[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඊර්ෂ්‍යාව තමන්ගේ ම දියුණුව අඩපණ කරයි

ඊර්ෂ්‍යාව තමන්ගේ ම දියුණුව අඩපණ කරයි

තමන්ගේ, තම සමීපතමයන්ගේ දියුණුව මිස අනුන්ගේ දියුණුව දකින්නට, අනුන්ට උපකාරී වන්නට සමහරු අකැමැති ය. එහෙත් කෙනකුගේ දියුණුව දැක ඒ දියුණුවට වඩ වඩාත් උදව් උපකාර කරන්නට පුළුවන් නම්, ඒ පුද්ගලයාට යම් ශක්තියක් වෙන්නට පුළුවන් නම් එය උතුම් මානුෂික ගුණාංගයකි.

ජීවිතය අර්ථවත් කර ගැනීමට, මනුෂ්‍යයෙක් වශයෙන් ගොඩනඟාගත් ගුණයකි. එය මුදිතා ගුණය ලෙස අර්ථ ගැන්විය හැකි ය. මුදිතා ගුණැති පුද්ගලයා යහපත් ගුණවත් මිනිසෙක් වශයෙන් ජිවත්වේ. ඒ වගේ ම බෞද්ධයෙක් හැටියට මරණින් පසු සුගතිගාමී වීමට, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකයන්හි ඉපදීමේ වාසනාව සලසා ගැනීමට උපකාරී වන මාහැඟි ගුණයක් හැටියට මුදිතා ගුණය හැඳීන්විය හැකි ය.

බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ මුදිතා ගුණය උතුර, නැඟෙනහිර, බටහිර වශයෙන් සෑම දිශාවකට ම පතුරුවන ලෙසයි. එමෙන් ම ඒ සෑම දිශාවක ම ජීවත්වන්නා වූ සියලු සත්ත්වයන් කෙරෙහි ම මුදිතාව පතුරුවන ලෙසයි. ඒ වගේ ම මුදිතා ගුණය තමන්ගේ සිතේ කුසල් දහම් ඇති කර ගනිමින් උසස් ධ්‍යාන ලබා ගැනීමට ඉවහල් වන ගුණයක් බව ද උන්වහන්සේ පෙන්වා වදාළහ.

අසල්වැසියකුගේ, මෙන් ම අහිතවත් කෙනකුගේ හෝ වෙන කවරකුගේ හෝ වුව දියුණුව, සාර්ථකත්වය දැක එයට අසතුටු වන, ඊර්ෂ්‍යා කරන යම් පුද්ගලයෙක් වේ ද ඒ පුද්ගලයා අන් අයට හානියක් කිරීමට පෙර තමන් විසින් තමන්ට විශාල හානියක් සිදු කර ගනී. එවන් පුද්ගලයාට නොයෙක් ආකාරයේ කරදරයන්ට පත්වෙන ස්වභාවයක් ද දකින්නට ලැබේ.

බුදුරදුන් දවස අහිංසක නම් අහිංසක තරුණයකු දරුණු අංගුලිමාල බවට පත්විය. ඒ අහිංසක තුළ තිබූ දක්ෂතාව, හැකියාව දරා ගැනීමට හැකියාවක් නොතිබූ හිත මිතුරන් ලෙසින් පෙනී සිටි පසමිතුරන් ගුරුවරයාට නොයෙක් ආකාරයේ කේළම් කියා අහිංසකගේ චරිතය විනාශ කරන්නට ගත් උත්සාහයේ ප්‍රතිඵලයයි.

ජාතක පොතෙහි එන ජාතක කතාවක අසරණ අහිංසක පුද්ගලයෙක් විය. ඔහු ජීවත්වන්නේ දර කපා විකිණීමෙනි. එසේ හෙයින් දර කැපීමට කැළයට ගියේ ය. ඔහුගේ පොරව දර කැපීමේ දී ගඟට විසි විය. අසරණ පුද්ගලයා තමන්ගේ පොරවට වූ දේ පිළිබඳ බොහෝ කනගාටු විය. ඒ ගැන සිතමින් ඉන්නා විට එම වනයේ සිටිය දේවතාවෙක් පැමිණ, මේ තැනැත්තාට පොරව තුනක් පෙන්වා, කොයි පොරව ද ඔබගේ කියා විමසීය. තමන්ගේ පොරව දැක මෙය මගේ පොරව යැයි ඒ පුද්ගලයා පැවසීය. ඒත් දේවතාවා ඔහුට රත්තරන් පොරවක් පරිත්‍යාග කළේ ය.

එම පුද්ගලයා කැලයේ දී තමාට ලැබූ මේ ලාභය පිළිබඳ ගමට පැමිණ ගම්මුන්ට ප්‍රකාශ කළේ ය. එම පුවත ඇසූ තවත් එක් පුද්ගලයෙක් කැළයට ගොස් තමන්ගේ අතේ තිබූ පොරව ගඟට විසි කර දේවතාවාගෙන් තමන්ටත් රත්තරන් පොරවක් ලැබෙතැයි බලාපොරොත්තු විය.

යම් කෙනකුගේ දියුණුව, ලාභය දැක සතුටු වන්න බැරි නිසා අවසානයේ තමන් සතුව තිබූ දේත් නැති කර ගන්න තත්ත්වයට පත්විය. යම් කෙනකුගේ සැප සම්පත් දැක ඔහුගේ සතුට විනාශ කරන්නට කි‍්‍රයා කරන අය වෙති. එසේ නොවී සියලු සත්වයන් කෙරෙහි ම අප්‍රමාණව මුදිතා ගුණය පැතිරවීමට හැකි නම් එය ඉතා වටිනා පුද්ගල චර්යා ධර්මයක් බවට පත්වේ.

සතුටින් යුතුව සෑම පුද්ගලයෙක් ම පි‍්‍රය කරන පුද්ගලයෙක් වශයෙන් ජීවත්විමට මෙන් ම තෘප්තිමත් භාවයෙන් ජීවත්වීමට මුදිතා ගුණය අවශ්‍ය වේ. මුදිතා ගුණය හදවතේ නැති නම් තමන් සෑම විට ම අතෘප්තිමත් ය. අසතුටෙන් ජීවත්වනවා පමණක් නොව, අන් අයට පි‍්‍රයමනාප පුද්ගලයෙක් වන්නේ ද නැත.

යම් කෙනකුගේ දියුණුව, සාර්ථකත්වය ගැන ප්‍රමාණයක් කළ නොහැකි තරමට සතුටක් ඇති කර ගන්න පුළුවන් නම්, එය මුදිතා ගුණයයි. මහා බ්‍රහ්මයා තුළ හා මව්පියන් තුළ අප්‍රමාණ වශයෙන් මුදිතා ගුණය පවතී.

තවත් පුද්ගලයකුගේ දියුණුව, සැප සම්පත්, කීර්තිය, උගත්කම, රූපය හා ගති ලක්ෂණ දැක හදවතේ ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා නම්, ඒ පුද්ගලයාගේ හදවතෙන් මුදිතා ගුණය බැහැරව යයි. ඒ වගේ ම පුද්ගලයකුට ඉවසීමේ ස්වභාවය නොමැතිකමින් හදවතේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඇතිවේ. මෙවැනි දුර්ගුණයන් මුදිතා ගුණයට ප්‍රතිපක්ෂ ගුණයන් ලෙස සඳහන් කළ හැකි ය. එවැනි දුර්ගුණයන් පවතින තැනැත්තාගේ මුහුණෙහි සිනහමුසු බවක් දකින්නට පුළුවන්කමක් නැත. කි‍්‍රයාවේ ද මෘදු ස්වභාවයක් දකින්නට පුළුවන්කමක් නැත. මුහුණේ, ශරීරයේ, කතාවේ, කි‍්‍රයාවේ ස්වභාවය රළු ය. නිරන්තරව තරහ ස්වභාවයකින් ජීවත්වන හෙයින් මුදිතා ගුණය දකින්නට පුළුවන්කමක් නැත.

මුදිතා ගුණය නම් පුද්ගලයකුගේ දියුණුව, ලාභය දැක තවත් පුද්ගලයකුගේ හදවතේ ඇතිවන සතුටයි. අභිධර්මයෙහි මුදිතාව “අප්පමච්ඡා“ නමින් සඳහන් වේ. “අප්පමච්ඡා‘ නම් ප්‍රමාණයක් සඳහන් කරන්න පුළුවන්කමක් නැත යන අර්ථයයි.

උඳුවප් අමාවක

ජනවාරි 10 බදාදා අ.භා. 08.08 අමාවක ලබා 11 බ්‍රහස්පතින්දා අ.භා. 05.25 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]