[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සරු දේ වපුරමු සරුපල ලබමු

සරු දේ වපුරමු සරුපල ලබමු

අසාරෙ සාරමතිනො
සාරෙ චාසාර දස්සිනො
තෙ සාරං නාධිගච්ඡන්ති
මිච්ඡා සංකප්ප ගෝචරා

නිසරු දේ සරු වශයෙනුත්, සරු දේ නිසරු වශයෙනුත් ගෙන වැරැදි සංකල්පවල එල්බගත් පුද්ගලයන් කිසිදා සරුඵල නො ලබති.

සුපින්වතුනි, 2023 වසර ගෙවී ගොස් නව වසර උදා වී ඇත. එසේ එළැඹි නව වසරේ අපේ සිතිවිලි යහපත් කර ගනිමු. යහපත් සංකල්පනා ඇතිකර ගෙන යහපත් සිතිවිලි ඇතිව උදාර මිනිසකු ලෙස අනාගතයට මුහුණ දිය යුතුව ඇත. මිච්ඡා සංකල්ප හෙවත් මිසදුටු අදහස්වලින් ඈත්ව සම්මා සංකප්ප ගෝචරා යනාදී වශයෙන් වදාළ පරිදි යහපත් සංකල්ප අප හදවත් තුළ තවරා ගත යුතු ය.

ලොව්තුරා දහමෙහි සනාතනික හැඟීම වන්නේ මේ ලෝකය හා ලෝකයා අස්ථිර බව ය. තිර පැවැත්මක් නැති අස්ථිර ලොවක් තුළ වෙසෙන අප ජීවිතයේ සැබෑ ස්වරූපය මනාව තේරුම් ගත යුතු ය. සැබැවින් ම ජීවිතය යනු කුමක්ද? ඔබ මොහොතක් මේ ගැන සිතන්න මෙහි එන ගාථාවෙන් ප්‍රකාශිත අයුරු, බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ පුද්ගලයකු ජීවිත අවබෝධය ලබා සරුපල ලබන අයුරු ය.

අද බොහෝ මිනිසුන් වැරැදි ආකල්ප, වැරැදි අදහස්, වැරැදි තීන්දු නිසා නොමඟ ගොස් ඇත. වැරැදි මතවාද පතුරුවමින් නිසරු දේ පසුපස හඹාගොස් සිය ජීවිත අසාර්ථක කර ගෙන ඇත. පුද්ගල ජීවිතයේ යහපත පිණිස පවතින බොහෝ සරු දේවල් ඇත. නමුත් ඒවා හැරදා ඇත. අද බොහෝ දෙනා නිර්මල දහම තිබිය දී පුද්ගලවාදී දෙසුම් කෙරෙහි ඇලී ගැලී නො මඟ ගොස් තිබේ. බුදුන් වහන්සේ වදාළ මැදුම් පිළිවෙත අනුගමනය නොකොට වැරැදි මාර්ග ඔස්සේ ගමන් කරමින් පුද්ගල ජීවිත අවුලෙන් අවුලට පත්කර ගෙන ඇත.

පවිටු අදහස්, පවිටු සිතිවිලි වෙනුවට, සම්මා සංකල්ප හෙවත් යහපත් සංකල්පනා ඇති කර ගත යුතු බව බුදුදහමේ එන මූලික දෙසුමකි. ඒ අනුව අප අපගේ පළමු පියවර වශයෙන් වැරැදි සංකල්පනා දුරු කළ යුතු ය. ඉන්පසු සරු දේ කුමක්දැයි සෙවිය යුතුය.

පංචකාම දුෂ්චරිතයෙන් ඈත්වීම එහි එක් පියවරකි. එනම් පංචශීල ප්‍රතිපදාව ගෘහස්ථ සීලය වශයෙන් ගෙන පළමුව රැකිය යුතු ය. මෙය ලොව සැමට ජීවිත රක්ෂණය ලබා දෙන පොදු දහමකි. සැමට අනුගමනය කළ හැකි යහපත් සංකල්පනාවකි.

අටලෝ දහමින් කම්පා නොවී ජීවත්වීම තවත් සරුඵල ලබාදෙන සංකල්පනාවකි. ලාභ - අලාභ, අයස - යස, නින්දා - ප්‍රශංසා, සැප - දුක් කෙරෙහි මධ්‍යස්ථ සිතින් බැලීම හා එය ඉවසීම අටලෝ දහම ය. අතීතයේ පටන් මේ දක්වා අප ලැබූ යහපත් අයහපත් ප්‍රතිඵල බොහෝ තිබේ. එබැවින් ලාභ ලබන පිළිවෙත එකකි. නිවන් දකින පිළිවෙත තවත් එකක් යැයි සිතිය යුතුය. එය අවබෝධයෙන් පසක් කළ යුතු උතුම් සංකල්පනාවකි.

ගෙවුණු අතීතයේ අප මුහුණ දුන් කොරෝනා වසංගතය ඉන් එකකි. ඒ අනුව අප හමුවේ ඇති සම්බාධක හඳුනාගෙන ඉන් කම්පා නොවී ජීවිතයට මුහුණ දිය යුතුව ඇත.

ඒ හැර පුද්ගල ජීවිතයේ ස්වභාවය අප තේරුම් ගත යුතු ය. එය පංචස්කන්ධයක් තුළ ඔබ්බවා තිබෙන පංච ඉන්ද්‍රියන්ගෙන් පිරිපුන් අනිත්‍ය, දුක්ඛ, අනාත්මාදි ලකුණුවලින් හෙබි එකක් බව අප මෙහිදී අවබෝධ කරගත යුතු ය.

පංචස්ඛන්ධය පෝෂණය කරනු විනා අන් දෙයක් අප නො කරන බව අප පසක් කර ගත යුතුව ඇත. එය ප්‍රමාණවත් නොවන බවත් දාන, සීල, භාවනාදී පින්කම් කළ යුතු බවත් අවධාරණය කළ යුතු ය. දස අකුසලින් දුරුව දස පුණ්‍ය ක්‍රියාවල නිරත විය යුතු ය.

එමෙන්ම අප දුබල සිතිවිලි අභියස වැටෙන, අන් අයගේ ක්‍රියාකාරීත්වය නිසා සැලෙන මනසකින් යුතු කෙනකු බව නිතර සිතිය යුතු ය. කර්මය හා කර්ම ඵලය විශ්වාස කරන අප ඒ කෙරෙහි සැලකිලිමත් විය යුතු ය. අප මේ සමාජයට ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය සහ උපේක්ෂාව බෙදිය යුතු ය. අනෙකා කෙරෙහි දයානුකම්පාව දැක්විය යුතුය. විපතේ දී පිහිට විය යුතු ය. වෛරය, ක්‍රෝධය, හිංසාව දුරු කළ යුතු ය. සැමට මෙත් සිත පැතිර විය යුතු ය. වැරැදි මත බෙදා හැරීමෙන් වැළකිය යුතු ය. යහපත් ක්‍රියාවලින් යහපත් ප්‍රතිඵල උදාකර දෙන බව අප නිතර සිතිය යුතු ය. නරක සිතිවිලිවලින් ඈත් වූ විට මනස ද පවිත්‍ර ය. එබඳු සිතකින් කරන ක්‍රියාවල ප්‍රතිඵල සරු වශයෙන් ගත හැකි ය. එබැවින් ඔබ වපුරන හොඳ බිජුවල තරමට ම එහි අස්වැන්න නෙළාගත හැකිවනු ඇත.

පසුගිය අවුරුද්දේ අප ලැබූ ජීවිත අත්දැකීම් පන්නරයක් කොටගෙන එළැඹෙන 2024 නව වසරේ අපගේ සිතිවිලි පරම්පරාව පවිත්‍ර කර ගත යුතුව ඇත. පසුගිය වසර පුරා ඔබ කළ හොඳ වැඩ මෙන්ම අවැඩ ද තිබෙන්නට පුළුවන. අවැඩ තුළින් ලැබූ අයහපත් ප්‍රතිඵල ද, යහපත තුළින් ලද සරු ප්‍රතිඵල ද ඔබ අද මේ වන විට භූක්ති විඳිනවා ඇත. ඒ අනුව කළ යුත්තේ ලබන වසරේ සරුපල ලබා දෙන දේ පමණක් රැගෙන නූපන් අනාගතයට ප්‍රවේශ වීම ය.

උඳුවප් අමාවක

ජනවාරි 10 බදාදා අ.භා. 08.08 අමාවක ලබා 11 බ්‍රහස්පතින්දා අ.භා. 05.25 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]