[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් අමාවක පෝ දා 2024-01-11

අඳුර දුරලමු

තථාගතයන් වහන්සේ එක් අවස්ථාවක මේ ලොව ජීවත්වන මිනිසුන් වර්ග සතරක් පිළිබඳ දේශනා කොට වදාළහ. ඒ අනුව පිරිසක් අඳුරෙන් අඳුරට යන්නෝ ය. තවත් පිරිසක් අඳුරෙන් ආලෝකයට යන්නෝ ය. ආලෝකයෙන් අඳුරට යන්නෝ ද වන අතර, ආලෝකයෙන් ආලෝකයට යන පිරිසක් ද වෙති.

අඳුරු ස්වභාවයට කිසිවෙක් කැමැති නැත. සෑම කළු වළාවක ම පවා රිදී රේඛාවක හෝ ආලෝකයක් බලාපොරොත්තු වන්නා සේ ජීවිතයට එළියක් බලාපොරොත්තු වීම සාමාන්‍ය ස්වභාවයයි. අඳුර ජීවිතයේ අවපස සංකේතවත් කරයි. පරිහානිය, විනාශය, අභාග්‍යය පිළිබඳ ඉඟි කරයි. අඳුර ළඟා කර ගැනීමත්, ආලෝකය ළඟා කර ගැනීමත් තම තමන්ගේ ක්‍රියාවට අනුව සිදුවන්නකි. තමන්ගේ ජීවිතය අඳුරට, විනාශයට ඇද දැම්මා යැයි ඇතැම් පිරිස් විවිධ පුද්ගලයන්ට චෝදනා කරති. ඒ සඳහා උත්සාහවත් වන්නෝ කොතෙකුත් විය හැකි ය. එහෙත් හොඳින් සිතා බලා, හොඳ නරක තෝරා බේරා ගත හැකි, යථාර්ථාවබෝධයෙන් යුතු, යහපත් මානසිකත්වයක් ඇති, එළඹ සිටි සිහියෙන් යුතු පුද්ගලයා කිසිදු බාහිර බලවේගයකට විනාශ කළ නොහැකි ය.

ශ්‍රී සද්ධර්මය තුළ අනාවරණය කෙරෙන චරණ ධර්ම දෙකකි. ඒ හිරි සහ ඔත්තප්පයි. ලජ්ජාව හා බිය ලෙස එය අර්ථ ගැන්වේ. ලජ්ජා විය යුතු, බිය විය යුතු පාප කර්මයන්හි නියැළෙන්නට ය. සිත,කය, වචනය යන තුන්දොර මෙහෙයවා පව්කම් කරන්නට ය.

බොහෝ දෙනෙක් තමන් ද අඳුරට වැටී, අනුන් ද අඳුරට ඇද දමන්නට උත්සාහ කරන්නේ මේ හිරි ඔත්තප්පය නැති නිසා ය.

යම් මොහොතක එසේ පව්කම් කිරීම සතුටක්, මිහිරක් ලෙස දුටුව ද එහි අමිහිරි ඵල තමන් වෙතම ආපසු හැරී එන්නේ උඩු සුළඟට දැමූ දුහුවිල්ලක් ලෙසිනි. ඒ අනුව

කරන කලට පව් මීහිරිය මී සේ

විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ යනුවෙන් ලෝවැඩ සඟරා කතුවරයා පාපයේ බරපතළකම පෙන්වා දෙයි.

බෞද්ධයා යනු අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය පුද්ගලයා ය. ඔහුගේ ඒකායන අරමුණ පාපයෙන් මිදී, අකුසලයෙන් මිදී, පින් රැස් කරමින්, කුසල් රැස් කරමින්, සිල්වත් වෙමින්, සිත පිරිසුදු කර ගනිමින් නිවන් මඟට බැස ගැනීම ය. එසේ නම් ප්‍රබුද්ධ මනසක් ඇති කිසිවෙක් තුළ වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය අධික තණ්හාව, ලෝභය, මෝහය ආදි අකුසල සිතිවිලි වර්ධනය වන්නේ නැත. එම සිතිවිලි මෙහෙයවා අයහපත ක්‍රියාවට නඟන්නේ ද නැත.

තමන් නියම බෞද්ධයෙක් ද යන්න මේ ගැන තමන් ම විමර්ශනය කර ගැනීමෙන් නිගමනයට පැමිණිය හැකි ය. තථාගත ශ්‍රී සද්ධර්මය පිළිපැදීම තුළ මේ ජීවිතය ද නිවී, පරලොව ද නිවෙනු ඇත. ධර්මානුකූල ජීවිතය තුළ අත්විඳින ආධ්‍යාත්මික සතුට, සැනසුම වෙනත් කිසිදු භෞතික සම්පතකින් ලද නොහැකි ය. එහෙයින් බෞද්ධයින් ලෙස අප සැබෑ ලෙස ම ධර්ම මාර්ගයට යොමු වීමට උත්සාහ ගත යුතු ය.

අපේ සිතිවිලි අයහපත් වන හැම මොහොතක ම ඒ ගැන අවදියෙන් සිට නිවැරැදි කර ගත යුතු ය. මේ ජීවිතය තව කොපමණ කාලයකට දැයි නිශ්චිත නැත. ගෙවෙන හැම මොහොතක් ම අවිනිශ්චිත ය. එළඹ සිටි සිහියෙන් අපගේ සිතිවිලි සේ ම වචනය ද, ක්‍රියාව ද යහපත්ව ම හැසිරවිය යුතු ය. එවැනි පුද්ගලයා ජීවිතයේ ආලෝකය දකිනු ඇත. කිසිවකුට අඳුරට ඇද දැමීමට නොහැකි බලසම්පන්නයකු ද වනු ඇත.

උඳුවප් අමාවක

ජනවාරි 10 බදාදා අ.භා. 08.08 අමාවක ලබා 11 බ්‍රහස්පතින්දා අ.භා. 05.25 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]