිසිවකුටත් ඇතුළු වන්නට ඉඩ නො දෙන ලෙස ය.
සුදු බබා ද එම රාජකාරිය අකුරට ම ඉටු කරන්නට හිතට ගත්තේ ය. ඒ හා හා පුරා කියා තමන්ට
සුදු මාමාගෙන් ලැබුණු මංගලම රාජකාරිය නිසා ය.
තමාගේ අක්කාගේ දරුවා යනු තමාගේම දරුවා වැනි ය. සුදු බබාට පහර දුන්නාට ධම්මාලංකාර
හිමියන්ගේ නම් කිසිදු මනාපයක් නැත. කොයි මොහොතක දී හෝ ඉගැන්විය යුතු පාඩම යසට ම
ඉගැන්විය යුතු වන්නේ ය. නන්ද හාමුදුරුවන් බලා සිටින නිසා දැනට ඉවසිය යුතු ය.
ආතක්පාතක් නැති කරුමක්කාරයන් පන්සල්වල මහණ කළාම ඔහොම්මම ය. පන්සලේ ලොකු
උන්නාන්සේටත් අනික් උන්නාන්සේලාටත් ඇත්තේ මොලේ අසනීපයකැයි ධම්මාලංකාර හිමියන්ගේ
අදහස ය.
පිදිය යුත්තන් පිදීමට මිස කාලකණ්ණින් පිදීමට බුදු බණේවත් කියා නොමැති බව ධම්මාලංකාර
හිමි සිතයි.
නන්ද තෙරුන් වහන්සේ සාමණේරයන් සමඟ නිහඬව ම ආවාසය තුළට වැඩම කළහ.
සාමණේරයන් තමා කෙරෙහි තබා ඇති පක්ෂපාතීත්වය පිළිබඳ නන්ද හිමියන්ට පුදුම ය. නමුත්
එවේලේ සිදු කළේ භික්ෂුවකට නම් නො ගැළපෙන ක්‍රියාවකි. ඒ පිළිබඳ සාමණේරයන්ට අවවාද කළ
යුතු ය.
නමුත් සාමණේරයන් මේ මොහොතේ දී සිටින්නේ උදෑසන සිට හොඳටෝ ම හිත රිදිලා ය. ඒ අතරතුරේ
උපදෙසක් දීමට ගියහොත් තවත් හිත රිදෙන්නට ඉඩ තිබේ. එබැවින් තවදුරටත් අවවාදයක් හෝ
අනුශාසනාවක් කරන්නට නො ගිය නන්ද හාමුදුරුවෝ සාමණේරයන්ට ‘ගොස් පැන් පහසු වන්න’යැයි
උපදෙස් දිණි.
කෙසේ හෝ සාමණේරයන්ට ඉගැන්විය යුතු ය. යහමඟ කියා දිය යුතු ය. තවතවත් මේ සමාජය තුළ
අසරණ වන්නට ඉඩ නො තැබිය යුතු ය යනුවෙන් නැවත වතාවක් නන්ද තෙරුන් වහන්සේ අදිටන් කළ
සේක.
සුළඟින් කම්පනය වූ පිනි බිඳු බෝපත් අගින් ගිලිහී සට සට ගා බිම පතිත වෙයි. හමන සුළඟ
ද අතිශයින් ම සීතල ය. උදෑසනින් ම අවදි වී බෝ මළුව අමදින දමිත සාමණේරයන්ගේ ගත
සුළඟින් හා පිනි බිඳු වැටීමෙන් කිලිපොළා යයි. |