[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කළ වරද නොසඟවන්න සමාව ගැනීමෙන් පිහිට ලැබෙනවා

කළ වරද නොසඟවන්න සමාව ගැනීමෙන් පිහිට ලැබෙනවා

සංසාරේ කියන්නේ පුදුම දෙයක්. උසස්, පහත් උපත් අතරේ සත්වයින් කලින් කලට ඉහළට පහළට දෝලනය වන්නේ කර්මානුරූපව ම යි. පිනෙන් පිරී ගිය, මෝරා ගිය පුණ්‍යවන්තයන් පවා සමහරවිට සංසාරගත දෝෂ නිසා හීන උපත් ලබනවා. සමහරු පුංචි පිනකින් උතුම් තැන්වල උපදිනවා.

දිනක් සොහොනකට විසිකර සිටි, උපන් හැටියෙ සිඟිත්තෙක් ළඟ ශාස්තෘන් වහන්සේ නැවතුණා. මේ පුංචි පුතු තමාගේම ඇඟිලිවලින් ගලන කිරි උරමින් කිසි උවදුරක් නැතිව ඉන්නේ මිනිස්සු රැකලා නෙවෙයි. දරුවාට නැකැත් බලන්න, සාත්තු සප්පායම් කරන්න මිනිස්සු නෑ. යක්ෂ, භූත, පිසාචයන්ගේ හෝ සතා සීපාවන්ගේ හෝ පීඩාවක් නැතිව අමු සොහොනක දරුවා රැකෙන්නේ පෙර පින් බලයෙන්. බල්ලන් ඇවිත් සිඟිති පා ලෙව කෑවා. කපුටෝ, හිවල්ලු ඇඟේ තැවරුණු ගැබ්මල ඉවත් කළා මිසක හානි කළේ නෑ. මහ රෑ සොහොනේ දමා ගිය, කිසිවෙක් නැතිව අනාථ වූ, වෙව්ලමින් සිටින මේ සිඟිත්තා ජීවත් වෙයිදැයි සැකයක් ඇතිවුණා.

මහා කරුණාවෙන් තෙත් වූ අභිනීල සම්බුදු නෙතු යුගලෙන් ගලාගිය සිනිඳු බුදු රැස් දහරේ ගිලෙන සිඟිත්තා “අනාගතයේ මේ නගරයේ මහා ධනපතියකු වෙනවා.” කියා බුදු මුවින් පුදුම සහගත අනාවැකියක් පළ කළා.

“අනේ ස්වාමීනී, මේ සිඟිත්තා මෙවන් ව්‍යසනයකට පත් වුණේ ඇයි? මෙවන් බියජනක තැනක අනතුරක් නොවී අනාගතේ එවන් සැප ලබන්න මොහු කළ පින මොකක් ද? පුරුදු කළ උසස් ජීවිතේ මොකක් ද?” කියලා එක උපාසකයෙක් ඇහුවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා පින්වත, මේ දේ ඔහු විසින්ම කරගත් දෙයක්. ටික කලකට කලින් මේ සැවැත්නුවර උපාසකවරු නගරයේ විශාල සොඳුරු මණ්ඩපයක් කරවා විවිධ පාටවලින් යුතු අලංකාර වස්ත්‍රවලින් සැරසිලි කරවා වටිනා ආසන තැන්පත් කර බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දානයට ආරාධනා කළා. සුවඳ මල් ආදී නොයෙක් පූජෝපහාර මධ්‍යයේ මහා මංගල සිරියෙන් දන්පැන් පූජා කළා.

මේක දැකපු එක්තරා මසුරු තරුණයකුට ඉරිසියාව දරාගන්න බැරිවුණා. සිව්පසයට නො ඇලෙන ශාස්තෘන් වහන්සේගේත්, සංඝරත්නයේත් ලාභ සත්කාර ඉවසන්නට බැරි වුණා.

“මේ මුඩු මහණුන්ට බොරු වියදම් කරනවාට වඩා හොඳයි මේවා කුණු ගොඩකට විසි කළා නම්” කියලා තරහෙන් පුපුර පුපුරා කෑ ගහගෙන ගියා.

ඔහු ගැරහුවේ, කිසිසේත් ගැරහීමට සුදුසු නැති නිකෙලෙස් උතුමන්ට. ආර්ය උපවාද කර්මය ඔහු රැස්කර ගත්තා කියලා උපාසකවරු කම්පා වුණා. මේ මාන්නක්කාර කොලු ගැටයාට කවුරු නම් කරුණු කියන්න ද? ඒ උපාසකවරු පින්කමෙන් පස්සේ ඔහුගේ අම්මා මුණගැහුණා. ඇගේ පුතා කියපු කතාවේ ඇති බරපතළකම පැහැදිලි කළා. කෙසේ හෝ තුණුරුවන් කමා කරවා ගන්න කියලා ගොඩක් කරුණු කීවා.

ඒ අම්මත් ගොඩක් බය වුණා. තමාගේ පුතා මහා භයානක ඉරණමක් උරුම කරගනී කියලා සිතා ඈ අවවාද කළා. මේ තරුණයාත් ඒ පාපී විපාකයට බය වුණා. සමාව ගන්නට කැමැති වුණා. මවගේ අවවාද අනුව ඔහු සත් දිනක් පුරා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට කැඳ දානය පූජා කරලා තෙරුවන් කමා කර ගත්තා.

මේ තරුණයා ටික කාලෙකින් මියගියා.

කම්මස්සකා සත්තා – සත්වයින් තමන්ගේ දේ කරගෙන ඉන්නේ කර්මය යි, කම්ම දායාදා – දෑවැද්ද කරගෙන ඉන්නේ කර්මය යි, කම්ම යෝනි – තමා උපදින තැන තීරණය කරන්නේ කර්මය යි.

බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට නපුරු සිතින් කියූ රළු මුසාව ඔහුව නිරයට හෝ ප්‍රේත ලෝකයට ගෙනයන්නට තිබුණත් සමාව ගත් නිසා, විපාකය සැහැල්ලු වුණා. පැවසූ වචනයට අනුරූප තැනක උපත සැකසුණා. ඔහු පිළිසිඳ ගත්තේ අපවිත්‍ර ජීවිකාවක් වූ වෛශ්‍ය වෘත්තියේ යෙදෙන ස්ත්‍රියකගේ කුසේ. මොහු පිරිමි දරුවකු බව දුටු වෙසඟන මේ සිඟිත්තා සොහොනේ තිබෙන කසළ ගොඩකට විසි කළා. තමාගේ වචනය තමාට මුණගැසුණා.

සමාව ගැනීම පිණිස සත්දිනක් සිත් පහදවා ගෙන දුන් කැඳ දානයේ විපාකය බලන්න. කර්ම විපාකයෙන් උරුම කළ අනතුරු විපාක නොදී පරිසරයෙන් අනතුරක් නොවී රැකුනේ කම්ම පටිසරණා – කර්මයෙන් ම සාදාගත් පිළිසරණ නිසයි.

භාග්‍යවතුන් වහන්සේ වදාළා “මේ සිඟිත්තා ළාමක කෙනෙක් නෙවෙයි. මහා සිටුවරයෙක් බවට පත්වන මොහු සිය වසරක් ආයුෂ ලබා මරණින් මතු තව්තිසාවේ සක්දෙවිඳුගේ පුත්‍රයෙක් ව උපදිනවා.”කියා

ළදරුවාගේ අතීතයත්, අනාගතයත් වදාළ සර්වඥයන් වහන්සේ සොහොනේ දී ම වදාළ චතුරාර්ය සත්‍ය දේශනාව අසා බොහෝ දෙවි මිනිසුන් මාර්ගඵල ලැබුවා. ඒ අතර හිටපු අසූ කෝටියක් ධනය ඇති සිටුවරයෙක් මේ දරුවා ව තම පුතු ලෙස බාර ගත්තා.

පසු කාලේ සිටුතුමාගේ ඇවෑමෙන් සිටු තනතුරට පත් වූ කුමාරයා අපමණ සැප සම්පත් භුක්ති විඳීමින් ම මහා පින් කරන සැදැහැබර උපාසකයෙක් වුණා. බුදු සසුනේ පිහිට ලබන කෙනෙක් වුණා.

අපිට මනුස්ස ලෝකයේ උපදිද්දී හොඳට අතපය තියෙනවා නම්, කතා කරන්න පුළුවන් නම්, කාය ශක්තිය, ධනය, බලය, සමාජ තත්ත්වය තියෙනවා නම් ඒකට හේතුව තමයි “කළ පින්”. පින් නොකළා නම්, පව් කළා නම් මේවා නො ලැබී යනවා කියලා කිසිදාක අසන්නට නො ලැබුණොත්, ඇසුනත් විශ්වාස නො කළොත් තියෙන පිනත් නැතිකර ගන්නවා. කට වරද්දාගෙන, කතා කරන්න තියෙන හැකියාව නැති කර ගන්නවා. කට නිසාම ධනය, බලය, රූපය, හැකියාව, නුවණ, සියල්ල අනාගත ජීවිත ලක්ෂ ගාණකට තමාට අහිමි කරගන්නවා.

ගැරහීම, විවේචනය, උපහාසය, හෙළාදැකීම ආදිය සිත, කය, වචනය යන තුනෙන් ම සිද්ධ වෙද්දී, බරපතළට නො පෙනුනාට, විපාකය විඳීද්දී, ඒ විපාකය ජීවිතයේ ම කොටසක් වෙනවා.

හැබැයි සිත, කය, වචනයෙන් මොන වරද වුණත්, ගැලවීමටත් මඟක් තියෙනවා. වරද හඳුනාගෙන නිවැරැදි වීම කියන්නේ ළාමක දෙයක්, සුළුපටු දෙයක් නෙමෙයි. ඒක බුද්ධ ශාසනයේ දියුණුවක් ම යි. සමාව ගැනීමත්, සමාව ගැනීම පිණිස දානයක්, පූජාවක්, වත පිළිවෙතක් කිරීමෙන් කොතරම් ආරක්ෂාවක් අපට ලැබෙනවා ද?

සාමාන්‍ය මනුස්සයකුට වේවා, උතුම් ගුණැති පුද්ගලයකුට වේවා, තමන්ගෙන් වරදක් සිදුවුණ විටදී ඒ පුද්ගලයාට ම හෝ මහා පින් උපදවන තුනුරුවන්ට උපස්ථානයක්, උපකාරයක් කරල සමාව ඉල්ලන්න සුදුසු යි. ඒක තමයි නිවැරැදි වීමට උපකාර වන්නේ. සමාව ඉල්ලීමට නිහතමානී වීම, විවෘත වීම, අවංක වීම ආදී ගුණධර්ම නිසා පාපය තුනී වෙලා අල්ප විපාකයකින් ගෙවා ගත්තොත් වරදට පිළියම් වශයෙන් අප්‍රමාණ සැප විපාක දෙනවා.

තුණුරුවන්ට කරන උපස්ථානය නිසා දුක් විපාකය අභිබවා යන මහා පිහිටක් සැපයක් ලබා ගන්නත් අවස්ථාව ලැබෙන බව මේ සිදුවීමෙන් තේරුම් ගන්න පුළුවනි.

එලෙසෙ ම තුණුරුවන් කෙරෙහි කරන, කියන, හිතන හැමදේම හරිම බරපතළ යි. භයානක යි. දේශනාවේ කියන්නේ ආර්ය උපවාද නිසා මාරාන්තික රෝග, අතපය කැඩීම්, උමතු බව, භෝග ව්‍යසන, ඤාති ව්‍යසන, ගේ දොර ස්වාභාවික විපත්වලට හසුවීම වැනි නො සිතූ විපත්වලට ගොදුරු වෙන්නට පුළුවන් බවයි. අපට යම් විපතක් වෙද්දී අපෙන් ලෝකයට වුණ වරද කුමක්ද කියලා අවංකව ආපස්සට හිතන්න ඕනි. වරදක් මතක් වුණොත් සමාව නම් ගන්නම ඕනි. කළ වරදකට මෙලොව යම් දුකක් උපද්දනවා නම් පරලොව මොනවා වේවි ද? ඒ ඉරණම වෙනස් කළ හැකි එකම දේ සමාව ගැනීම යි.

ඒ නිසා, මේ උතුම් ක්ෂණ සම්පත ව්‍යසනයක් කර නො ගෙන, කිසිවකුටත් නො ගරහන, අහිංසක ජීවිතයක් උපදවාගෙන, වැරැදි නිවැරැදි කරගෙන, වාසනාවන්ත අනාගතයක් හිමිකරගන්න අපට මඟ පෑදේවා!

(කුමාර ප්‍රේත වස්තුව ඇසුරෙන්)

උඳුවප් අමාවක

ජනවාරි 10 බදාදා අ.භා. 08.08 අමාවක ලබා 11 බ්‍රහස්පතින්දා අ.භා. 05.25 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]