[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

යහපත් ඇසුර සැපතකි

යහපත් ඇසුර සැපතකි

මවුපිය, දූදරු, ගුරු සිසු , ස්වාමි – භාර්යා, ස්වාමි – සේවක, ගිහි – පැවිදි යන සමාජයේ විවිධ කොටස් තුළ හොඳ ආශ්‍රය පැවතිය යුතු ය. එවිට මුළු මහත් සමාජයම යහපත් වනු නිසැක ය

ජීවිතයක් සාර්ථක වීම උදෙසා ආශ්‍රය ඍජුවම බලපානු ඇත. අප විවිධ විෂම සමාජයක ජීවත් වන්නෙමු. එබැවින් පුද්ගල ඇසුර ඉතා වැදගත් වේ. එහිදී හොඳ, සත්පුරුෂ, කල්‍යාණ මිත්‍ර ඇසුරක් ජීවිතයක් යහපත් වීමට යොදා ගැනීම ඉතා වැදගත් වේ. එහිදී අපට බුදුහිමිගේ දේශනයන් ඉතා වැදගත් වේ. විවිධ සූත්‍රානුසාරයෙන් බුදුහිමි ඒ පිළිබඳ කියා දුන් කරුණු කාරණා දැන ඉගෙන ගෙන ඒවා අනුගමනය කිරීමට උනන්දු වන්නේ නම් කාගෙ කාගේත් ජීවිත සාර්ථක වනවාට කිසිදු සැකයක් නැත.

ඇසුර පිළිබඳ කතා කිරීමේදී එහි දෙපැත්තක් තිබෙන බව බුදුරදුන් දේශනා කළහ. එනම් හොඳ ඇසුර හා නරක ඇසුර යන්නයි. එහිදී අප ඇසුරට පත් කර ගත යුත්තේ හොඳ ඇසුරයි. නරක ඇසුර නිරන්තරයෙන් ම ජීවිතයක විනාශය, අසාර්ථකත්වය, අවැඩ පිණිසම පවතින්නකි. නරක ඇසුර තමන්ටත්, අනුන්ටත්, මෙලොවටත් පරලොවටත් අයහපතක් ම සිදු කරනු ඇත. එබැවින් අප නරක අය හඳුනාගෙන ඔවුන්ගෙන් මිදී හොඳ ඇසුරක් ලබා ජීවිතය යහපත් කර ගැනීමට අධිෂ්ඨාන කර ගැනීම වැදගත් වේ.

ඒ සම්බන්ධව බුදුහිමි දේශනා කළ කරුණු කාරණා ස්වල්පයක් විමසා බලා ඒ තුළින් ජීවිතය සාර්ථක කර ගැනීමට සිතට ගනිමු.

හොඳ අය නම් සත් පුරුෂයින්, කල්‍යාණ මිත්‍රයින්, සිල්වත් ගුණවත් යනාදී පිරිස් ය. ඔවුන් පිළිබඳ හැදෑරීමේ දි අපට වැදගත් සූත්‍රයක් ලෙස බු:නි: ට අයත් මංගල සූත්‍රය ගැනීමට පුළුවන. එහි සඳහන් මංගල කරුණු 38ක් පවතින අතර එයින් “පණ්ඩිතා නඤ්ච සේවනා” (පණ්ඩිතයන් සේවනය කිරීම) යන මංගල කරුණ ඉතා වැදගත් වේ. එයට හේතුව වන්නේ පණ්ඩිතයන් නිරන්තරයෙන් හොඳ දේකට මඟ පෙන්වන බැවිනි. ඔවුන් බහුශ්‍රැත තැනැත්තෝය. සිල්වත් ගුණවත්කමින් අනූන ය. ඔවුන් ඇසුරු කරන්නන් හට සදා යහපතක් මිස අයහපතක් සිදු නොවේ.

දී:නි: ට අයත් සිඟාලෝවාද සූත්‍රය දෙස විමසා බැලීමෙන් එහි කල්‍යාණ මිත්‍රයන් හතර දෙනෙක් පිළිබඳ දක්වා ඇත. එනම්

උපකාරක (ප්‍රමාදව හෝ සිහි මුළාවෙන් සිටින කළ රැකීම)

සමාන සුඛ දුක්ඛ ( තම රහස් මිතුරාට පවසන අතර මිතුරාගේ රහස් රකී.)

අත්ථක්ඛායී (පවින් වළක්වා යහපතෙහි යොදවා නිවන් මඟ පාදා දෙන්නා)

අනුකම්පක (දුකේ දී දුක් වීම හා සැපේ දී සතුටුවීම)

ඉහතින් සඳහන් කළ මිතුරන් හොඳ, කල්‍යාණ, මිතුරන් ය. ඔවුන් ඇසුරු කිරීමෙන් කෙනෙකුගේ ජීවිතයත්, පවුලේ ජීවිතත් පමණක් නොව දේපළත් ආරක්ෂා වීමට හේතුවක් වනවා සේ ම ගුණ ධර්ම අතින් දියුණු වීමට ද හේතුවක් වන්නේ ය. මෙලොව පමණක් නොව පරලොව ජීවිතය ද යහපත් වීමට කල්‍යාණ මිත්‍රාශ්‍රය බලපානු ඇත. නිවන් මඟ පාදා ගැනීමට ද කල්‍යාණ මිත්‍රාශ්‍රය ව තරම් බලවත් දෙයක් නොමැත. එබැවින් හොඳ මිතුරන් ඇසුරු කොට ජීවිත යහපත් කර ගැනීමට නිරන්තරයෙන් උත්සහාවත් විය යුතු ය.

අ:නි: ට අයත් ව්‍යග්ඝපජ්ජ සූත්‍රය තුළ කල්‍යාණ මිත්‍රයා යනු කවරෙක්ද යන්න පිළිබඳ දීර්ඝ විස්තරයක් කොට ඇත. එනම්

“කතමාව ව්‍යග්ඝපජ්ජ කල්‍යාණ මිත්තතා? ඉධ ව්‍යග්ඝපජ්ජ කුලපුත්තො යස්මං ගාමේ වා පටිවසති, තත්ථ යෙ තෙ හොන්ති ගහපති වා ගහපතිපුත්තා වා දහරා වා වුද්ධසිලිනො, වුද්ධා වා වුද්ධාසීලා, සද්ධා සම්පන්නා, සීලසම්පන්නා, චාගසම්පන්නා, පඤ්ඤාසම්පන්නා තෙහි සද්ධිං සත්තිට්ඨති. සල්ලපති සාකච්ඡං සමාපජ්ජති. යථාරූපානං, සද්ධා සම්පන්නානං සද්ධාසම්පදං අනුසික්ඛති, යථාරූපානං චාගසම්පන්නානං චාගසම්පදං අනුසික්ඛති. යථාරූපානං පඤ්ඤා සම්පන්නානං පඤ්ඤ සම්පදං අනුසික්ඛති. අයං වුච්චති ව්‍යග්ඝපජ්ජ කල්‍යාණ මිත්තා”

ව්‍යග්ඝපජ්ජය කල්‍යාණ මිත්‍රත්වය යනු කවරේද? ව්‍යග්ඝපජ්ජය මේ ලෝකයෙහි කුලපුත්‍රයෙක් යම් ගමක හෝ නියම් ගමක හෝ එහි ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ තරුණ වූ හෝ මහලු වූ හෝ ශ්‍රද්ධාසම්පන්න, ශීල සම්පන්න, ත්‍යාග සම්පන්න ප්‍රඥා සම්පන්න අය සමඟ එක්ව සිටී. කතා කරයි. සාකච්ඡා කරයි. ශ්‍රද්ධා සම්පත්තිය අනුව හික්මෙයි. ශීල සම්පන්නයන් අනුව ශීල සම්පත්තිය අනුව හික්මෙයි. ත්‍යාග සම්පන්න යන් අනුව, ත්‍යාග සම්පත්තිය අනුව හික්මෙයි. ප්‍රඥා සම්පන්නයන් අනුව ද ප්‍රඥා සම්පත්තිය අනුව ද හික්මෙයි. මෙය කල්‍යාණ මිත්‍රත්වය යැයි කියනු ලැබේ.

එම සූත්‍රයට අනුව ශ්‍රද්ධා ශීල, ත්‍යාග, ප්‍රඥා යන ගුණයන්ගෙන් හෙබි ඒ අනුව ඇසුරු කරන, කටයුතු කරන පිරිස හොඳ මිතුරන් සේ ම ඔවුන් ඇසුරු කිරීම යහපත කැඳවන්නක් බව සඳහන් වේ.

එක් අවස්ථාවක ආනන්ද හාමුදුරුවන් වහන්සේ බුදු හිමියන්ගෙන් මෙම බුද්ධ ශාසනයේ හරි අඩක් ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසා නේද? යනුවෙන් ඇසූ ප්‍රශ්නයට බුදු හිමි උත්තර දෙන්නේ ආනන්දය, හරි අඩක් නොව මේ බුද්ධ ශාසනය ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මත බව දේශනා කළහ.

සමාජයේ ජීවත් වීමේ දී කල්‍යාණ ඇසුරක් ම ලැබිය යුතු ය. හොඳ කෙනෙකුගේ ඇසුරක් නැත්නම් කෙනෙකුට ජිවිතය ගොඩනඟා ගැනීමට අපහසු ය. ධම්ම පදය තුළ ඒ පිළිබඳ දේශනා කොට ඇත්තේ මෙසේ ය.

කල්‍යාණ මිත්‍රයෙකු සොයන්නා හට තමාට වඩා ගුණයෙන් උසස් අයෙකු හෝ සමාන අයෙකු හෝ නොලැබේ නම් තනිම විසීමේ අදහස දැඩි කර ගත යුතු ය. ගුණවන්තයකුගෙන් ලැබෙන සහායකත්වය බාලයකුගෙන් නොලැබේ යනුවෙනි.

බුදුරදුන් වරක් බාලයින්ගේ ඇසුරට වඩා හුදකලාව විසීම සැපතක් යැයි සිතා පාරිලෙය්‍ය වනයට වැඩම කළ ආකාරය ද මේ සම්බන්ධව ඉතා වැදගත් ය. සැරියුත්, මුගලන් චරිත කතා තුළින් වුව ද කල්‍යාණ මිත්‍රත්වය පිළිබඳ බොහෝදේ ඉගෙන ගැනීමට පුළුවන. අද යුගයට බුදුසිරිතෙන් හා ශ්‍රාවක චරිත තුළින් ගත යුතු කරුණු බොහෝ ය. ඒවා සිතට ගෙන හොඳ ඇසුරක් ලබා ජීවිතය සාර්ථක කර ගැනීමට පසුබට නොවිය යුතු ය.

සැළලිහිණි සන්දේශය තුළ සඳහන් වන එක් පද්‍යයක් විමසීමේ දී ද හොඳ මිත්‍රයෙකුගේ ලක්ෂණ පැහැදිලි වේ.

මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි ම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති

හොඳ මිතුරා දුකත් සැපත් දෙකෙහිදී ම මධ්‍යස්ථව ළඟ හිඳී, හරියට සිතුවම් රූප පිටු නොපාන්නාක් මෙනි. ඒ අනුව යහපත් ජීවිතයක්, නිරවුල් ජීවිතයක් ගත කිරීමට නම් හොඳ ආශ්‍රයක් තිබිය යුතු බව ඉහත කරුණු තුළින් පැහැදිලි වේ.

අපට හොඳ ආශ්‍රයක් තුළින් බොහෝ දේ ලබා ගත හැකි ය. අංගුලිමාල, ආලවක, නාලාගිරි ආදි මිනිස් තිරිසන් බොහෝමයක් බුදුහිමිගේ ඇසුර හා අවවාද අනුශාසනා මත සුමගට පත් වූ ආකාරය ඉතා ප්‍රකට ය.

අප නොයෙක් පින්කම් කොට අවසානයේ කරන ප්‍රාර්ථනා ගාථාව තුළ ද අන්තර්ගත වන්නේ හොඳ ඇසුරක් ලැබීමයි. එනම්,

ඉමිනා පුඤ්ඤ කම්මේන
මාමේ බාලසමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා

මේ පින්කමේ බලයෙන් මා හට අසත්පුරුෂ ආශ්‍රයක් නොවේවා, නිවන් දකිනා තුරා සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබේවා මේ ආදි වශයෙන් විවිධ තැන්වල හොඳ ආශ්‍රයක ඇති වැදගත්කම පැහැදිලි කොට ඇත. ත්‍රිපිටකය හා බුද්ධ චරිතය ඇසුරු කොටගෙන අපට හොඳ ආශ්‍රයක් ලබා ගැනීම අපහසු කාර්යයක් නොවේ. හොඳ අය ඇසුරු කිරීමෙන් මෙලොව ජීවිතය ප්‍රශ්න ගැටලු පැන නොනැඟෙන ආකාරයෙන් සකස් කර ගැනීමට පුළුවන. මවුපිය, දූදරු, ගුරු සිසු , ස්වාමි – භාර්යා, ස්වාමි – සේවක, ගිහි – පැවිදි යන සමාජයේ විවිධ කොටස් තුළ හොඳ ආශ්‍රය පැවතිය යුතු ය. එවිට මුළු මහත් සමාජයම යහපත් වනු නිසැක ය. ඒ අනුව අප සෑම කෙනෙක්ම හොඳ ඇසුරක් ලබා මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමටත්, උතුම් නිවනින් සැනසීමටත් අධිෂ්ඨාන කර ගනිමු.

උඳුවප් අමාවක

ජනවාරි 10 බදාදා අ.භා. 08.08 අමාවක ලබා 11 බ්‍රහස්පතින්දා අ.භා. 05.25 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]